Gossip

අම්මයි තාත්තයි නිහඬව හිටියේ කරන්නම දෙයක් නැතිකමටයි -එදා ගෙදර ඇවිල්ලත් මම පැය ගාණක්ම ඇඬුවා – මාධව කාටත් නොකියූ රහස

මාධව විජේසිංහ කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පියෙක්. ඒ වගේම නිවේදකයෙක්. ඉතින් මාධව සති අන්ත පුවත්පතක් සමග කාටත් නොකී රහසක් කියලා තියෙනවා. මේ ඒ ගැනයි.

මම හෙළි කරන කාටත් නොකී රහසට සම්බන්ධ පුරුද්ද මගේ ජීවිතයට එකතු වුණේ මට වයස අවුරුදු 4දී-5දී විතර කියලා තමයි මට මතක. සමහර විට ඊටත් කලින් ඉඳලා මේ පුරුද්ද මට තියෙන්න ඇති. හැබැයි ඒක එදා ඉඳන් අද දක්වාම වෙනස් නොවුණු පුරුද්දක් බව නම් කියන්නම ඕනෑ. ඒ පුරුද්ද, එහෙමත් නැතිනම් මා ගැන කවුරුත් නොදන්න රහස තමයි මට වතුර පේන්න බැරිකම. මම මෙහෙම කිව්වාම ඇතැම් විට හිතයි මට වතුර දකිනකොට මොකක් හරි අසනීපයක් හැදෙනවද දන්නේ නෑ කියලා. එහෙම හිතනවා නම් ඔබ වැරදිත් නැහැ. මොකද මට හිතෙන විදිහට එක අතකට ඒකත් එක්තරා අසනීපයක් තමයි. ඇත්තම කියනවා නම් මට ගලාගෙන යන ජල කඳක් දැක්කොත් අනිවාර්යයෙන්ම ඒකට බැහැලා පීනන්න ඕනමයි. ඈත පළාත්වල ඉන්න යාළුවෙක් බැරි වෙලාවත් එයාගේ නිවසට එන්න කියලා මට ආරාධනා කළොත් මම පළමුවෙන්ම අහන ප්‍රශ්නය තමයි “ ඒ පැත්තේ ගංගා ඇළ දොළ තියෙනවද?” කියන එක. විනෝද ගමනක් යද්දී පාර අයිනේ දිය පාරක් තිබුණොත් නම් අනිත් අය ගමන ගිහින් ඉවරයි. මොකද මම කොහොම හරි වාහනේ නවත්තගෙන ඒ දොළ පාරට බැහැලා පීනනවා හරි ටික වෙලාවක් වතුරේ ගිලිලා ඉන්නවම තමයි. නාඳුනන තැන්වල ජලාශවලින් එහෙම නාන එක භයංකරයිනේ. ඒ හින්දා මාත් එක්ක ඉන්න අය ඒ වෙලාවට වටාපිටාවේ අයගෙන් ජලාශය ගැන තොරතුරු අහලා තමයි මට වතුරට බහින්න දෙන්නේ.

මම මුලිනුත් සඳහන් කළානේ මේ පුරුද්ද පුංචිම පුංචි කා‍ලේ ඉඳන් මට තියෙන එකක් කියලා. ඒත් අද වෙද්දී දැනුම් තේරුම් ඇති කෙනෙක් විදියට අහම්බෙන් හරි සුන්දරව ගලාගෙන යන ගංගාවක් දැකලා ඒකට බහින්න හිතුණත් වටාපිටාවේ පරිසරය අනුව, එහෙමත් නැතිනම් මම ඒ වේලාවේ ඉන්න තත්ත්වය හා කාර්ය බහුලකම අනුව ඒ ආශාව යටපත් කරගන්න වෙනවනේ. ඒත් පුංචි කා‍ලේ එහෙම නැහැ. වාහනෙක ගමනක් යද්දී පාර අයිනේ ගංගාවක් ඇළක් දොළක් දැක්කොත් ඒකට පනින්න ඕනෑමයි කියලා මම අඬනවා. මාව එතැනට එක්කරගෙන යනකල් ඇඬුම නවත්වන්නේ නැහැ. කරන්නම දෙයක් නැති හින්දා අම්මලා යන ගමන නවත්වලා හරි මාව වතුරට දානවා. මේ හින්දම පුංචි කා‍ලේ අපි කට්ටිය දුර ගමන් යද්දී අම්මා මට වෙනම ඇඳුම් බෑග් එකක් අරගෙන යනවා. හැබැයි ඉතින් කට්ටියත් එක්ක මළ ගෙදරක, මඟුල් ගෙදරක යද්දී මේ දේ කරන්න බැහැනේ. ඒ වෙලාවට නම් මම කොයි තරම් ඇඬුවත් මගේ ආසාව ඉටු වන්නේ නම් නැහැ. ඒ වෙලාවට පැය දෙක තුනක් යන කල් මගේ ඇඬුම නවතින්නෙත් නැහැ.

අපේ තාත්තාට හොඳට පීනන්න පුළුවන්. මම පීනන වෙලාවට තාත්තත් ළඟටම වෙලා ඉන්නවා. කතරගම ගියාම සාමාන්‍යයෙන් මැණික් ගඟේ නාන්න යනවානේ. ඒත් මැණික් ගඟේ කිඹුල්ලු ඉන්නවා කියලා හැමෝම කියනවා. ඒත් මම නම් ඒ කතාවට ‍පොඩ්ඩක්වත් බය නැහැ. මම වතුරට බහින්නේ විනාඩියෙන් දෙකෙන් එනවා කියලයි. ඒත් පැය ගණනකට මම ගොඩට එන්නේ නැහැ. ඒ වෙලාවට තාත්තත් මගේ ආරක්ෂාවට ළඟටම වෙලා ඉන්නවා. මට මතකයි දවසක් තාත්තා රාජකාරී ගමනක් ගියා. ඒ යනකොට අපිවත් එක්කරගෙන ගියා. ගමන ගිහින් ආයෙමත් එද්දී අපි දැක්කා පාර අයිනේ සුන්දර දිය දහරාවක් ගලාගෙන යනවා. ඒක දැක්කා විතරයි මට වතුරට බහින්න හිතුනා. ඒත් ඉතින් මගේ ආශාවට විතරක් වාහනේ නතර කරන්න බැහැනේ. වාහනේ දිගටම ආවා. මගේ විලාපය නැවතුනෙත් නැහැ. අම්මයි තාත්තයි නිහඬව හිටියේ කරන්නම දෙයක් නැති කමටයි. එදා ගෙදර ඇවිල්ලත් මම පැය ගාණක්ම ඇඬුවා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!