Gossip

එකම දවසක ජැක්සන් පවුලේ දරු තිදෙනා පති කුලයට පිටමං කළ හැටි

විවාහය කියන්නේ කෙනෙකුගේ ජීවිතයේ සුවිශේෂීම දවසයි.
පසුගිය 18 හා 19 දෙදින තුළ සුවිශේෂී විවාහ මංගල්‍යයක් අපේ රටේ පැවැතුණා.
එම අවස්ථාව ජැක්සන් ඇන්තනී හා කුමාරි මුණසිංහගේ ජීවිතයේ සුවිශේෂීම අවස්ථාවක් කිව්වත් වැරදි නැහැ.
මොකද මේ දවසේ මේ දෙදෙනාගේ දරුවෝ තුන්දෙනාම එකම නැකතට, එකම තැනකදී විවාහ දිවියට එළඹුණා.
මාධවී වත්සලා, අඛිල ධනුද්ධර හා සජිත අනුත්තරගේ විවාහයන් තමයි මේ විදියට පසුගිය 18 වැනිදා පැවැත්වුණේ.
කඩවත පදිංචි ජැක්සන් ඇන්තනී පවුලට සමීපතම දේවස්ථානය වන කිරිමැටියාගාර දේවස්ථානයේදී පෙරවරු 8.00ට තමයි මංගල දේව මෙහෙය පැවැත්වුණේ.
කාදිනල් මැල්කම් රංජිත් පියතුමා විසින් තමයි පූජාව සිදුකළේ. ඉන්පස්සේ ‍පෝරුවේ චාරිත්‍ර පැවැතියේ කඩවත “රෝස් ගාඩ්න්” උත්සව ශාලාවේදීයි.
බටහිර ඇඳුමින් සැරසිලා පල්ලියේ පූජාවට සහභාගි වූ මනාල මනාලියෝ ‍පෝරුවේ චාරිත්‍ර සිදුකළේ උඩරට ඇඳුමින් සැරසිලයි. 19 වැනිදා වෙන්නප්පුව ඇවෙන්ඩ්‍රා හෝටලයේදී කලා ලොවේ දිදුලන තරු රැසක් පිරිවරා මංගල ජයසාදය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.
මනාලයන් එහිදී ආර්ය ඇඳුමින් සැරසෙද්දී මනාලියන් නූතන ඇඳුමින් සැරසී සිටියා.
මාධවී වත්සලා, අඛිල ධනුද්ධර හා සජිත අනුත්තර කියන්නෙත් රටම හඳුනන කලාකරුවන් තිදෙනෙක්.
මේ අය විවාහය සිදුවනතුරු තමන්ගේ පෙම්වතුන් පෙම්වතියන් ගැන වැඩි විස්තර මාධ්‍ය හමුවේ දිගහැරියේ නැහැ. ඒත් දැන් ඒ තොරතුරු කාටත් රහසක් නෙමෙයි.
මාධවීගේ අතගත් මනාලයා වුණේ මිලාන් ධනංජය සිල්වායි. අඛිල “ඇමැන්ඩා නිකොලා වෙන්ඩර්වර්ඩ්” සමග අතිනත ගත්තා.
සජිතගේ ආදරණීය මනාලිය වුණේ බුවනිකා මනීෂායි.
කලාලොවේ දිදුලන තරු රැසක් එකට එක්වූ මේ විවාහ මංගල්‍යයට විශාල පිරිසක්ද සහභාගි වී සිටියා.
18 වැනිදා නාලක ප්‍රමුඛ සංගීත කණ්ඩායම සංගීතය සැපයූ අතර 19 වැනිදා “මේරියන්ස්ලා” මංගල උත්සවය සංගීතවත් කළා.
සජිත නළුවෙක් වගේම ගායකයෙක්. ඔහුගේ ප්‍රථම ගීතය “ස්වර්ණපාලියේ ගීතයේ රූප රචනයට රංගනයෙන් දායක වුණෙත් සජිත හා ඔහුගේ පෙම්වතියයි. සජිතගේ දෙවැනි ගීතය වන “මිහිරාවි ආවා” මෙම විවාහ මංගල්‍යය දා එළිදැකීමත් විශේෂයි.
විවාහයෙන් පස්සේ මාධවී මිලාන්ගේ නිවසේ පදිංචියට යනවා. අඛිලයි, සජිතයි දෙන්නා තමන්ගේ මනාලියන් ඔවුන්ගේ මහ ගෙදරට කැඳවාගෙන එනවා.
තමන්ගේ දරුවන් තිදෙනාම එකම දවසක විවාහ දිවියට ඇතුළත් කළ ජැක්සන් සහ කුමාරි මේ වෙනකොටත් ඉන්නේ හරිම සතුටින්.

උපුටා ගැනීම – ලක්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!