Gossip

“මමත් එයාලගේ දේවල්වලට ලොකුවට ඇඟිලි ගහන්න යන්නේ නැහැ.” – වත්සලා දියලගොඩ නිහඬ වුණේ ඇයි..?

වත්සලා දියලගොඩ කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිණියක්.
රසික හදවත් ආදරයෙන් වැළඳගත් ඇය පසුගිය කාලේ වැඩිය දකින්න ලැබුණේ නැහැ.
ඒකට හේතුව මොකක්ද කියලා වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන වත්සලා සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

වත්සලා කාලයක් පුංචි තිරයේ පේන්න ඉන්නවා. කාලයක් පේන්න නෑ. ඇයි ඒ?
මම එච්චර කාර්යබහුල වෙන්න කැමැති නැහැ. මම ගිය අවුරුද්දෙත් එක නිර්මාණයකටයි සම්බන්ධ වුණේ.
අවුරුද්දකට නිර්මාණ එකක් හෝ දෙකක් තමයි කරන්නේ. මේ අවුරුද්දේ නම් තාම වැඩක් කළෙත් නැහැ.
තාම වැඩක් භාරගත්තෙත් නෑ. තාම ඉතිං අවුරුද්දේ මුලනේ. ගෙදර වැඩත් එක්ක බැලන්ස් කරගෙන කරන්න හොඳ වැඩක් ලැබුණොත් සම්බන්ධ වෙනවා.

එතකොට අලුත් ආරාධනා ලැබුණෙත් නැද්ද?
මේ අවුරුද්දේ අලුත් ආරාධනා ලැබුණේ නැහැ.

ආරාධනා අඩු වෙන්නේ වත්සලාව ක්ෂේත්‍රයේ අයට අමතක වෙලාවත්ද?
එහෙම නෙවෙයි. ගොඩක් අය හිතන්නේ මම වැඩ කරන්නේ නැතුව ඇති කියලා. මම ගොඩක් වැඩ ප්‍රතික්ෂේප කරලා තියෙනවා.
වැඩ කරලා තියෙන අධ්‍යක්ෂවරු එක්ක තමයි මම පසුගිය කාලේ වැඩ කළෙත්. ඉතින් ඒ වාතාවරණය නිසා වෙන්න ඇති ආරාධනා අඩු.
කොහොම වුණත් මම තෝරා බේරාගෙන වැඩ කරන්නේ. මට කොහොමත් ෆුල්ටයිම් රඟපාන්න බැහැ. බබා ලොකු වෙද්දී දිගටම රඟපාන්න පුළුවන් වෙයි සමහරවිට.

වත්සලා වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදියටත් කාලයක් වැඩ කළා. ආයෙත් එවැනි දෙයකින් ආරම්භයක් තියන්න බලාපොරොත්තුවක් නැද්ද?
දැන් මම අවුරුදු පහකින් විතර වැඩසටහන් කළේ නෑ. අලුත් වැඩසටහනකට ආරාධනාවක් ලැබිලා තියෙනවා. නමුත් තවම ඒක ස්ථිර නැහැ.

වත්සලාට ආදරය කරන ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ලැබිච්ච ජනප්‍රියත්වයක් තියෙනවා. රංගනයෙන් ඔය විදියට නොපෙනී ඉන්න එක ඔබට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට කරන අසාධාරණයක් කියලා හිතෙන්නේ නැද්ද?
හරි අමාරුයි මේ හදාගත්ත නම රැකගන්න. එහෙම කියලා ලැබෙන ලැබෙන හැම නිර්මාණයකටම දායක වෙන්න මම කැමැති නැහැ.
විශේෂයෙන්ම මට දැන් දුවෙක් ඉන්නවා. බබාගේ පැත්තෙනුත් මම දේවල් හිතන්න ඕන. මමත් කැමැති ප්‍රේක්ෂකයන්ට පේන්න ඉන්න. පවුල් ජීවිතයත් රැකගන්න ගමන් පුළුවන් විදියට කලා කටයුතුවලටත් සම්බන්ධ වෙනවා.

සැමියා කැමැති නැද්ද වත්සලා රඟපානවට?
මම ලොකුවට කාර්යබහුල වෙනවට එයා ඒ තරම් කැමැත්තක් නැහැ. ඒ නිසා තමයි මම හිමින් ගමනක් ආවේ. අරක කරන්න එපා මේක කරන්න එපා කියලා හස්බන්ඩ් කියන්නේ නැහැ. මම කරන දේ මම මුල් තැන දීලා තියෙන දේ මොකද්ද කියලා එයා බලාගෙන ඉන්නවා.

වත්සලා පවුලට මුල් තැන දෙන්නේ ඒ නිසාද?
මම මවක් විදියට මගේ දරුවට මුල් තැන දෙන්න ඕන. නමුත් මම කලා ක්ෂේත්‍රයටත් ආදරෙයි. කලා ක්ෂේත්‍රයෙන් අයින් වෙන්න මගේ අදහසක් නැහැ.
පුළුවන් විදියට නිර්මාණ කටයුතුවලට සම්බන්ධ වෙන්නෙත් කලාවට තියෙන ආදරය නිසා.

වත්සලාට ජනප්‍රියත්වය වෙනුවෙන් මවකගේ වගකීම් උකස් කරන්න වුණේ නෑ නේද?
මම පවුල වෙනුවෙන් උපරිම වගකීම් ඉෂ්ට කෙරුවා. මගේ ජනප්‍රියත්වය ඉතාම කෙටි කාලයක ලැබුණේ. මම ගොඩක් නිර්මාණවලට දායක වෙලා නැහැ.
නමුත් අදටත් කොහේ ගියත් ගොඩක් ජනප්‍රිය වුණු නාට්‍ය චරිතවලින් තමයි මට කතා කරන්නේ. ඒක වාසනාවක්. මම ක්ෂේත්‍රයේ නම කැත කරගෙන නැහැ. ඒ නිසා බොහෝ දෙනෙක් මට ආදරය කරනවා. මම පේන්නේ නැතුව හිටියත්, පවුලත් රැකගෙන ක්ෂේත්‍රයේ තැනත් රැකගෙන ඉන්න රංගන ශිල්පිනියන්ගේ ගොඩට මාව එකතු වෙලා තියෙනවා.

දියණිය එක්ක ගෙවෙන ජීවිතේ කොහොමද?
දැන් දුවට අවුරුදු පහයි. මේ සැප්තැම්බර් මාසයේ එයා පළමු වසරට ඇතුළත් වෙනවා. මෙච්චර කාලයක් ගෙවුණා කියලා දැනෙද්දිත් පුදුමයි. එයාගේ වැඩත් කරගෙන හොඳින් ජීවත් වෙනවා.

දුව කලාවට ළැදිද?
එයා සංගීතය පැත්තට ටිකක් නැඹුරුයි. එයා මොන වගේ ක්ෂේත්‍රයකින් ඉදිරියට යයිද දන්නේ නෑ.

දැන් නිර්මාණ තෝරා ගනිද්දිත් බොහෝ දේවල් හිතන්න වෙනවා ඇති?
ඇත්තටම පවුලේ වගකීම් එක්ක මට දුර යන්න නම් අමාරුයි. දැන් ටෙලි නාට්‍ය යන රටාවත් එක්කත් ප්‍රශ්න තියෙනවනේ.
උදේ පාන්දර එක්ක ගිහින් රෑ දෙගොඩ හරිය වෙනකල් වැඩ. ඉතිං මම හැමදේම ගැන හිතලා ආසාවෙන් කරන්න පුළුවන් නිර්මාණයක් නම් සම්බන්ධ වෙනවා.

වත්සලා ක්ෂේත්‍රයේ වැඩ නොකරන කාලේ ඔබේ නංගි (බුවනි) ක්ෂේත්‍රයේ වැඩ කළා. නමුත් දැන් ඇයත් රංගනයෙන් නිහඬයි.
දෙන්නම රංගනයේ නිහඬතාව රකින එක හොඳද?
එයාගේ නිහඬතාවය ගැන මට හරියට කියන්න බෑ. මම පොඩ්ඩක් නිහඬ වෙලා හිටියට ආයෙත් වැඩක් කරනවා. නංගි නම් රංගනයෙන් නිහඬ වෙලා ඉන්නේ පෞද්ගලික හේතුවකට වෙන්න ඇති.

දැන් නංගි (බුවනි) එයාගේ තීරණ ගැන වත්සලාට කියන්නේ නැද්ද?
එයා දැන් විවාහ වෙන්නනේ ඉන්නේ. පෞද්ගලික තීරණ ලොකුවට මාත් එක්ක කියන්නේ නැහැ.
මමත් එයාලගේ දේවල්වලට ලොකුවට ඇඟිලි ගහන්න යන්නේ නැහැ. දෙයක් කිව්වොත් අහගෙන ඉන්නවා.

ජීවිතය ගැන ඉදිරි සැලසුම් මොනවාද?
මම ලොකුවට දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම නිදහසට ගොඩක් කැමැති කෙනෙක්. පවුලත් එක්ක සතුටින් ජීවත් වෙන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!