Gossip

ඇත්තටම මම දකින්නේ මේ ලෝකේ ඉන්න හැම කාන්තාවක්ම ලස්සනයි. මා මෙතනදී කියන්නේ සමේ පාට ගැන නොවේ. සමේ පාට අනුව කෙනෙකුගේ ලස්සන මනින්න බෑ – දුලානි අනුරාධා

එන්න එන්නම ලස්සන වෙනවා. ඇත්තටම අපිත් කැමතියි ඒ රහස දැනගන්න?
වෘත්තීන් දෙකේදීම මට නිරෝගීකම සුන්දර පෙනුම ප්‍රියමානප බව ඉතාම වැදගත් නිසා කොපමණ රාජකාරි බහුල වුණත් මම මගේ ගැන හිතන්න පුරුදු වෙලා ඉන්නවා. සමේ පැහැය ඇඟේ හැඩය වගේම මනස සතුටින් නිදහසේ තියන්නත් මම මොනතරම් වැඩ අධික වුණත් කාලය හොයා ගන්නවා.කෑම බීම ගැන නම් ගොඩක් සැලකිලිමත්. ආසියානු කාන්තාවන් වයස අවුරුදු 35න් පස්සේ ගොඩක් මහත් වෙන්න බලනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි තෙල්,පිටි සහ සීනි යෙදූ කෑම වර්ග වැඩිපුර ආහාරයට එක්කර ගැනීම. මේවා බොහෝ විට සීමා කරන්න මම උවමනාවෙන්ම පෙළඹෙනවා.උදේට ඇත්තටම මම කන්නේ පුංචි ආහාරයක්. ඊට අමතරව පලතුරු කිහිපයකුයි කිරි වීදුරුවකුයි උදේට ගන්නවා. ගස්ලබු, ඇපල්, මිදි, දොඩම් වගේ පලතුරු කන්න ආසයි. ඊට අමතරව පාසල නිම වී ගෙදර ගිහින් සීනි නොදා හදපු කොමඩු ජූස් එකක් බොනවා. මම කොමඩුවලට හරිම ආසයි. ඒ වගේම කොමඩු කියන්නේ ශරීරයට ඉතාම හිතකර, සමට ඉතාම ගුණදායක පලතුරක්.ඊට අමතරව නිවාඩු දවසට ඖෂධීය කොළ යෙදූ කැඳ වර්ගයක් පිළියෙල කර ගන්නවා.විශේෂයෙන්ම පාසලට ආවාම වගේම රඟපෑම් කටයුතුවලදී පවා මම වතුර බෝතලයක් තියාගෙන බොනවා. මොකද රටේ පවතින උෂ්ණාධික බවටත් සමටත් නීරෝගිකම ආරක්ෂා කරගන්නත් වතුර අත්‍යවශ්‍යයයි.දවල්ට බත් පොඩ්ඩක් එක්ක එළවළු පළා වර්ග මාළුවක් ආහාරයට ගන්නවා. කෙටි කෑම වර්ග, කේක්, බිස්කට් වගේ දේවල්වලට මම කොච්චර ආස වුණත් ඒවා කන්නේ හරිම අඩුවෙන්. මොන වැඩ තිබුණත් මම 7 වෙනකොට කනවා. ‍රෑට නම් ගන්නේ පොඩි කෑමක්. සුප් එකක්, ටෝස් කරපු පාන් පෙත්තක් වගේ. ම්…. ඊට අමතරව මම ජිම් එකකට යන්නත් පුරුදු වෙලා ඉන්නවා. ව්‍යායාම කරන්න. වසර දෙකකට ආසන්න කාලයක් ජිම් එකට ගිහින් ව්‍යායාම කරන්න බැරි වුණා. මගේ කකුල එකම තැන දෙපාරක් කැඩිලා මම එක්තැන් වෙලා හිටපු නිසා. නමුත් ඒ සියල්ල දැන් ඉවරයි. මම දැන් සුපුරුදු විදිහට වැඩකරගෙන යනවා. නර්තනය උගන්වන නිසා එයත් ශරීරයේ හැඩය තියාගන්න ලොකු පිටිවහලක් වෙනවා.මේ හැමදේම අතරේ උදේ නැගිට්ට ගමන්ම ලොකු වතුර වීදුරුවක් බීලා දවසේ දින චරියාව පටන් ගන්න එකත් මගේ පුරුද්දක්.

සම ආරක්ෂා කරගන්න ක්‍රීම් වර්ග ආලේප කරනවද?
පාසලේදී වැඩි වෙලාවක් එළිමහනේ ඉන්න නිසා මම සාරි හැට්ටයට ආවරණය නොවන දෙඅත්වලට, බෙල්ලට, පිටට හිරු ආරක්ෂණ ක්‍රීම් වර්ගයක් නම් අනිවාර්යෙන්ම පාවිච්චි කරනවා.

කාන්තාවකට ලස්සන කොච්චර වැදගත්ද කියලා ඔබ හිතනවාද?
කාන්තාව කියන කෙනාව ස්වභාව දහමෙන්ම මවා තිබෙන්නේ සුන්දර ලස්සන කෙනෙක් විදිහට. ඇත්තටම මම දකින්නේ මේ ලෝකේ ඉන්න හැම කාන්තාවක්ම ලස්සනයි. මා මෙතනදී කියන්නේ සමේ පාට ගැන නොවේ. සමේ පාට අනුව කෙනෙකුගේ ලස්සන මනින්න බෑ.

එහෙනම් ඔබ කොහොමද කෙනෙකුගේ ලස්සන දකින්නේ?
පිරිසිදුකම අංක එක. ඊට අමතරව ශරීරය පවත්වාගෙන යන විදිහ, ඇඳුම් විලාසිතා තෝරා ගන්න විදිහ, තැනට ගැලපෙන විදිහට පිළිවෙලට අඳින විදිහ, සමාජයේ ජීවත්වන විදිහ, හැසිරෙන ආකාරය, කතා කරන විදිහ, ඒ වගේම සමාජයට වැඩක් වෙන්න ජීවත් වෙන විදිහ කියන හැමදේම කාන්තාවකගේ සුන්දරත්වයට බලපානවා.එහෙම නැතුව බාහිරෙන් ලස්සන වීමම නොවේ කාන්තාවකගේ සුන්දරත්වය කියා මා කියන්නේ. ඒ වගේම පුළුවන් හැම වෙලාවේම කාන්තාව ආදරෙන් කරුණාවෙන් ඉන්න එකත් ගොඩක් වටිනවා.

කාන්තාවකගේ සුන්දරත්වය නැති වෙන්න මොනවාද බලපාන්නේ?
වර්තමානයේ මා දකිනවා බොහෝ සුන්දර කාන්තාවන් තමන්ගේ සුන්දරත්වය නැති කර ගන්න ප්‍රධාන දෙයක් වෙලා තියෙන්නේ අනවශ්‍ය ලෙසට තමාට නොගැලපෙන විදිහට රූපලාවන්‍ය කටයුතු කරන්න යන එක. අනිත් දේ තමයි තරහා ගැනීම නිසාත් කාන්තාවකගේ සුන්දරත්වය නැති වී යන්න පුළුවන්.

කෙනෙකුට සුන්දර පෙනුමක් ලැබෙන්නේ කුමක් නිසා කියාද ඔබ විශ්වාස කරන්නේ?
මම නම් හිතන්නේ එය පෙර පිනක් නිසා සිදුවෙන දෙයක්. ගොඩක් ලස්සන දෙමාපියන්ට ලස්සන නැති දරුවෝ ලැබෙනවා. සමහර වෙලාවට දෙමාපිය දෙන්නාට වඩා ගොඩක් ලස්සනට දරුවෝ ඉපදෙනවා. ඒ නිසයි මම ඒ දේ කියන්නේ.ඊට අමතරව ජානමය භේදත්, කුස තුළදී ලැබෙන පෝෂණයත් දරුවාගේ නිරෝගී බවට වගේම සුන්දරත්වයටත් බලපානවා.

ඔබ ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව කවුද?
හොලිවුඩයේ බොලිවුඩයේ ඕනෑ තරම් ලස්සන අය ඉන්නවා. නමුත් මම ආසම ලෝකයේ දැකපු ලස්සන කෙනා තමයි ඩයනා කුමරිය.ප්‍රින්සස් (කුමරිය) කියන නම ඇයට හොඳටම ගැලපෙනවා. ඒ වගේමයි ඇගේ ගාම්බීරත්වය, ප්‍රශ්න හමුවේ ජීවිතය ගෙන ගිය විදිහ, ඒ හැමදේම ඇගේ පෞරුෂත්වය නිසා ලැබුණ දේවල්. ඇය ඇත්තටම සුන්දරයි. ලෝකයෙන්ම ඇය අදටත් කතා බහට ලක්වන්නේ ඇගේ සුන්දරත්වය නිසා නේද?

ඔබ ජීවිතයේ ලස්සනට සැරසුන දවස මතකද?
ම්… පාසලට අලූත් සාරියක් අඳින හැම දවසකම මම පාසල් ළමයින් අතර ගොඩක් ප්‍රශංසාවට ලක්වෙනවා. ඒ වගේම අබා ෆිල්ම් එක ප්‍රදර්ශනය කෙරුණ මුල් දවසෙත් “ඔයා අද ගොඩක් ලස්සනයි” කියලා ගොඩක් අය මා ළඟට ඇවිත් කිව්වා.

ඔබ ඔබේ ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් මොනවාද කරන්නේ?
පාසලේදී ගොඩක් ඝෝෂාවක ඉන්නේ. නිතරම අපි ජීවත් වෙන පරිසරයේ සද්ද බද්ද වැඩි. ඒ නිසා මම කරන්නේ මාසයකට දවසක් දෙකක් ගමක තියෙන පුංචි පන්සලකට ගිහින් බෝ මළුවේ වාඩි වෙලා මනස නිදහස් කරන් ඇස්දෙක පියාගෙන ඉන්නවා. එයින් ලැබෙන මානසික නිදහස ආධ්‍යාත්මික සතුට වචනයෙන් විස්තර කරන්න බැරි තරම්.

විලාසිතා කිරීමේදී ඔබ සැළකිලිමත්ද?ඔව්. මම හරිම ආසයි විලාසිතා කරන්න. ඒ හැම විලාසිතාවක්ම තෝරා ගැනීමේදී සහභාගිවෙන තැන, වේලාව ගැන ගොඩක් සැළකිලිමත් වෙනවා. මම ගොඩක් ආස චාම් ඇඳුම්වලට.

උපුටා ගැනීමකි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!