Gossip

“කලාවෙන් විතරක් ජීවත් වෙන්න අමාරුයි, ඒ නිසයි මම මේ වගේ තීරණයක් ගත්තේ” – ප්‍රවීණ රංගන ශිල්පී ජයසේකර අපොන්සුට අත්වුණු ඉරණම

ණය බේරන්න මට මගේ පර්චස් 20ක ඉඩමක් සහ ගෙයක් පවා විකුණා දමන්න සිද්ධ වුණා.
අද මම බෝඩිමක ජීවත් වෙන්නේ…

මේ ආරංචිය අහන පාඨක ඔබ හිතාවි එකත් එකටම ජයසේකර අ‍පොන්සුට තමන් මීළඟට රඟපාන ටෙලි නාට්‍යයේ, එහෙමත් නැත්නම් චිත්‍රපටයේ කරවල වෙළෙන්දෙකුගේ චරිතයක් ලැබිලා කියන පුවත තමයි අපි මේ කියන්නට යන්නේ කියලා. නැහැ…. ඔබ කොයි කවුරුත් ආදරය කරන ජයසේකර අ‍පොන්සු කියන ප්‍රවීණ කලාකරුවා දැන් ඇත්තටම කරවල විකුණනවා. මේ සතිඅන්ත පුවත්පතකට ජයසේකර අපොන්සු කියූ කතාවයි.

මෙච්චර කාලයක් රංගන ශිල්පියෙක් විදිහට ජනතා හදවත් දිනාගෙන සිටි ඔබට හිටිහැටියේ කවුරුත් නොහිතන විදිහේ වෙළෙඳාමකට අතගහන්න තීරණය කළේ ඇයි ?
මම කලා ක්‍ෂේත්‍රයට පය තබලා මේ වෙනකොට අවුරුදු 47ක් විතර වෙනවා. මතෛක් කාලයක් මම වෙනත් කිසිම රස්සාවක් කරලා නැහැ.
කලාවෙන් හම්බ කරගන්න මුදලින් තමයි මෙච්චර කාලයක් මම මගේ ජීවිතය ගැට ගහගත්තේ.
වේදිකා නාට්‍යයක් හෝ චිත්‍රපටයක් කරන්න ගියත් ඒවා වෙනුවෙන් විශාල මුදලක් මට වැය කරන්න වෙනවා. කලාවෙන් විතරක් හරි හම්බ කරන් ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසා මම තීරණය කළා අලුතෙන් පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න. ඒ අනුව තමයි මම මේ කරවල ව්‍යාපාරයට අත ගැහුවේ.

ඒක ඔබම හිතලා ගත්තු තීරණයක්ද?
කරවල වෙළෙඳාමක් පටන් ගන්න ඕනෑ කියන අදහස මගේ ඔළුවට දැම්මේ මගේ හිතමිත්‍ර, ප්‍රවීණ ගායක සමන් ද සිල්වා. පසුගිය දවසක මට දුරකථනයෙන් කතාකරපු වෙලාවක සමන් මගෙන් ඇහුවා මේ දවස්වල මොනවද කරන්නේ කියලා.
ඒ වෙලාවේ මම කිව්වා ටෙලි නාට්‍ය හදන අය කියනවා අ‍පෝන්සු අයියාට දෙන්න තරම් හොඳ චරිතයක් අපි ළඟ නෑ කියලා.
සිනමාවේ හැමෝම මගේ දක්ෂතා දැනගෙන හිටියට මට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ දවස්වල නම් ලොකු දෙයක් මම කරන්නේ නෑ කියලා.
ඒ වෙලාවේ තමයි සමන් යෝජනා කළේ මන්නාරමට ගිහින් කරවල මිලදී අරගෙන බිස්නස් කරන්න කියලා.

ලංකාවේ කරවල විකුණන එකම නළුවා ඔබ වෙන්න ඇති?
ඔව්, වෙන වෙන ව්‍යාපාර කළත් කරවල විකුණන නළුවෙක් ගැන නම් මමත් අහලා නෑ. මටත් මේ විදිහේ ව්‍යාපාරයක් පටන් ගන්න මුලදී ටිකක් ලැජ්ජා හිතුණා.
මොකද කරවල වෙළෙඳාමයි, කලාවයි තියෙන්නේ අන්ත දෙකකනේ. හැබැයි මම පස්සේ තීරණය කළා මම මේ ව්‍යාපාරයට බහිනවා කියලා. දැන් මම මන්නාරමට ගිහින් කරවල මිලදී ගෙන J.S.අ‍පෝන්සු ප්‍රඩක්ට්ස් නමින් පැකට් කරලා කඩවලට අලෙවි කරනවා.

කලාකරුවෙක් විදිහට ලැබිලා තියෙන ප්‍රසිද්ධිය වෙළෙඳාමේදීත් ඔබට වාසියක් වෙනවා ඇති නේද?
අ‍පොයි ඔව්. මම මගේම කාර් එකේ කරවල පැකට් පටවා ගෙන කඩවල්වලට ගියාම මුදලාලිලා හානේ… මේ අපේ අ‍පොන්සු අයියනේ කියලා හරිම ආදරෙන් මාව පිළිගන්නවා.
පස්සේ තමයි ඔවුන් දැනගන්නේ මම මේ ඇවිල්ලා තියෙන්නේ කරවල අරගෙනයි කියලා. කලාකරුවෙක් විදිහට මට තියෙන ආදරය නිසාම ඒ කවුරුත් කරවල මිලදී නොගෙන නම් මාව ආපසු යවන්නේ නැහැ. අනික මම දුප්පත් කෙනෙකුට වුණත් මිලදී ගන්න පුළුවන් විදිහේ බොහොම අඩු මිලකට තමයි කරවල විකුණන්නේ.

කලාවට ආයුබෝවන් කියලා දිගටම ව්‍යාපාර කටයුතු කරන්න හිතාගෙනද මේ කටයුත්තට මුල පිරුවේ?
අනේ නැහැ. කරවල වෙළෙඳාම කළා කියලා මම කලාවෙන් ඈත් වෙන්නේ නෑ. මොකද මේක මම කෝටිපතියෙක් වෙන්න හිතාගෙන පටන් ගත්තු ව්‍යාපාරයක් ‍නෙවෙයි.
මගේ තරු සොබා කියන අලුත්ම චිත්‍රපටයේ වැඩ මේ වනවිට හුඟක් දුරට ඉවරයි. එහි
නිෂ්පාදකවරයාත් මමම නිසා චිත්‍රපටයේ වැඩ නිමකරන්න මට තව මුදල් ටිකක් වුවමනා වෙලා තියෙනවා. ඒ වගේම මගේ තටු නාට්‍යයත් වසර 20කට පස්සේ ලබන ජූලි 29 වැනිදා සිට නැවත වේදිකා ගත කිරීම ආරම්භ වෙනවා. ඉතින් මගේ මේ කලාකටයුතු වෙනුවෙන්වත් වැය කරන්න මුදලක් හොයාගන්න ඕනෑ කියන අදහසින් තමයි මම මේ ව්‍යාපාරය පටන් ගත්තේ.

දශක පහකට ආසන්න කාලයක් කලා ක්‍ෂේත්‍රයේ රැඳී ඉඳලත් ඒ හැටි මුදලක් කලාවෙන් උපයාගන්න බැරි වුණා කියලාද ඔබ ඔය නොකියා කියන්නේ ?
ඔව්. මගේ පළමුවැනි චිත්‍රපටය වෙනුවෙන් වෙච්ච ණය බේරන්න මට මගේ පර්චස් 20ක ඉඩමක් සහ ගෙයක් පවා විකුණා දමන්න සිද්ධ වුණා.
අද මම බෝඩින් කාමරයක ජීවත් වෙන්නේ. විවිධ දුෂ්කරතා එක්ක මෙච්චර කාලයක් ලංකාවේ කලාකරුවෙක් විදිහට නිර්මාණ බිහි කරපු එකට හරි නම් වෙනමම සම්මානයක් මට දෙන්න ඕනෑ. සමහරු කියනවා අවුරුදු හතළිස් ගාණක් ක්‍ෂේත්‍රයේ හිටපු නිසා උපහාර උත්සවයක් සංවිධානය කරලා ‍ලේසියෙන්ම මට සල්ලි ටිකක් හොයා ගන්න පුළුවන් කියලා. ඒත් මම මාව විකුණන්න කැමති නැති නිසා එවැනි දේවල් කරන්නේ නැහැ.

අපේ රටේ නළුවන් අතරින් කාන්තා චරිත රඟපෑම සඳහා වඩාත්ම ප්‍රසිද්ධ නළුවා ඔබ කීවොත් නිවැරදියි. ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්නත් කාන්තා චරිතයකට පණ ‍පොවන ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේද ප්‍රචාරය වුණා. මොකද හිතෙන්නේ ඒ සහෝදර නළුවාගේ අලුත් පිම්ම ගැන ?
මට ආරංචියි, ඒ ඡායාරූපවල ඉන්නේ මමයි කියලා සමහරු මුලදී රැවටුනා කියලත්. මට මතකයි මම චණ්ඩියාගේ චරිතය රඟපාලා සම්මානත් දිනලා ඉන්දැද්දී තමයි එඩ්වින් පීරිස් මා වෙනුවෙන් තටු නාට්‍යයේ කාන්තා චරිතයක් ලිව්වේ.
මම කිසිදු පෙර පුහුණුවක් පවා නැතුවයි ඒ කාන්තා චරිතය මුලින්ම රඟපෑවේ. හැබැයි මගේ රඟපෑම දැකපු හැමෝම වගේ මට එදා ප්‍රශංසා කළා.
හැබැයි ඉතින් මම මුලින්ම කාන්තා චරිතයක් රඟපෑවා කියලා වෙන කාටවත් ඒ විදිහේ රඟපෑමක් කරන්න තහනමක් නැහැනේ. මමත් හරි ආසාවෙනුයි ඉන්නේ මනෝ ඒ චරිතය රඟපාලා තියෙන්නේ කොහොමද කියලා දැක බලාගන්න.

උපුටා ගැනීම – ක්‍රිෂාන් කනංකෙ – ලක්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!