Gossip

මංගල යෝජනා තීරුවේ මගුල් නටන අනංගයෙක් – සියලු විස්තර හෙළිවෙයි

මංගල යෝජනා තීරයේ පළවන කාන්තාවන්ට දුරකථන ඇමතුම් ලබා දී එම කාන්තාවන් රවටා මුදල් ජාවාරමක්‌ කරගෙන ගිය අනංගයකු අතුරුගිරිය පොලිසිය විසින් පසුගිය 30 දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත් වූයේ කහටගස්‌දිගිලිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ 44 හැවිරිදි තිදරු පියෙක්. යුද හමුදාවෙන් විශ්‍රාම ගොස්‌ සිටි සැකකරුගේ නීත්‍යානුකූල බිරිඳ විදේශ ගත වී ඇති බවත් පොලිසිය සඳහන් කළා.

මෙම සැකකරු විසින් දිගු කාලයක්‌ තිස්‌සේ මෙසේ තනිකඩ කාන්තාවන් රවටා මුදල් උපයා ගෙන ඇති අතර, එසේ උපයා ගත් මුදල් රුපියල් ලක්‌ෂ දෙකක්‌ සැකකරු සන්තකයේ තිබී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අතුරුගිරිය රතුවිලවත්ත ප්‍රදේශයේ උපාධිධාරිනියක විසින් පළ කරන ලද මංගල යෝජනාවක කුරුණෑගල රාජ්‍ය බැංකුවේ සේවය කරන බව පවසා අදාළ තරුණියට විවාහ යෝජනාවක්‌ ඉදිරිපත් කළ සැකකරු කාලයක්‌ තිස්‌සේ දුරකථනයෙන්ම කුළුපඟ වී විවාහ උත්සවයද දුරකථනයෙන් සැලසුම් කර තිබෙනවා. මනාලයාගේ මව හැටියටද පියා හැටියටද සහෝදරිය හැටියටද විවිධ හඬ වෙනස්‌ කරමින් මෙම තරුණයා විවිධ දුරකථන අංක ඔස්‌සේ ඇමතීම් සිදුකර අවසානයේ විවාහයට අවශ්‍ය වියදම් සහ දෙදෙනාගේම පහසුවට වාහනයක්‌ මිලදී ගැනීමට විශාල මුදලක ණයක්‌ තමන් වැඩ කරන බැංකුවෙන් තමනට ගත හැකි බවත් එහි මූලික වැඩ කටයුතු සඳහා රුපියල් ලක්‌ෂ තුනක්‌ වැය වෙන බවත් එම මුදල තමාගේ ගිණුමට බැර කරන ලෙසත් පවසා බැංකු ගිණුමක අංකයක්‌ ලබා දී තිබුණා. විවාහය ගැන උදම් වී සිටි පැමිණිලිකාර කාන්තාව එසැණින් දෙවරක්‌ නොසිතාම රුපියල් ලක්‌ෂ තුනක මුදල අතුරුගිරියේ පෞද්ගලික බැංකුවට ගොස්‌ තැන්පත් කිරීමෙන් පසු පැය භාගයක්‌ පමණ ප්‍රේම අල්ලාප සල්ලාපයේ යෙදී සිටි ප්‍රේමවන්තයා එක්‌වරම නිහඬ විය. අම්මා – තාත්තා – සහෝදරිය කියා ඇමතුම් ලබාදුන් දුරකථනද ක්‍රියා විරහිත වී තිබිණි. සතියක්‌ පමණ එම අංක වෙත ඇමතුම් ලබා දුන්නත් ප්‍රේමවන්තයා සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ විට එම ප්‍රේමය දියාරු වී තමන් වංචාකාරයකුට හසු වූ බව පවසා අතුරුගිරිය පොලිසියට අදාළ කාන්තාව පැමිණිලි කර තිබෙනවා.

පැමිණිලිකාරිය ලබාදුන් දුරකථන අංක සහ බැංකු අංක ඔස්‌සේ විමර්ශන ආරම්භ කළ අතුරුගිරිය පොලිසියේ අපරාධ අංශයේ පොලිස්‌ සැරයන් (56750) පියල් මහතා ප්‍රමුඛ කණ්‌ඩායම විසින් එම දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව ඒවා සියල්ල විනාශ කර තිබූ අතර, බැංකු වාර්තා අනුව එම ගිණුම් හිමි කාන්තාවක්‌ සොයා මැදිරිගිරිය – අඹගස්‌වැව යාය දහය ප්‍රදේශයට ගොස්‌ තිබුණි. පොඩිමැණිකේ නමැති එම කාන්තාව පවසා තිබුණේ තමන්ට දිනයක අනුරාධපුරයේදී මනුෂ්‍යයකු මුණගැසී හිතවත් වූ බවත් ඔහුගේ බිරිඳ මියගොස්‌ ඇති බව පැවසූ බවත්ය. හුදකලාව සිටින තමන්ට විවාහ යෝජනාවක්‌ කළ බවත් ඇය පවසා ඇත. තමන් එයට කැමැත්ත ප්‍රකාශ කළ පසුව ඔහු යුද හමුදාවෙන් කලක්‌ සේවය කොට විශ්‍රාම ගිය අයකු බව පැවසූ බවත් ඇය කීවාය. තමන්ට ඇති වූ දැඩි සෙනෙහස හේතුවෙන් ඉදිරියේදී ලැබීමට ඇති විශ්‍රාමික/ පාරිතෝෂිත මුදල් බැර කිරීමට ගිණුමක්‌ ආරම්භ කිරීමට ඔහු මුදල්ද ලබාදුන් බවද ඇය සඳහන් කර ඇත. ඇය විසින් අනුරාධපුර පෞද්ගලික බැංකු ශාඛාවක ගිණුමක්‌ විවෘත කර ඇති අතර, එම ගිණුම් පොතට මුදල් දමන්නම් කියා පොතත් ඒටීඑම් කාඩ්පතක්‌ රැගෙන ගිය බවත් ඉන්පසු ඔහුගේ දුරකථනය වැඩ කරන්නේ නොමැති බවත් ඇය පවසා තිබේ.

එම ප්‍රකාශයෙන් සෑහීමකට පත් පොලිසිය අදාළ පෞද්ගලික බැංකුවේ සී. සී. ටී. වී. දත්ත ඔස්‌සේ හඳුනාගත් රුවක්‌ ඔස්‌සේ තොරතුරු සොයා හඹා ගොස්‌ සිද්ධියට අදාළ සැකකරු කහටගස්‌දිගිලිය දුෂ්කර ගම්මානයක සැඟ වී සිටියදී අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ විමර්ශන තුළින් හෙළි වූයේ විවිධ අයගේ හැඳුනුම්පත් සොරකම් කර මිතුරන්ගේ හැඳුනුම්පත් කොපිවලින් විවිධ සමාගම් වෙතින් දුරකථන සිම්පත් ගෙන මෙහි එක්‌ කාන්තාවක්‌ සමඟ කතා කර එම ජාවාරම අවසන් වූ සැණින් අදාළ සිම්පත් ඔහු විසින් විනාශ කරන බවයි. තවද මෙකී කාන්තාවන් මුලා කිරීමට විවිධ හඬවල්වලින් කතා කළේද තමන් බවත් සැකකරු පවසා තිබේ. සැකකරුට විවිධ හඬවල් ආරුඪ කර ගැනීමේ හැකියාව පැවති බව පොලිසිය පැවසීය. මෙසේ රවටා ජාවාරම් කළ කාන්තාවන් ප්‍රමාණය අතිමහත් බවත් එම ගණන තමන්ට අමතක බවත් සැකකරු පවසා ඇති අතර, තමන්ගේ බිරිඳ විදේශගත වී ඇති බවත් පවසා තිබේ. තම දරුවන් විවාහ වී තමන් සීයා කෙනකු වී හමාර බවත් සැකකරු කියා ඇත. සැකකරු කඩුවෙල මහෙස්‌ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!