Gossip

“අවුරුදු දහයකට පස්සෙ ආයෙත් මම මනාලියක් වුණා, මගේ ජීවිතේ තියෙන තුරු ඒ අත්දෙක මාව පරිස්සම් කරාවි.”

අහිංසක නිහතමානී සරළ චරිතයක් විදිහට ශෂිකා නිසංසලාට රසිකයන් ගොඩක් ආදරේ කරනවා.
ඇගේ මියුරු හඬින් රසික හදවත් වැළඳගත් ශෂිකාට ලොකු කුඩු කවුරුත් ප්‍රිය කරනවා.
ඇය විවාහ වෙලා දැන් අවුරුදු 10 ක් වෙනවා.
ඒ සංවත්සරය සමරන්න ශෂිකා ආයෙමත් විවාහ වෙලා තිබුණා.
ඒ ගැන ශෂිකා නිසංසලා සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

ශෂිකා.. මොකද මේ ආයෙත් මනාලියක් වුණේ..?
මෙහෙමයි.. අපේ දහවැනි විවාහ සංවත්සරය ජනවාරි මාසේ විසිඅට වැනිදාට තමයි යෙදිලා තියෙන්නෙ. අපි කසාද බැන්ඳේ 2008 අවුරුද්දේ ජනවාරි විසිඅට වැනිදා. ඉතින්…
අවුරුදු දහයකට පස්සෙ ආයෙත් මම මනාලියක් වුණා. ඒක ඇත්තටම ඉයන් සංජීවගේ අදහසක්. මම ඔය වෙඩින්වලට යද්දි මාව හැඩගන්වන්නෙ ඉයන් මල්ලි.
ඉතින්.. මාස කීපයකට කලින් ඉයන් මල්ලි අක්කේ ආයෙත් මනමාලියක් විදිහට අඳිමුද? කියලා ඇහුවා. ඉතින් මටත් ආස හිතුණා. ඒ නිසා මේ අපේ විවාහ සංවත්සරේ දි මම ආයෙත් මනමාලියක් වුණා.

එතකොට කවුද මනමාලයා..?
මගේ මනමාලයා වුණේ මීට අවුරුදු දහයකට කලින් මගේ මනමාලයා වුණු සුරංගම තමයි.
ඉයන් මල්ලි ඒ යෝජනාව ගෙනාවට පස්සෙ මම සුරංගටත් කිව්වා. සුරංගත් කැමති වුණා. අවුරුදු දහයකට කලින් අපි ඇඳපු ඇඳුම්වලට වඩා දැන් ඇඳුම්, ජුවලරි හරි වෙනස්නෙ.
දැන් ඒ හැමදෙයක්ම හරි ලස්සනයිනෙ. ඒ නිසා මම හරිම ආසාවෙන් ආයෙත් මනමාලියක් වුණා.

හිතනවද අවුරුදු දහයකට කලින් හිටියා වගේමයි කියලා…?
ම්.. ඔව්.. එහෙම හිතනවා. ගොඩක් වෙලාවට කසාද බැඳලා අවුරුදු දහයක් ගියාට පස්සෙ ඇඟත් එහෙම මහත්වෙලා ටිකක් වෙනස් වෙනවනෙ.
හැබැයි අපි දෙන්නා එහෙම ලොකු වෙනසක් වෙලා නෑ. ඒ නිසා සුරංගත් ඒකට කැමති වුණා.

අවුරුදු දහයක් ගෙවුණා.. අද මොකද හිතෙන්නෙ..?
අපි දෙන්නා අවුරුදු හතරහමාරක් විතර ආදරය කරලයි කසාද බැන්ඳේ. අපි මුලින්ම කැලණි විශ්වවිද්‍යාලයේදි මුණගැහුණේ.
මම කැම්පස් එකට ඇතුළත් වුණු අවුරුද්දට වඩා සුරංග එක අවුරුද්දක් වැඩිමල්. අපි අඳුරගෙන අවුරුදු දෙකක් විතර යාළුවෝ විදිහට ආශ්‍රය කළාට පස්සෙ තමයි ඒක ආදරයක් වුණේ.
ඊටපස්සෙ අපි අවුරුදු හතරාමාරක් ආදරේ කරලා තමයි කසාද බැන්ඳේ. ඒ කාලය තුළදී අපි දෙන්නා අපිව හොඳටම තේරුම් ගත්තා.

කැම්පස් එකේ ඉන්න කාලෙදීම සශිකා ජනප්‍රිය ගායිකාවක් වුණා නේද..?
ඔව්.. ඒක ඇත්ත. ඒ දවස්වල මම ජනප්‍රිය වෙලා ක්ෂේත්‍රයේ ගොඩක් වැඩ කරපු කෙනෙක්.
ඉතින් සුරංග ඒවාත් දැක්කා. ඒ දවස්වල මගේ තාත්තා තමයි මාත් එක්ක ඒ දේවල්වලට ගියේ. ඉතින්..
තාත්තා මාව පරිස්සම් කළේ කොහොමද.. මගේ අම්මා, මගේ මල්ලී මගේ වැඩවලට සහයෝගය දුන්නේ කොහොමද කියලා සුරංග දැක්කා.
ඉතින්.. මම කසාද බැන්ඳට පස්සෙ සුරංගගෙන් මට ඒවාට උපරිම සහයෝගය ලැබුණා.
කසාද ජීවිතේ කියලා ලොකු බරක් මට දැනෙන්න සුරංග ඉඩ තිබ්බේ නෑ. පවුලේ හැම වගකීමක්ම වගේ සුරංග බාරගත්තා.
බබාලා ලැබෙද්දී, බබාලා ලැබුණාට පස්සේ පවා ගොඩක් වගකීම්වලින් සුරංග මාව නිදහස් කළා. ඇත්තටම සුරංග කියන්නෙ මගේ අම්මා, තාත්තා, මල්ලි වගේම මාව තේරුම් ගත්තු කෙනෙක්. මගේ ජීවිතයට ආවට පස්සෙ මාව හරි අපූරුවට පරිස්සම් කරන කෙනෙක්.
ඒ වගේම මගේ දරුවන් දෙන්නගේ වැඩවලට අදටත් මගේ අම්මගෙන් තාත්තගෙන් ලොකු සහයෝගයක්, රැකවරණයක් ලැබෙනවා.
ඇත්තටම අවුරුදු දහයක් ගෙවෙන මේ මොහොතේ සුරංගගේත් මගේත් ආදරය මට දැනෙන්නෙ අද ඊයෙක වගෙයි. අපි බොහොම සාමාන්‍ය පවුල්වල පොළොවේ පය ගහලා ජීවත්වෙන මවුපියන්ගේ දරුවෝ දෙන්නෙක්. ඉතින්… අපිට දුක තේරෙනවා. මහන්සිය තේරෙනවා.
ඒ වගේම සාර්ථක පවුල් ජීවිතේ සොඳුරැකම තේරෙනවා. අද වෙද්දී මායි සුරංගයි සරල, සාමාන්‍ය, සොඳුරු ජීවිතයක් ගත කරනවා. ඒ ගැන තියෙන්නෙ ඇත්තටම සතුටක්.

මෙහෙම මනමාලියක්, මනමාලයෙක් වුණාට අද ඔය දෙන්නා දරුවන් දෙන්නෙක්ගේ අම්මා තාත්තා දෙපළක්..?
ඔව්.. ඔව්.. ඒක ඇත්ත. දැන් අපිට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා මිහින් මතඟවීර. දැන් වයස අවුරුදු හතයි.
එයා දැන් තුන වසරේ ඉගෙන ගන්නවා. චූටි පුතා හිරුන්ට දැන් අවුරුදු හතරයි.
එයා ලබන අවුරුද්දේ ඉස්කෝලේ යනවා. ඉතින් දරුපැටවු දෙන්නගේ වැඩ කටයුතුයි, එයාලගේ හුරතල් වැඩයි එක්ක අපිට කාලය ගතවෙනවා තේරෙන්නෙ නෑ. ඉතින්.. සතුටින් මේ අවුරුදු දහය ගෙවුණා වගේම ඉදිරි ජීවිතෙත් ගත කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.

ඔයාගේ කලා කටයුතු නිසාම සුරංග එයාගේ රැකියාවෙන් පවා අයින් වුණා නේද..?
ඔව්.. ඒක ඇත්ත. එයා කැම්පස් එකේ විද්‍යා විෂයන් හැදෑරුවේ. ඊටපස්සේ පෞද්ගලික ආයතනයක හොඳ පිළිගත් රැකියාවක් ඉහළ වැටුපකට කළා.
ඒත්.. එයා කාර්යබහුල වෙද්දී මගේ වැඩයි පුතාලගේ වැඩයි කරගන්න ටිකක් අමාරු වුණා. ඒ දවස්වල සුරංග වැඩඇරිලා ගෙදර එද්දී වැඩත් එක්ක රෑ වුණා.
ඉතින් ඒ නිසාම මමයි මගේ දරුවන් දෙන්නයි නිසාම සුරංග ඒ රැකියාවෙන් අයින් වුණා.
දැනට සුරංග එයාගේම ව්‍යාපාරයක් පොඩියට කරනවා. ඇත්තටම සුරංගගෙන් පවුලට ලොකු කැපකිරීමක් තියෙනවා. මායි, දරුවන් දෙන්නයි වෙනුවෙන් සුරංග බොහෝ දේවල් කරලා තියෙනවා.

දැන් කසාද බැඳලා මේ මාසේ විසිඅට වැනිදාට අවුරුදු දහයක් ගෙවෙනවා.. මොකද හිතෙන්නෙ..?
ගෙවුණු අවුරුදු දහය ගැන ඇත්තටම තියෙන්නෙ ලොකු සතුටක්. ජීවිතයේ දී මගේ අම්මා, තාත්තා, මල්ලී වගේම මගේ ජීවිතයට මාව අත්නොහැරපු අත් දෙකක් මීට අවුරුදු දහයකට කලින් මට ලැබුණා. ඇත්තටම ඒ අත්දෙක මේ අවුරුදු දහය පුරාවට මාව පරිස්සම් කළා. මාව ආදරෙන් බලාගත්තා. ඉතින්… මගේ ජීවිතේ තියෙන තුරු ඒ අත්දෙක මාව පරිස්සම් කරාවි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!