Gossip

කාගෙත් ආදරය දිනූ ශෂිකා නිසංසලා, උදය ශ්‍රී සමග එක්වෙයි

උදය ශෂිකා එක්ක එකතුවෙලා මොකක්ද මේ දැක්ක “ගිම්හාන සිහිනෙ”?
මමයි ශෂිකයි ගයන යුග ගීයක් තමයි “ගිම්හාන සිහිනෙ”. මේක ලිව්වේ තාරකා වාසලමුදලිආරච්චි. සංගීතය කළේ මමමයි. මේ ගීතය නෙමෙයි ඇත්තටම මම රිලීස් කරන්න හිටියේ. මම ගීත හතරක් පහක් විතර හැදුවා. නමුත් මේ ගීතය ඉක්මනට නිර්මාණය වෙලා ඉවර වුණා. මොකද මට හිතුණා අනිත් ගීත එක්ක බලනකොට මේ ගීතයේ ප්‍රේක්‍ෂකයන්ට කූල් වෙන්න දෙයක් තියෙනවා කියලා.

ශෂිකා එක්ක ගීතයක් කරන එක කාගේ අදහසක්ද?
අදහස නම් මගේ. ශෂිකා අක්කයි මමයි විවිධ වැඩසටහන්වලදී නිතරම මුණගැහෙනවා. ඉතින් ඒ වෙලාවලදී ගන්න පින්තුර ෆේස්බුක් දැම්මම ප්‍රේක්‍ෂකයෝ අහනවා “ඔය දෙන්නගේ ගීතයක් එන්නේ නැද්ද” කියලා. ඉතින් ඕක මගේ ඔළුවේ වැඩ කළා. ඊට පස්සේ මට හිතුණා මේ ගීතයට ගැළපෙන්නෙ ඇය කියලා. ඉතින් මම ශෂිකා අක්කට ආරාධනා කළා. ඇය ඒ ආරාධනාව භාරගත්තා.

ගිම්හාන සිහිනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ගීතය අහපු අය කිව්වා මේක කූල් වෙන්න අහන්න පුළුවන් ගීතයක් කියලා. දවසේ ඕනම වේලාවක මොන මූඩ් එකක හිටියත් රසවිඳින්න පුළුවන් ගීතයක්ලු.

උදයගෙ සහ ශෂිකාගේ තියෙන්නේ ශෛලීන් දෙකක්. උදයගේ වෙනදා දකින වීඩියෝවලට වඩා මේ වීඩියෝ එක වෙනස්ව කළේ ශෂිකාත් මේ වැඩේට එකතු වුණ නිසාද?
ඒකත් එක හේතුවක් වුණා තමයි. මොකද උදය කිව්වම මැවෙන්නේ එක රූපයක්. ශෂිකා කිව්වාම මැවෙන්නේ තව එකක්. ඒත් ප්‍රධානම හේතුව තමයි ගොඩක් මියුසික් වීඩියෝවල කතාවක් තියෙනවා. නමුත් මට ඕන වුණා මේ ගීතයට සම්බන්ධ වුණ අය එක්කම වීඩියෝවක් කරන්න. ගොඩක් අය ගීතයක් බලනකොට දන්නේ නැහැ කවුද වාදනය කළේ කියලා. ඉතින් ඒ අයත් එක්ක වීඩියෝ එක කරන්න හිතුවා.

වීඩියෝවේ වෙනසට ප්‍රේක්‍ෂකයෝ කැමැතියි කියලා හිතනවාද?
සාමාන්‍යයෙන් මම වීඩියෝ එකක් රිලීස් කරන්න කලින් ෆේස්බුක් එකේ පෝස්ට් දාලා අහනවා ඔයාලා කැමැති මොනවගේ වීඩියෝ එකකටද කියලා. එයාලා කියනවා විශේෂ දෙයක් කරන්නලු. සමහර අය වාහනයේ යන ගමන් ගීත අහනවා. ඉතින් ඒ අයට මේක හොඳ ගීතයක් වෙයි. හොඳ ප්‍රතිචාර තියෙනවා.

කාලෙකට පස්සේ නේද ගීතයක් කළේ?
ඔව්. සෑහෙන කාලයකට පස්සේ ගීතයක් එළියට දැම්මේ.

ඇයි ගීතයක් රසිකයන්ට දෙන්න මෙච්චර කාලයක් ගන්නේ?
ඇත්තටම වෙන ගීතයක් කරලා තිබුණා. ඒක ටිකක් කල් යන වැඩක් ඉතින්. ඉදිරියේදී උත්සාහ කරනවා ලොකු කාලයක් නොගෙන ගීත ප්‍රේක්‍ෂකයන්ට දෙන්න.

ඒ ගීතය කවදද රසිකයන්ට දෙන්නේ?
ජනවාරි වගේ වෙද්දි ඒ ගීතය රසිකයන් අතරට ගේන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය දවස්වල නම් චිත්‍රපට සහ නාට්‍යවල වැඩ වගයක් භාර අරන් තිබුණා. ඒ නිසා මගේ ගීතවලට වැඩි අවධානයක් දෙන්න බැරි වුණා.

ලංකාවේ ගීතයක් කරලා බලාපොරොත්තු වෙන්නේ ට්‍රෙන්ඩින් ගේන්න. සමහර අය ඒ වෙනුවෙන් විවිධ දර්ශන එකතු කරනවා. ඒත් උදය සහ ශෂිකා මේ ගීතය ප්‍රේක්‍ෂකයන් අතරට ගේන්න හැදුවේ හුඟක් සංයමයෙන් නේද?
ඔව්. මෙහෙමයි ලෝකයේ අනික් රටවල ට්‍රෙන්ඩින් පාවිච්චි කරන්නේ ලංකාවේ අරමුණින් නෙමෙයි. අනිත් රටවල ට්‍රෙන්ඩින් ලිස්ට් බැලුවම මිනිසුන්ට විඳින්න පුළුවන් ප්‍රයෝජනවත් දෙයක් තියෙන්නෙ. නමුත් පසුගිය කාලෙ ට්‍රෙන්ඩින් එක බැලුවම එක්කෝ නිරුවත පෙන්නලා හරි ලිස්ට් එකට ගේන ස්වභාවයක් තිබුණේ. ඒ නිසාම පසුගිය කාලේ මිනිස්සු මියුසික්වලින් ඈත් වුණා. අපිට අපේ නිර්මාණවලින් ප්‍රේක්‍ෂකයෝ ඈත් කරන්න වුවමනා වුණේ නැහැ.අ මම කොහොමත් ට්‍රෙන්ඩින් පස්සේ දුවන්නේ නෑ. මම බලාපොරොත්තු වෙන්නේ රසිකයෝ දීර්ඝකාලීනව ගීතය අහනවද කියන එක. සමහර ගීත දවසෙන් දෙකෙන් වීවුස් ලක්‍ෂ ගණන් ඇවිත් ට්‍රෙන්ඩින් 1 වෙනවා. ඒත් ඊට පස්සේ ඒක නැහැ. මගේ ගීත ට්‍රෙන්ඩින් ආවොත් මම ඒක භාර ගන්නවා.

තනි ගීතයකින් ලැබෙන ජනප්‍රියත්වය යුග ගීතයක් කළාම දෙන්නටම බෙදිලා යනවා නේද?
ඔව්. එහෙම දෙයක් තියෙනවා. ඒත් මෙතැනදී ශෂිකා අක්කා සහ මම කියන්නේ ක්ෂේත්‍රයේ සෑහෙන කාලයක ඉඳන් ඉන්න දෙන්නෙක්. ඉතින් එයාට වඩා මටවත් මට වඩා එයාටත් අවධානය යොමු වෙයි කියන පටු විදියට අපි හිතන්නේ නැහැ. අපිට අවශ්‍ය වුණේ අපි දෙන්නගේ නිර්මාණයක් කරන්න. නැත්නම් ඉතින් මට මේක තනියම කරන්න තිබුණානෙ. ඒ නිසා ජනප්‍රියත්වය බෙදිලා යෑම සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ.

උදය යුග ගී ගයන්න තවත් කැමැත්තෙන් ඉන්න ශිල්පීන් ශිල්පිනියන් ඇති.
ඔව්. ප්‍රවීණ ශිල්පීන්, ජාත්‍යන්තර ශිල්පීන් එක්ක ගීත ගායනා කරන්න ආසයි. හීන විදියට තියෙන ඒවා තියෙනවා. බලමු ඉතින් ඉදිරියේදී. එයාලගේ ආකල්පය පැත්තත් බලන්න ඕනනෙ.

උදයගේ ජීවිතයේ සෑම හීනයක්ම සැබෑ වෙලා තියෙනවද?
ගොඩක් හීන සැබෑ වෙලා තියෙනවා. තවත් තියෙනවා ඉතින් හැබෑ කරගන්න.

ඒ මොනවාද?
ලොවම හඳුනන ගායකයෙක් වෙන්න කැමැතියි. ඒත් ඒක ජීවිත කාලය තුළදි කරගන්න පුළුවන් වෙයිද, බැරි වෙයිද දන්නෙ නැහැ. නමුත් ඒකට වැඩ කරමින් ඉන්නවා.

උදයට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ ඉල්ලුමට සරිලන විදියට මාධ්‍යයෙන් ඉඩක් තියෙනවාද?
මට නම් පෞද්ගලිකව ඉඩක් ලැබෙනවා. නිර්මාණ හරහා හැදුණු හිතවත්කමක් තියෙනවා. නමුත් සමස්තයක් විදියට ලංකාවේ මියුසික්වලට තියෙන ඉඩ ගැන ලොකුවට සෑහීමකට පත්වෙන්නේ නැහැ. ඒකට ඉතින් බලධාරීන්ම තමයි කලාකරුවන් රැකෙන විදියට දෙයක් කරන්න ඕනේ. මොකද අනිත් රටවල එහෙමයි.

උදයගේ ගීතයක් කවදාවත් මාධ්‍යවලින් ප්‍රතික්ෂේප වෙලා නැද්ද?
මුල් කාලයේදී එහෙම සෑහෙන්න ගීත තිබුණා. ඕනෑම කෙනෙක් කාලයක් යනකොටනෙ හරි ට්‍රැක් එකට වැටෙන්නේ. ඉතින් එහෙම වුණාට පස්සේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

ජනප්‍රිය වුණාම ගායක ගායිකාවෝ රංගනය, නිවේදනය වගේ විවිධ ක්ෂේත්‍රවලටත් පනිනවා. උදය ඒ වැඩේට කැමැතිද?
මෙහෙමයි. ඕනම කෙනෙක්ට දක්‍ෂතාවන් ගොඩක් තියෙන්න පුළුවන්. නමුත් ලංකාවේ මේක වෘත්තීමයභාවයක් එක්ක පොඩ්ඩක් පටලවාගෙන ඉන්නෙ. මෙහෙමයි, මම ගායකයෙක්නේ. මම මෙතනට ආවේ ඒ ගැන යම් හැදෑරීමක් කරලා. ඉතින් මම රංගනයට යනවා නම් ඒ වගේම හැදෑරීමක් කරලා තමයි ඒකට යන්න ඕනෑ. කිසිම විදියකට දැනට රංගනයේ ඉන්න ශිල්පීන්ට ඒක බාධාවක් වෙන්න බැහැ.

රංගන ශිල්පීන්, ශිල්පිනියන් දැන් ගීත ගයන්න පටන් අරගෙන. ඒකෙ වැරැද්දක් උදය දකිනවාද?
දැන් ලංකාවේ වෙලා තියෙන්නේ නළුවෝ සින්දු කියනවානේ. ඉතින් එයාලා ගීත කියනවා නම් එයලා වෙනමම එන්න ඕනේ, ඔරිජිනල් ගීතයක් කරලා. එතකොට එයාලට සංගීත සන්දර්ශනයකට යනකොට එයාලගේ වටිනාකම අරගෙන ඒ ගීත ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ලංකාවේ වෙන්නේ අනුන්ගේ ගීත අරගෙන කියනවා. ඊට පස්සේ සල්ලිත් ගන්නවා. ඒවා අනුන් මහන්සියෙන් කරපු ගීත. ඉතින් ඕක පටලවා ගන්න හොඳ නැහැ. අපි දැන් ඉන්දියාවේ දැකලා තියෙනවාද ෂාරුක් ඛාන්, අමීර් ඛාන් ප්‍රසංගයක් කරලා ගීත කියනවා. නැහැනේ. ඒවගේ තමයි.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!