Gossip

එයත් එක්ක අපි වෙනමම ජීවිතයක් ගත කරන්නේ – වත්සලා දියලගොඩ

වත්සලා දියලගොඩ කියන්නේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය නිළියක්
ඒත් විවාහයත් එක්ක ඇය නිර්මාණවලින් දකින්න ලැබුණේ කලාතුරකින්.
ඉතිං ඒකට හේතුව ගැනයි ජීවිතේ අලුත්ම විස්තර ගැනයි වත්සලා සතිඅන්ත පුවත්පතකට මේ විදිහයට කියලා තිබුණා.

ඉතින් කොහොමද ජීවිතේ?
භාරගත්ත වැඩ කටයුතු නම් මේ වෙනකොට කරලා ඉවරයි. ඒ නිසා ගෙදර අයත් එක්ක ඒ අය වෙනුවෙනුයි දැන් කාලය වෙන් කරලා තියෙන්නේ. ඉතින් එයාලා එක්ක සතුටින් කාලය ගත කරනවා. නැවත ලබන මාසේ අන්තිමට වගේ වැඩත් එක්ක කාර්යබහුල වෙයි.

කලාව පැත්තෙන් මොනවද අලුත් තොරතුරු?
ටෙලි නාට්‍ය ගොඩක් එක දිගට කරන කෙනෙක් ‍නෙවෙයි මම. මේ වෙනකොටත් එක නිර්මාණයකටයි රංගනයේ යෙදුණේ.දැන් ඊළඟ නාට්‍යයට තමයි සම්බන්ධ වෙන්න ඉන්නේ.

වත්සලා ළඟදි උපන්දිනය සැමරුවා නේද? දවසින් දවස වයසට යනවා. මොකද ඉතින් හිතෙන්නේ?
වයස නම් යනවා. ඉතින් ඒක එහෙම තමයි. සෑහෙන කාලෙකි මං උපන්දිනයක් එහෙම සැමරුවේ. මගේ යාළුවනුත් පවු‍ලේ අයත් එකතු කරගෙන උපන්දිනයක් මේ සැරේ සමරන්න ඕන කියලා මට හිතුණා.

පවුල වෙනුවෙන් ඔබ රංගනයෙන් සෑහෙන කාලයක් ඈත් වුණා නේද? ඒ කැපකිරීම ගැන මොකද හිතෙන්නේ?
මං මගේ පවුල වෙනුවෙන් කරපු ඒ කැපකිරීම ගැන මට තියෙන්නේ ලොකු සතුටක්. මොකද අපිට ජීවිතේ විවිධ අවස්ථා එනවා. ඒ ඒ අවස්ථාවල පුංචි පුංචි කැපකිරීම් කරන්න අපිට සිද්ධ වෙනවා. මං මගේ ජීවිතේ කළේ ‍පොඩි කැපකිරීමක්. ඒ ‍පොඩි කැපකිරීමට මට ජීවිතේ හැම දෙයක්ම ලැබුණා. ඒ හින්දා මගේ මේ වයසට මං ගොඩක් සාර්ථකයි කියලයි මට දැනෙන්නේ.

කොහොමද චූටි දෝණිගේ දඟ වැඩ එහෙම?
දැන් නම් එයා ඉතින් දඟයි කියන්නේ උපරිම දඟයි. බබා දැන් නර්සරි යනවා. එයා කතා කරන හැටි එහෙම බලන් ඉන්න හරි ආසයි. ඉතින් ගෙදර කරන දඟ වැඩ, හුරත‍ලේට කතා කරන හැටි, ඉස්කෝලෙදි එයා කරන වැඩ, ඒවා අහන්න, බලන් ඉන්න හරි ආසයි. එයත් එක්ක අපි වෙනමම ජීවිතයක් ගත කරන්නේ.

ඔබව දකිද්දි රූපවාහිනිය හරහා දෝණි කොහොමද ප්‍රතිචාර දක්වන්නේ?
එයාට ඒවා දැන් හොඳට තේරෙනවා. ‘අන්න අම්මි ඉන්නවා ටීවී එකේ’ කියලා එයා හොඳට අඳුනනවා. මම ගෙදරින් යනකොටත් අහනවා ඉතින් කොහෙද යන්නේ කියලා. ‘අම්මි ටීවී ගිහින් එන්නම්’ කීවාම එයා ඉන්නවා. එයාට දැන් හොඳට ඒ දේවල් තේරෙනවා.

දෝණිගේ දඟ වැඩ දකිනකොට අක්කටයි, නංගිටයි පුංචි කා‍ලේ මතක් වෙනවා ඇති නේද?
මගේ බබාට නම් තියෙන්නේ අපේ නංගිගේ වැඩ. එයත් ඒ වගේ හරි දඟයි, වසයි. නංගි ‍පොඩි කා‍ලේ කරපු දේවල් තමයි දැන් බබා කරන්නෙත්. ඒවා දකිනකොට නංගිගේ පුංචි කා‍ලේ තමයි අපිට මතක් වෙන්නේ.

ඔබ තුළ ඉන්න රංගන ශිල්පිනිය ඉස්මතු වෙනකොට මව සහ බිරිඳ ඔබගෙන් මගහැරෙනවා කියලා හිතෙන්නේ නැද්ද?
එහෙම මගෙන් මව සහ බිරිඳ මග හැරෙන්න මං කොයිම මොහොතකවත් ඉඩක් තියලා නෑ. වගකීම් මගහැරෙන නිසයි මම එක දිගට වැඩ ගොඩක් භාර නොගන්නේ. පළමුවැනි තැන මගේ පෞද්ගලික ජීවිතේ. රංගනයට නම් තව ඕන තරම් කාලය තියෙනවා. වයසට ගිහින් හරි රඟපාන්න පුළුවන්. නමුත් මගේ පවුලත් එක්ක ගවෛන මේ කාලය කොහෙත්ම මං මගහැර ගන්නේ නෑ.

චරිත තෝරා ගැනීමේදී සැමියාගෙන් නීතිරීති වැටෙනවා ඇති නේද?
චරිතයක වුණත් මගේ තේරීම කොහොමද කියලා එයා හොඳට දන්නවා. ඒ නිසා එයාගෙන් නීතිරීති නම් වැටෙන්නේ නෑ. ආවට ගියාට චරිත තෝරගන්න කෙනෙක් ‍නෙවෙයි මම. ඒ නිසා එයාට නීතිරීති දාලා සීමා කරන්න තරම් අවස්ථා ඉතුරුවෙලා නෑ.

චරිත තෝරා බේරාගැනීමේදී ඔබ වඩාත්ම කැමති මොන වගේ චරිත ලැබෙනවටද?
එහෙම විශේෂ චරිතයක් නෑ. ඕනම චරිතයක රංගනයේ යෙදෙන්න මම කැමතියි. එකම රාමුවකට කොටු නොවී ලැබෙන චරිත තුළ විවිධත්වයක් තියෙනවට මං කැමතියි. ලැබෙන චරිතයට මගේ උපරිමය ලබාදෙන්නයි මං උත්සාහ ගන්නේ.

අම්මා කෙනෙක්ගේ වගකීම කොහොමද ඔබට දැනෙන්නේ?
මේ ලෝකේ ලොකුම වගකීම තියෙන්නේ අම්මට. අම්මා කෙනෙක්ගේ වගකීම ඉදිරියේ අනිත් හැම වගකීමක්ම පරාදයි කියලයි මං දකින්නේ. ඒ තරමටම අම්මා කෙනෙක්ට ලොකු වගකීමක් තියෙනවා.

ඔබ, ඔබගේ රූපය එදා වගේම පරිස්සම් කරගන්න ලොකු වෙහෙසක් දරනවා ඇති නේද?
අනිවාර්යයෙන්ම ඒක එහෙම තමයි. මොකද මගේ රූපය තුළයි මගේ වෘත්තිය රැඳිලා තියෙන්නේ. ඒ නිසා මං ගොඩක් වෙහෙසෙනවා මගේ රූපය වෙනුවෙන්. ව්‍යායාම, රූපලාවණ්‍ය සත්කාර තුළින් මං මගේ රූපය පවත්වාගෙන යනවා. කොණ්ඩෙට ඒ වගේම සමටත් අවශ්‍ය සත්කාර මග නොහැර කරනවා. මොකද මං මගේ රූපෙට ගොඩක් ආදරෙයි. ඒ නිසා රූපය රැක ගන්නවා ඉතින් මං.

අම්මා කෙනෙක් හැටියට ඔබ විලාසිතා තෝරාගන්නෙ කොහොමද?
අනවශ්‍ය විදිහට මං කොහෙත්ම විලාසිතා කරලා නෑ. විලාසිතා කරනවා නම් මට ගැළපෙන විදිහටයි ඒ දේවල් මං තෝරා ගන්නේ. මම ගෙඩක් කොටට එහෙම අඳින කෙනෙක් ‍නෙවෙයි. මට සුදුසුයි, ගැළපෙනවා කියලා හිතෙන හැම විලාසිතාවක්ම මං කරනවා.

ඔබගේ රූපෙත් එක්ක ප්‍රේම ආරාධනා එහෙමත් ලැබෙනවා ඇති නේද?
අනිවාර්යයෙන්ම ලැබෙනවා. තවමත් මට චරිත ලැබෙන්නෙත් ඒ වගේ චරිත. දඟකාර, කටකාර ගෙදර බාලයාගේ චරිතනේ මට කොහොමත් ලැබුණේ. නමුත් මං කැමති ඒ රාමුවෙන් දැන් ටිකක් ඈත්වෙලා වෙනස් වූ විවිධ චරිතයන්ට මගේ රංගනය ලබාදෙන්න.

දෝණිත් අම්මගේ අඩිපාරේම යනවා දකින්නද ඔබ කැමති?
එයා මේ ක්ෂේත්‍රයට ආසයි නම් ඒක මට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. බලපෑම් කරන්න යන්නෙත් නෑ. එයා කැමති මේ ක්ෂේත්‍රයට නම් මාත් එයාට උදව් කරනවා.

ගෙදර වැඩ කටයුතු වෙන්නෙත් ඔබ අතින්මද?
මම ගෙදර ඉන්නව නම් කෑම හැදෙන්නෙ ගෙදර අනික් වැඩ කටයුතු වෙන්නේ මගේ අතින්. ගොඩක් වෙලාවට ගෙදර කෑම හැදෙන්නෙත් මගේ අතින්. ගෙදර වැඩවලට උදව්වට කෙනෙකුත් ඉන්නවා. මම දවසම නැතිනම් එයා තමයි ගෙදර වැඩ බලාගන්නේ. අනිත් වෙලාවට එයාගෙත් උදව් ඇතිව මම ගෙදර වැඩ ටික කරගන්නවා. හස්බන්ඩ්, මගේ අම්මා ඒ වගේම මගේ හස්බන්ඩ්ගේ අම්මා මට ලොකු සහයෝගයක් දෙන්නේ. බබාගේ වැඩවලදි වුණත් එයාලා තමයි මාත් එක්ක ඉන්නේ.

ගෙදර සහ දෝණිගේ වැඩවලට සැමියා කොහොමද ඔබට උපකාරයක් වෙන්නේ?
ඔහුට පුළුවන් උපරිමය ඔහු පවුල වෙනුවෙන් කරනවා. ඒක කියන්න වචන මදි. ඇත්තටම ඒ තරම් ඔහු මට ලොකු හයියක් වෙනවා. ඔවුන්ගේ සහයෝගය නැතිනම් ඉතින් මට කිසිම වැඩක් නොකර තමයි ඉන්න වෙන්නේ.

බොහෝ කලාකරුවන්ගේ පවුල් ජීවිත හරි කෙටියි. ඔබ දැන් සාර්ථක ලෙස ලස්සනට ජීවිතේ අරන් යනවා. ඒ සාර්ථකත්වයේ රහස මොකක්ද?
ඒ ගැන නම් මම ගොඩක් සතුටු වෙනවා. ජීවිතේ හැම දෙයක්ම සමබරව අරන් යන්න මට පුළුවන්. ඒ වගේම ගොඩක් හොඳ අපි අපිව තේරුම් ගත්ත සැමියෙක් මට ලැබිලා ඉන්නවා. අපි එකට යන මේ ගමන දෙන්නම ගොඩක් දුරට හොඳින් තේරුම් අරන් අවබෝධයෙන් යන්නේ. අපි හොඳට අපිව අඳුනනවා. හරි සරලවයි අපේ ජීවිත ගවෛන්නේ. අනවශ්‍ය සංකීර්ණවීම් අපි තුළ නෑ. ප්‍රශ්න ඇති නොවන විදිහටයි අපි තීරණ ගන්නේ. කෙටියෙන්ම කීවොත් අපි ඔළුව කල්පනා කරලා ජීවත් වෙනවා. ඒක තමයි ඉතින් රහස.

නංගි ඔබට වඩා මිනිස්සු අතරට ඇවිත් කියලා හිතෙන්නේ නැද්ද?
මේ ඉතින් එයාගේ කාලෙනේ. මම සෑහෙන කාලෙක විවේකයක් ගත්තා. ඒ කා‍ලේ එයා ක්ෂේත්‍රයට ඇවිත් එයාගේ නම ගොඩනගා ගත්තා. ඒ ගැන මට තියෙන්නේ ලොකු සතුටක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!