Gossip

අයිඩෙන්ටි කාඩ් එක උකස් කර කසිප්පු බිවූ දෙදරු පියා

කුමාර දෙදරු පියෙකි. කුලී වැඩවලින් ජීවත් ඔහු තදින්ම මත්පැන්වලට ඇබ්බැහිවූවෙක්.

මේ නිසා නිවසේ ඇතිවූ අඩදබර බොහෝය. හරිහමන් අධ්‍යාපනයක් නොලද කුමාරට උප්පැන්න සහතිකයක් හෝ තිබුණේ නැහැ.

එක් දිනක කුමාර, ග්‍රාම නිලධාරී හමුවට ගියේ කිසියම් රාජකාරී අවශ්‍යතාවයකට.

එහිදී ග්‍රාම නිලධාරිවරයා කුමාරගෙන් හැඳුනුම්පත ඉල්ලා සිටි නමුත් ඔහු පැවසුවේ උප්පැන්නය නැති නිසා තමන්ට හැඳුනුම්පතක් සකස් කර ගැනීමට නොහැකිවූ බවයි.

මෙහිදී කුමාර ඇමතූ ග්‍රාම නිලධාරී “කුමාර…අදට මම ඔය වැඩේ කරලා දෙන්නම්. හැබැයි කොහොම හරි හැඳුනුම්පතක් හදාගන්න මහන්සි වෙන්න. උප්පැන්නය නැති වුණාට වෙනත් සහතික ටිකක් හොයා ගත්තොත් හැඳුනුම්පත හදා ගන්න පුළුවන්. මම උදව් කරන්නම්. අපි කොහොම හරි හැඳුනුම්පත හදාගමු,” ග්‍රාම නිලධාරීවරයා කුමාරව උනන්දු කරමින් කියා සිටියා.

සම්ප්‍රදායික රාජ්‍ය නිලධාරීයකු නොවු ග්‍රාම නිලධාරිවරයා කුමාර පසුපස පන්නමින් විකල්ප ලේඛන කීපයක් සකස් කිරීමට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත භාර දුන්නා.

මාස කීපයක ඇවෑමෙන් ග්‍රාම නිලධාරිවරයාගේ උත්සාහය මල්ඵල ගන්වමින් කුමාරට හැඳුනුම්පත ලැබුණා.

එය ලැබීමෙන් කුමාරටත් වඩා සතුටු වූයේ ඔහුගේ බිරිඳ අනෝමා යි.

“මහත්තයාට පිං සිද්ධ වෙනවා. මගේ මිනිහට හැඳුනුම්පත හදලා දුන්නට,” ග්‍රාම නිලධාරීවරයාට ඇය බොහෝසේ ස්තූති කළා.

සතියක් දෙකක් ගත වුණා. ග්‍රාම නිලධාරිවරයා කාර්යාලයේ රැඳී සිටියා. විලාප තබමින් කාන්තාවක් තමා හමුවට එනවා ග්‍රාම නිලධාරීවරයා දුටුවා.

ඇය කාර්යාල වෙත ළං වෙනවාත් සමග නිලධාරීවරයා ඇය හඳුනා ගත්තා. ඇය කුමාරගේ බිරිඳ අනෝමා.

“අනේ බුදු මහත්තයෝ… අර කාලකන්ණියා මටයි, දරුවන්ටයි හොඳටම ගහලා අයිඩෙන්ටි කාඩ් එක උදුරාගෙන ගිහින් කසිප්පු තිප්පොළේ උගස් කරලා හොඳටම බීලා ඇවිත්. මට ගෙදර ඉන්න දෙන්නෑ,” අනෝමා ග්‍රාම නිලධාරීවරයා ඉදිරියේ විලාප තිබ්බා.

මෙය ඇසූ ග්‍රාම නිලධාරියාට යකා නැග්ගා. “ඔය හැඳුනුම්පත… ඕකව බෙල්ලෙන් අල්ල ගන්නම්,” යැයි කීවූ ඔහු තම යතුරුපැදියේ නැගී කුමාර සොයාගෙන ගියා.

ග්‍රාම නිලධාරි යන විට කුමාර වෙරි මතින් දොඩවමින් බෝක්කුවක් මත හිඳ සිටියා.

“කුමාර මෙහෙ වරෙං… යකෝ බලු වැඩ කරන්න එපා.” යැයි කියපු ග්‍රාම නිලධාරි ඔහුගේ බෙල්ලෙන් අල්ලාගෙන අසල පිහිටි කසිප්පු තිප්පොළ වෙත රැගෙන ගියා.

ලීලා කෝ මේකගේ අයිඩෙන්ටි එක,” ග්‍රාම නිලධාරියා කසිප්පු ලීලාගෙන් විමසුවා.

“ආ…ග්‍රාම සේවක මහත්තයා… ඔය කුමාරයා අද බොන්න සල්ලි නෑ කියලා අයිඩින්ටි කාඩ් එක මට උගස් කළා,” ඇඟපතට නොදැනී ලීලා පිළිතුරු බැන්දා.

“මේ ලීලා මගේ යකා අවුස්සන්න එපා. උඹ කරන තරමක් කරන්නේ නීතිවිරෝධි වැඩ. මාව නරක මිනිහ කරන්නේ නැතිව කුමාරගේ හැඳුනුම්පත දීපං…” ග්‍රාම නිලධාරිවරයා ලීලා අමතා කීවා.

එනපොට හොඳ නැති බව දැනගත් ලීලා, කුමාරගේ හැඳුනුම්පත ග්‍රාම නිලධාරිට දුන්නා, “අයේ උඹ වරෙංකො ණයට බීලා යන්න,” යැයි කුමාරට ඇය දෙස් දෙවොල් තිබ්බා.

කුමාරව පසෙකට තල්ලු කර දැමූ ග්‍රාම නිධාරියා ඔහුගේ හැඳුනුම්පත ටික දවසක් තමා භාරයේ තබාගෙන පසුව කුමාරට නොදැනී එය ඔහුගේ බිරිඳ වන අනෝමාට එය භාරදුන්නා.

(අරුණ පුවත්පතෙන් උපුටා ගැනුණි.)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!