Gossip

අයහපත් කාලගුණය නිසා පුද්ගලයින් 84,943 දෙනෙකු පීඩාවට – කළු ගඟේ අවදානම් තත්ත්වයත් ඉහළට

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 12 ක පුද්ගලයින් 84,943 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

මේවන විට පුද්ගලයින් 11 දෙනෙකු අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ අනතුරුවලින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කළේ දිවයිනේ ප්‍රදේශ රැසක් මේවන විටත් ජලයෙන් යටව පවතින බවයි.

එසේම විපතට පත් ජනතාව මුදා ගැනීම සඳහා නාවික හමුදාව ඇතුළු සහන කණ්ඩායම් කටයුතු කරමින් සිටිනවා.

කළුගඟ පිටාර ගැලීම හේතුවෙන් මේවන විටත් මිල්ලනිය හා මදුරාවල ප්‍රදේශයන්හි පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

එලෙසම අධික වාර්ෂාපතනය හේතුවෙන් කැලණිය – බියගම ප්‍ර දේශය තවදුරටත් ජලයෙන් යටවී තිබෙනවා.

කැලණි ගඟේ ජල මට්ටම පහළ යාමත් සමග කැලණි ගඟ ආශ්‍රිත පහත් බිම්වල එකතුවී ඇති ජලය සේදවත්ත ප්‍රදේශයේදී නැවත ගඟට මුදාහැරීමට අද පියවර ගැණුනා.

‍මේ අතර, බියගම ප්‍රදේශයේ ගං වතුරින් විපතට පත් පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාම සඳහා නාවික හමුදා සහන සේවා කණ්ඩායම් මේවන විටත් කටයුතු කරමින් සිටිනවා.

දෙල්ගොඩ – දිවුලගොඩ ප්‍ර දේශයේ ජල ගැලීම් හේතුවෙන් කොටුවී සිටි ගැබිණි මව්වරුන් පිරිසක් බේරා ගැනීමට නාවික හමුදා ක්ෂිණික ප්‍රතිචාර දැක්වීමේ මුදාගැනීමේ සහන සැලසීමේ ඒකකයට අනුයුක්ත භට පිරිස් කටයුතු කළා.

මේ අතර, මාදම්පේ – පුත්තලම මාර්ගයේ මහවැව පාලම අසල සැඩපහරට හසුව ගසාගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාව කටයුතු කළා.

මේ අතර, ඕනෑම හදිසි ආපදා තත්ත්වයකදී විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා එක්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා භට කණ්ඩායම්ද සුදානමින් සිටිනවා.

මේ අතර කළු ගඟේ ජල මට්ටම අද රාත්‍රි කාලයේ ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳ දැඩි අවධානයකින් පසුවන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

මේ අතර ගිං ගඟේ ජල මට්ටම නෙළුව ප්‍රදේශයෙන් යළි සුළු වශයෙන් වැඩිවීමක් පෙන්නුම් කරන බවයි වාර්තාවන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ බෙංගාල බොක්කේ පවතින කැළඹිලි සහගත තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වුවහොත් ඉදිරි දින කිහිපයේදීත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බවයි.

එසේම අද රාත්‍රි කාලයේදීත් පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බවද එම දෙපාර්තමේන්තුව කියා සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!