Gossip

“ඒ කාලේ මුස්ලිම් සමාජය තමයි විශ්වාසවන්තම සමාජය. අද වෙද්දි ඒ විශ්වාසය කැඩිලා. මම කාත්තන්කුඩි ගිය වේලාවේ ඔය සහරාන් කියන ත්‍රස්තවාදියා ගැන කතා කළා.”

පාස්කු ඉරිදා දින කතෝලික පල්ලි කිහිපයක් සහ හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් මුස්ලිම් අන්තවාදීන් පිරිසක් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව නිසා මුස්ලිම් සමාජය පිළිබඳව ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබූ විශ්වාසය බිඳවැටිණි. එම විශ්වාසය යළි ගොඩනඟා ගැනීම වෙනුවෙන් මුස්ලිම් සමාජය විසින්ම ක්‍රමවේදයක් සකස් කර ක්‍රියාවට නැංවිය යුතු බව බ්‍රිගේඩියර් අසාද් ඉසදීන් මහතා පැවසීය.
බ්‍රිගේඩියර්වරයා එසේ ප්‍රකාශ කරනු ලැබුවේ දෙහිවල ග්‍රෑන්ඩ් ජුම්මා මුස්ලිම් පල්ලියේදී පසුගිය ඉරිදා (12) පැවැත්වූ මුස්ලිම් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටනකදීය.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට කොළඹ දිස්ත්‍රික් මස්ජිද් සම්මේලනයේ නිලධාරීන් මෙන්ම දෙහිවල ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාවද එක්ව සිටියහ.
එහිදී බ්‍රිගේඩියර් අසාද් ඉසදීන් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසුවේය.
“මාත් එක්ක පැමිණි අනෙක් නිලධාරීන් සියල්ලම අවුරුදු 25ක 30ක පමණ සේවා කාලයක් තියෙන නිලධාරීන්. අපි යුද හමුදාවට බැඳිලා ත්‍රස්තවාදීන් එක්ක සටන් කළේ මේ සමාජයට, එහෙමත් නැත්නම් ශ්‍රී ලංකාවට සාමය ගේන්න. ඒ වෙනුවෙන් අපි ලොකු කැපකිරීමක් කළා. ඉතින් මෙච්චර දුරක් ඇවිල්ලා මේ වගේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් මුස්ලිම් ජන සමාජය තුළින් පැමිණීම ගැන දුකයි. ඒක මං දන්නේ නෑ රටේ අනිත් මිනිසුන්ට කොහොම තේරෙනවද කියලා.
“මුස්ලිම් අයට අවුරුදු 1000ක විතර ඉතිහාසයක් ලංකාවේ තියෙනවා. අවුරුදු 30ක යුද්ධයක් ආවා. ඒක වෙනුවෙන් අපේ නිලධාරීන්, සොල්දාදුවන් සටන් කෙරුවා; විශාල සේවාවක් කළා. අප්‍රේල් 21 දින සිදු වූ ත්‍රස්තවාදී මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් ඔක්කොම මැකිලා යනවා. දැන් අපි ගැන විශ්වාසයක් නෑ. ඉතින් නැතිවුණු ඒ විශ්වාසය ගොඩනඟන්න ඕනෑ කාලයක් මේක. යුද හමුදාපතිතුමා කියන්නේ විශ්වාසය ගොඩනඟන්න සමාජයත් එක්ක එකතු වෙන්න; කථා කරන්න කියලා.
අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගන්න කියලා. ඒකට තමයි අද මම මෙතනට ආවේ. ඒක විශාල රාජකාරියක්.
“මේ රටේ ජන කොට්ඨාස රාශියක් තියෙනවා. සිංහල, මුස්ලිම්, දෙමළ, ක්‍රිස්තියානි අපි සහෝදරයෝ සහෝදරියෝ වගේ එක සමාජයක ඉන්නේ. දැන් මේක යම්තාක් දුරකට අපෙන් ඈත් වෙලා තියෙන්නේ. ඉතින් ඒකට පිළියමක් යොදන්න තමයි අපි මේ ආරම්භය ගත්තේ. මේ සිදුවුණු ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය නවත්තන්න මුස්ලිම් සමාජයක් විදිහට අපිට බැරි වුණා.
ඒක තමයි දුක. මම කාත්තන්කුඩි ගියා. ඒ ගියපු වේලාවේ ඔය සහරාන් කියන ත්‍රස්තවාදියා ගැන කතා කළා. එහේ කට්ටිය ඔහු ගැන කිව්වේ එයා පොඩි කාලේ ඉඳලම රැඩිකල් අන්තවාදී අදහස් තිබුණු කෙනෙක් කියලයි. එයාගේ ලොකුම ප්‍රශ්නේ තිබුණේ රාමසාන් මාසේ අවුරුද්ද කවද්ද තියන්න ඕනේ කියන එක.
එයා හැමදාම ඇවිල්ලා පල්ලියේ ප්‍රශ්න කරනවලු. මේක සෞවුදි අරාබියේ වාගේ තියෙන්න ඕනේ කියලා එයා කියනවාලු.
පල්ලියේ අය කියන්නෙත් නෑ මේ දවස තමයි ඒකට දීලා තියෙන්නේ කියලා. ඒත් එයා කැමති වෙන දවසක තියන්න. ඒකට එකඟ වුණේ නැති හින්ද තමයි එයා අන්තවාදයට ගිහිල්ලා එයාම එකක් හදා ගත්තේ.
“ඒ කාලේ මුස්ලිම් සමාජය තමයි විශ්වාසවන්තම සමාජය. මම ඇවිල්ලා ගම්පොළ පැත්තේ. ඒ පැත්තේ මුස්ලිම් අය ගැන තියෙන්නේ ලොකු විශ්වාසයක්. කොළඹත් එහෙමයි. ඒත් ඒ තිබුණු විශ්වාසය අද වෙද්දි කැඩිලා තියෙන්නේ. ඒක ගොඩනඟන්න විශාල කාර්යභාරයක් කරන්න ඕන. ඒත් අපි ඒක අදම පටන්ගන්න ඕන. අද මෙතනට ඇවිත් ඉන්න මේ උගතුන්ට වැඩිහිටියන්ට මට කතා කරන්න පුළුවන්. කතාකරලා විතරක් වැඩක් නැහැ. ක්‍රියාත්මක වෙන්නත් ඕන. මේ සමාජය වෙනස් කළ යුතුයි. මොකද මේ අන්තවාදී හත් දෙනෙක් අට දෙනෙක් මැරුණා. තව අන්තවාදීන් ඉදිරියට නොඑන්න අපි වගබලා ගන්න ඕනෑ. යුද හමුදාව පැත්තෙන්, අපේ ආරක්ෂක අංශය පැත්තෙන්, ජාතික ආරක්ෂාව පැත්තෙන් බැලුවත් මින් ඉදිරියට මේක නොවෙන්න අපි කළ යුතු දේ, අපේ ළමයි හදාගන්න කළ යුතු දේ සාකච්ඡා කරලා ක්‍රියාත්මක කළ යුතුයි.
“හඳුනාගත්තු ත්‍රස්තවාදීන්ට සල්ලි තිබුණා. ඒ අයට යම්කිසි ප්‍රමාණයක දැනුමක් තිබුණා. නමුත් ඒ ඔක්කොම ඇතෑරලා යන්න ඒ අයට යම් හේතුවක් තියෙන්න ඇති. අන්න ඒ හේතුව අපි හොයා ගන්න ඕනෑ. ඒ හේතුව අපි සමාලෝචනය කරලා මේ ප්‍රශ්නය හරි මාර්ගයට ගන්න ඕන. මේක අදින් ඉවර වෙයිද නැත්තම් තව කවුරුත් ඉන්නවාද කොහොමද අපි ඒ කට්ටියව හදාගන්නේ කියන එක අපි කවුරුත් සලකා බැලිය යුතු කරුණක්. ඉතින් ඒ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය තරයේ හෙළා දකින අතරම අපි නැවතත් එවන් ප්‍රහාරයක් ඇති නොවෙන්න වගබලා ගත යුතුයි.
“මට හරි දුකයි. නමුත් දැන් මේක වෙලා ඉවරයි. අපේ සමාජයේ යම් පිරිසක් මේකට අහු වෙලා ඉවරයි. නමුත් අපේ තව පරාම්පරාවල් තියෙනවා. අපේ ළමයි ඉන්නවා. ඒකදී ඒ කට්ටිය හරි මාර්ගයේ යන්නට හදන්න ඕන. අපේ අද ඉන්න පරම්පරාව ඒ වැඩේ හරියට කරලා නෑ. නැත්නම් මේ 250 දෙනෙක් මුස්ලිම් අය නම් කමක් නෑ. අපිත් එක්ක තරහක් තියෙනවා කියලා හිත හදාගන්න තිබුණා. නමුත් මේ ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල කළේ මුස්ලිම් සමාජයට කිසිම දේකට සම්බන්ධ නැති වෙනත් ආගමික ජන කොට්ඨාසයකට.
“ඒකෙන් අපි ඉගෙන ගතයුතු කරුණු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ කරුණු ගැන වැඩිහිටියන් වශයෙන්, පල්ලියේ බාරකාරයන් වශයෙන් ටිකක් හිතන්න. මේ සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ අපේ පල්ලියෙන්. මම හැමතැනටම පල්ලිවට ගිහිලා කිව්වේ ඒකයි. මෙතනින් තමයි අපි ඔක්කෝම හරි මාර්ගයට එන්නේ. එතනින් වැරදුණාම මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් සෑම කෙනෙක්ම මේකට අපි වැඩිහිටියන් වශයෙන් වගකීම බාර ගන්නවා වගේම ඉදිරියට එන තරුණ පරම්පරාව අපි හදාගන්න ඕනෑ මේ වගේ දෙයක් නැවත කිසිදිනෙක නොවෙන්නම.
“මොකද ලෝක ත්‍රස්තවාදය ඉදිරියට තියෙන එකක්. ඉතින් ඒකට අපි සැදී පැහැදී ඉන්න ඕනෑ ඒකෙන් බේරෙන්නේ කොහොමද කියලා. ඒකට අහු නොවී ඉන්නේ කොහොමද කියලා. ඉතින් ඒක තමයි ජාතික ආරක්ෂාව පැත්තෙන් සිදුවිය යුතු ලොකුම දේ. මේ එක දේකින් අපි මේ ප්‍රශ්නය මුස්ලිම් සමාජය විතරක් නෙවෙයි රටක් වශයෙන් අපි ඔක්කොම පස්සට ගියා.
“ඉතින් අපි ඔක්කොම හුඟක් දුරට ඒකට වගකියන්න ඕනෑ. ඉතින් ඔයාලා හිතලා බලලා මේක කථා කරන්න. මේක ඇත්තටම හමුදාවේ අය විසින් කියන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. ඔයාලා මේ වගේ සමති විදියට එකතු වෙලා මේක කතා කරලා තියෙන්න ඕනෑ. මේ සමාජය ඇතුළේ තියෙන බෙදීම් බලන්න. ෂියා, සුන්නි කියලා කණ්ඩායම් දෙකකට බෙදිලා. සුන්නි කණ්ඩායම් අතරෙත් උලමා, තවුහීද් ජමාත්, ජහිරා, ජිහාරම් පාට්ටි කියලා ඉන්නවා. මේ ඔක්කොම තියෙන්නේ බෙදීම්.
“මෙතනදි එකක් කිව යුතුයි. මම ඊයේ පෙරේදා දැක්කා පාකිස්තානයේත් මේ ප්‍රශ්නෙම තියෙනවා. පාකිස්තානයේත් ෂියා මිනිස්සුන්ට ගහනවා. තව පැත්තකින් කාදියා අයට ගහනවා. මම ආගමෙන් වගේම යුද්ධෙදිත් ඉගෙනගත් දේ තමයි මගේ ඊමාන් (විශ්වාසය) එක තියෙන්නේ මගෙයි දෙවියන් අතරෙ විතරයි කියන දේ. අනිත් කට්ටි ඒකට අදාළ නෑ.
“තව කෙනෙක්ගෙ ඊමාන් එක හොඳයි අනිත් කෙනාගේ නරකයි කියලා කියන්න ගියාම තමයි මේ තත්ත්වේ ඇති වෙන්නේ. ඉස්ලාම් කියන්නේ සාමයේ පණිවිඩය. ඒත් පල්ලියේ ඉන්න හැම එක්කෙනාම හිතලා බලන්න අපි ඒ පණිවිඩය ගෙනයනවද නැද්ද කියලා. අපිට කාටවත් අත දික් කරන්න බෑ.
“පළවෙනි කාරණාව තමයි වෙනස් වෙන්න පුළුවන් කෙනෙක්ගෙ ඊමාන් එක එක මට්ටමට හිතලා එක එක විදිහට හදා ගන්න පුඵවන් කියන එක. නමුත් ඒක ඒගොල්ලන්ගේ අල්ලාහ් දෙවියන් එක්ක තියෙන සම්බන්ධතාව. ඉතින් අපි පළවෙනියට හිතන්න ඕනේ අපි මුස්ලිම් සමාජය එකමුතු වෙන්න ඕනි කියන දේ. එතකොට ත්‍රස්තවාදී අන්තවාදීන්ට එන්න බෑ, ඒ අපි එකට කියලා දන්න නිසා.
“ලංකාවේ විතරක් නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. පලස්තීන ප්‍රශ්නයත් අපේ ප්‍රශ්නයක්, සිරියානු ප්‍රශ්නයත් අපේ ප්‍රශ්නයක්, යේමනේ ප්‍රශ්නයත් අපේ ප්‍රශ්නයක්, ඉරාකයේ ප්‍රශ්නයත් අපේ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නවලට උත්තරයක් තියනවා අල්ලාහ් දෙවියන් ළඟ. අපි දෙවියන්ව විශ්වාස කළා නම් ඒ ඔක්කොම සමථයකට පත් වෙනවා. මේක කළ යුතුයි. නැත්නම් මින් ඉදිරියටත් මේ වගේ ප්‍රශ්න වේවි. අපේ සමාජයේ සිංහල, දෙමළ, ක්‍රිස්තියානි මේ හැමකෙනාම අපිට ආදරෙයි. මම අවුරුදු තිහක් යුද හමුදාවේ ඉඳලා යුද්ධ කරද්දි මාව බලා ගත්තේ මුස්ලිම් අය නෙවෙයි, සිංහල සොල්දාදුවෝ.
“මේ වගේ ප්‍රශ්නයකට එකට මුහුණ දෙන්න ඕන. අපේ පල්ලි හරියට පාවිච්චි කරන්නේ දවස් හතරයි මාසෙටම. සිකුරාදා දවසෙ පල්ලියම පිරිලා තියෙනවා, ඊට පහුවෙනිදා බලන්න මුළු පල්ලියම හිස්. දැන් ඇ‍ෙමරිකාව වගේ රටක පල්ලියක් එහෙම හදන්න බෑ. එතැන්ට මිනිස්සු එන්න ඕනේ. ඇවිත් ඒක පාවිච්චි කරන්න ඕනේ. මේ වගේ අවස්ථාවකදීවත් එකතු වෙලා කතා කරන්න තැනක් අපට නෑ. කවුරුත් එන්නෙත් නෑ.
“අපි අනෙත් ජන කොට්ඨාසත් එක්ක හැසිරෙන්න ඕන. අපි සිංහල අවුරුද්දට ගිහින් එගොල්ලෝ එක්ක සෙල්ලම් කරන්න ඕන. මේවා හැදෙන්න ඕන. ඔය ප්‍රශ්නෙම ආවා මූතූර්වලත් හමුදාවේ කට්ටිය බල්ලොත් එක්ක පල්ලිය ඇතුළට ඇවිත් මේවා කළා කියලා. මම ඒකට උත්තරයක් දුන්නා. ඔයාලා මේ ගැන හොයලා බලන්න, ඇයි මේක වෙන්නේ කියලා. මේක පළමුවැනි එක නෙවෙයි. ග්‍රීස් යකාගෙන් පටන් ගත්ත ගමන් හැමදාම මොකක් හරි වෙනවා. මෙතනින් එහාට මොකක් වෙයිද කියලා හොයලා බලන්න ඕන. අපි සමාජයත් එක්ක එකතු වෙන්න ඕන; සමාජයත් එක්ක ගැවසෙන්න ඕන; සමාජයේ විශ්වාසය දිනා ගන්න ඕන. මේ සමාජයේ හැම කෙනාම අපේ සහෝදරයෝ. ඒ නිසා මේ වගේ දෙයක් මින් ඉදිරියට වෙන්න බෑ. ඉතින් අපිට ලොකු වගකීමක් තියනවා මේ සමාජය ගැන. ඉතින් ඒ වගකීම අපි ඉෂ්ට කරන්න ඕන මුස්ලිම් සමාජයක් හැටියට.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!