Gossip

“එයා කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නෙවෙයි” – ගයාන්ගෙන් ඈත් වුණු කාවින්ද්‍යාගේ අලුත්ම පෙම්වතා ගැන හෙළිදරව්වක්

මේ දවස්වල ඝරසර්ප චිත්‍රපටය නිසා කවින්ද්‍යාව වෙනස් මුහුණුවරකින් දකින්න ලැබෙනවා. මොකක්ද මේ කවින්ද්‍යාට වුණේ?
මේක අනෙක් අයට මගේ වෙනස් මුහුණුවරක් වුණාට මගේ අම්මාට නම් අලුත් මුහුණුවරක් නෙවෙයි. ජයන්ත අංකල් එයාගේ අලුත්ම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මාව ඕනේ කියලා අපේ අම්මාගෙන් ඉල්ලලා තියෙනවා. මම මීට කලින් කොහේවත් රඟපාලා තිබ්බේ නෑ. ඉතින් මගේ අම්මා හරි ආදරයෙන් මේ ආරාධනාවට කැමැති වෙලා තිබ්බා. මමත් කැමැත්තෙන් ජයන්ත අංකල්ගේ ඝරසර්ප චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් එකතු වුණා.

ඒ කියන්නේ අම්මාගේ කැමැත්ත නිසාමද නුපුරුදු රංගනය කවින්ද්‍යා තෝරා ගත්තේ?
මම හැමදේම අම්මාගෙන් අහලා කරන දුවෙක්. මගේ පෞද්ගලික ජීවිතේ, සංගීත ජීවිතේ වගේම හැමදේකදිම අම්මා කියන දේ අහනවා. මේ අවස්ථාව භාර ගනිද්දී අම්මාගේ කැමැත්ත වගේම ජයන්ත අංකල්ට මම තිබ්බ කැමැත්තත් හේතුවක් වුණා. ඒ වගේම ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් මාව ඔහුගේ චිත්‍රපටයේ ප්‍රධාන නිළියට තෝරාගනිද්දී මට පුදුම සතුටක් ඇති වුණේ.

කවදාවත් රඟපාලා නොතිබුණු කවින්ද්‍යාට මේ වගේ සංකීර්ණ චරිතයක් නිරූපණය කිරීම අභියෝගයක් වුණේ නැද්ද?
ජයන්ත අංකල්ට මම හා කිව්වට චරිතය ගැන කියද්දී මම බය වුණා. මොකද ඒකේ “ආරූඪ” වෙන්නත් තියෙනවා. මම කවදාවත් හොල්මන් චිත්‍රපටයක්වත් බලලා තිබ්බේ නෑ. ඒ තරම් බයයි. ඉතින් මම ඒක අම්මාට කිව්වම අම්මා කිව්වා “ඔයාට ඕක කරන එක සුළු දෙයක්. කොහොමත් ගෙදර ඉන්නෙත් ඔහොමනේ” කියලා.

හොල්මන් චිත්‍රපටයක්වත් නොබලපු කවින්ද්‍යා ඒ තරම් හොඳට ආවේශ වුණේ කොහොමද?
ඒකෙ සම්පූර්ණ ලකුණු යන්න ඕන ජයන්ත අංකල්ට. ඔහු තිබ්බ වර්ක් ෂොප් එකේදී කිව්ව දේවල් මම හිතට ගත්තා. මට කරන්න පුළුවන් කියන විශ්වාසය ආවේ එතැනදී. මම රංගනයට ආධුනික වුණත් ආධුනිකයෙක් ලෙස නොවෙයි රඟපෑවේ කියලා ජයන්ත අංකල් හැමවෙලාවෙම කිව්වා. ඒක මට සම්මානයක් තරම් වටිනවා.

එහෙම නම් සම්මාන ඕනේ නැති වෙයි?
සම්මානයක් ලැබුණොත් ඒකත් ආදරයෙන් භාර ගන්නවා.

මුල්ම රංගනය සාර්ථකයි කියලා හිතෙනවාද?
මුලින් නම් එහෙම හිතුවේ නැහැ. හැබැයි මාධ්‍ය දර්ශනය තිබ්බට පස්සේ ප්‍රවීණයන් බොහෝ දෙනෙක් කතා කළා. ඔවුන්ගෙන් ලැබිච්ච ප්‍රතිචාර එක්ක මම රංගනය තුළ කරලා තිබෙන දේ ගැන සතුටුයි.

කවින්ද්‍යාව රංගනයට යොමු කළ අම්මා දුවගේ හාස්කම්, දස්කම් දැකලා මොකද කිව්වේ?
චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය තියෙද්දී චිත්‍රපටය බලන්න පටන් ගත්ත වෙලේ ඉඳන් අම්මා කළේ මගේ අත අල්ලාගෙන අඬපු එක. එයාට මං ගැන විශ්වාසයක් තිබ්බා. ඒත් මේ තරම් හොඳට රඟපායි කියලා හිතුවේ නෑ කියලා අම්මා කිව්වා. එයාට ආඩම්බරයක් ගේන්න පුළුවන් වීම ගැන මට සතුටුයි.

මේ චිත්‍රපටයෙදී ඔබේ රංගනයට අම්මාගේ හඬ මුසු වෙනවා. ඒකත් විශේෂයි නේද?
ඔව්. අම්මාගේ පසුබිම් ගායනයකට දුවක් රංගනයේ යෙදෙන ලෝකයේ ප්‍රථම අවස්ථාවද මේ කියලා අපි හොයලා බැලුවා. ඒකක් මට හරි සතුටක්. අම්මා තමයි මගේ ජීවිතයේ ශක්තිය. මට ලොකු සතුටක් දැනුණා ජයන්ත අංකල්ගේ නිර්මාණයක අම්මාගේ පසුබිම් ගායනයට මගේ රංගනය එකතු කරන්න ලැබීම ගැන.

අපූරු ආදර කතාවකට දෙව්නක එක්ක යා වෙන්න පහසු වුණාද?
ඇත්තටම ඒ ගැන කියන්නම ඕනේ. දෙව්නක ඉතාම දක්ෂ ලෙස රඟපෑවා. එයාට රංගනය කියන්නේ හුරු පුරුදු දෙයක්. එයාගේ නැන්දා නිමන්ති පෝරගේ. මට රංගනය අභියෝගයක් වුණාට එයාට රංගනය අභියෝගයක් වුණේ නැහැ. මට කරන්න බෑ කියලා දැනිච්ච තැන්වලදී “නෑ, කවී ඔයාට කරන්න පුළුවන්” කියලා එයා තමයි මාව දිරි ගැන්වූවේ.

ඒ කියන්නේ දෙව්නක තිරයේදී කවීට හොඳ පෙම්වතෙක් වෙලා?
ඔව්. එයා හරිම ආදරණීය පෙම්වතෙක් වුණා.

කාලෙන් කාලෙට රංගනයේ යුගල බිහි වෙනවා. දෙව්නක – කවින්ද්‍යා මතක හිටින තරු යුවළක් වෙයිද?
එහෙම වෙනවා නම් කොයි තරම් දෙයක්ද? එතකොට අපි කරපු දේ ගැන පස්සේ කාලෙක සතුටු වෙන්න පුළුවන්.

සංගීතා වීරරත්න සහ කවින්ද්‍යා මේ සිනමා නිර්මාණයේදී හරි අපූරුවට ගැළපිලා තියෙනවා. මේ ගැළපුම ගැන මොකද හිතෙන්නේ?
ඉස්සර සංගීතා අක්කි අපේ අම්මියි තාත්තියි එක්ක කියනවාලු “කවී ගිය ආත්මේ මගේ දුවෙක්ද දන්නේ නෑ” කියලා. ජයන්ත අංකල් සංගීතා අක්කිට ගැළපෙන පෙනුමක් තමයි හොයලා තිබ්බේ. අපි දෙන්නාගෙම ඩිම්පල් එකක් තියෙනවා. ෆීචර්ස්වල සමානකම් තියෙනවා. චිත්‍රපටයෙන් පස්සේ වුණත් ගොඩක් අය කිව්වා අපේ පෙනුමේ ගැළපුම ගැන.හැමෝටම ගොඩක් පුදුමයි.

දැන් කවින්ද්‍යා දිගටම රඟපායිද?
එහෙම නම් අදහසක් නෑ. මම චූටි කාලේ ඉඳන් කණ්ණාඩිය ඉස්සරහා රඟපානවා. හැබැයි ඇත්ත ජීවිතේදී රඟපාන්න ඕන වුණේ නෑ. හැබැයි ජයන්ත අංකල් මේ චිත්‍රපටයට කතා කරද්දී මේක සාමාන්‍ය ආදර කතාවක් නෙවෙයි කියලා මට දැනුණා. ඒ වගේම මේක සත්‍ය සිදුවීමක්. ඒ නිසා ලොකු ආශාවක් ඇති වුණා මේක කරන්න. මම දිගටම රඟපායිද කියන්න දන්නේ නෑ. බලමු නේද ඉදිරියට.

හැබැයි ආරාධනා නම් ජයයිලු නේද?
ඔව්. ටෙලිනාට්‍යයකට සහ චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. ටෙලි නාට්‍යවල නම් රඟපාන්න කොහෙත්ම ආශාවක් නෑ. මේ ෆිල්ම් එක දැනට ඇති. හොඳ නිර්මාණයක් ලැබුණොත් අම්මාගෙනුත් අහලා සම්බන්ධ වෙනවා.

ලැබෙන දේවල් ලෝභ නැතිව අතහරිනවා නේද?
මගේ ජීවිතයේ ලොකු බලාපොරොත්තු තියාගෙන නැහැ. මගේ අම්මා වගේ එන දෙයට මුහුණ දෙනවා. ආශාවක් නැති නිසා වගේම වුවමනාවක් නැති නිසා වෙන්න ඇති. මේක තිබ්බොත් හොඳයි කියලා මම මොන දෙයක් පස්සෙවත් හඹා යන්නේ නෑ.

කවින්ද්‍යාගේ ජීවිතේ අම්මට ලොකු තැනක් තියෙනවනේ. ඒ තැන වෙන කාටවත් දෙයිද?
අම්මට තියෙන තැන මම වෙන කාටවත් දෙන්නේ නෑ. ඒ තැන එයාටම විතරයි දෙන්නේ. පස්සේ එන අය ඊට පල්ලෙහා තැනක ඉන්නේ.

කවින්ද්‍යා සැබෑ ජීවිතේ ආදරයක හිමිකාරියක් නේද?
ඔව්. මම දැන් පෙම්වතියක්.

ඒ ආදරයේ හිමිකරු කවුද?
එයා කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. එයා ගැන වැඩි විස්තර පස්සේ කියන්නම් නේද?

ඒ කෙනා කවින්ද්‍යාට සීමා වැටකොටු බැඳලද?
නැහැ. එයාගෙන් මගේ කිසිම දෙයකට බාධාවක් නෑ. පෞද්ගලික ජීවිතේ, කලා ජීවිතේ හැම දෙයකටම එයාගෙනුන් මට හොඳ සහායක් ලැබෙනවා.

දැන්ම එකලාසයක් වෙයිද?
තාම මට අවුරුදු 22යි. මගේ ජීවිතේ ගොඩක් දේවල් කරගන්න තියෙනවා. ඉතින් හරි කාලෙදි හරි විදියට ඒ දේවල් සිද්ධ වෙයි.

අලුත් සංගීත වැඩකටයුත්තකට අතගැහුවේ නැද්ද?
එරන්දති කලායතනයේ අම්මාගේ වැඩ කොටස මම භාරගෙන කරගෙන යනවා. අලුත් නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. මම පොඩ්ඩක් විතර කම්මැළියි. ඒත් හොඳ යමක් ඉදිරියේදී කරනවා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!