Gossip

“දෙමළ ජනතාව ඝාතනය කළ ෆොන්සේකාට ඡන්දෙ දෙන්න පුළුවන් නම් ගෝඨාට දෙන්න බැරි ඇයි” – කරුණා අම්මාන්

හමුදාපති ලෙස සිට දෙමළ ජනතාව ඝාතනය කළ සරත් ෆොන්සේකා මහතාට යුද්ධය අවසන් වී වසරකට පසුව කිසිදු කොන්දේසියක් නොමැතිව ඡන්දය ලබා දෙන්නැයි දෙමළ ජාතික සන්ධානය පැවසු බව විනයාගර් මුර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් පවසනවා.
මඩලකපුව, කල්ලඩි පක්ෂ කාර්යාලයේ ඊයේ(18) පැවති දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ කාරක සභා රැස්වීමට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
ජනාධිපති මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ අවබෝධතා ගිවිසුමක් ඇති කර ගත් බවත්, එබැවින් ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබා දීමට තීරණය කර ඇති බවද කරුණා අම්මාන් පවසනවා.
පසුගිය අප්‍රේල් 21 වන දින එල්ල වු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අසරණ දෙමළ ජනතාව 200 කට අධික ප්‍රමාණයක් මිය ගිය බවත් පැවසු ඒ මහතා, අද වන විට රටේ ආරක්ෂාව ප්‍රශ්නාර්ථයක් බවට පත්ව ඇතැයි ද කියා සිටියේය.
මෙම තත්ත්වයෙන් රට බේරා ගැනීම තම යුතුකමක් වන බවත් පැවසු කරුණා අම්මාන්, වත්මන් රජය දෙමළ ජනතාවට පොරොන්දු විශාල වශයෙන් ලබා දුන් බවද පැවසීය.
එම පොරොන්දු ලබා දුන් අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා අද වන විට කිසිදු දේශපාලන සිරකරුවෙකු නිදහස් කිරීමට කටයුතු කර නැතැයිද කරුණා අම්මාන් ප්‍රකාශ කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර උතුරට හා දකුණට අයිතීන් ලබා දෙන පැවසුවත්, එවැනි දෙයක් සිදු නොවුන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙවැනි රජයක් සමඟ දෙමළ ජාතික සන්ධානය එකතු වී දෙමළ ජනතාව රවටා ඇතැයි ද පැවසු ඒ මහතා, මේ මොහොතෙත් එවැනි රජයක් සමඟ දෙමළ ජාතික සන්ධානය කටයුතු කරමින් සිටින බවද පැවසීය.
එක්සත් ජාතික පක්ෂය අද වන තෙක් ජනාධිපති අපේක්ෂකයෙක් තෝරා නැති බවත්, එයට සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කර ඇති බවට ආරංචි වන බවද සඳහන් කර සිටි කරුණා අම්මාන් සජිත් ප්‍රේමදාස මුස්ලිම් ජනතාව බේරා ගන්නා නායකයෙක් බවද කියා සිටියේය.
සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් මෙතෙක් පැවති ජන හමු සඳහා මුස්ලිම් නායකයින් බොහෝ පිරිසක් පැමිණි බවත්, එවැනි තත්ත්වයක් තුළ දෙමළ ජනතාව පැහැදිලි මතයක සිටිය යුතු බවත් කරුණා අම්මාන් පැවසීය.
පසුගිය නැගෙනහිර පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කළ දෙමළ ජාතික සංවිධානය, ප්‍රධාන අමාත්‍ය ධූරයට මුස්ලිම් පුද්ගලයෙකු පත්කල බවද සඳහන් කළේය.
දෙමළ ජනතාවට මෙම පාලනය තුළ රැකියා අවස්ථා නොලැබී ගිය බවද පැවසු කරුණාඅම්මාන්, අදත් අගමැතිවරයා සමඟ එකතු වී මුස්ලිම් ජනතාවට නැගෙනහිර ලබා දෙන්න දෙමළ ජාතික සංවිධානය කටයුතු කරන බවද පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ යුද සමයේ දී යුද අපරාධකරුවෙකු විය හැකි බවත් පැවසු ඔහු, කිසිදු කොන්දේසියක් නැතිව සරත් ෆොන්සේකා මහතාට දෙමළ ජනතාව ඝාතනය කර තිබිය දීත් දෙමළ ජාතික සන්ධානය සහයෝගය ලබා දෙන්නැයි පැවසු බවද කරුණා අම්මාන් මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
එවැනි හමුදාපතිවරයෙකුට ඡන්දය ලබා දීමට හැකි නම් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙමළ ජනතාවට ඡන්දය ලබා දීමට නොහැකි මන්දැයි සභාව අමතමින් කරුණාඅම්මාන් විමසා සිටියේය.
කවුරුන් හෝ සිංහල පුද්ගලයෙක් ජනාධිපති බවට පත් වෙන බවත් පැවසු ඔහු, එනිසා දෙමළ ජනතාවට හොඳක් සිද්ධ වෙන නායකතයෙක් තෝරා ගත යුතු බවද පැවසීය.
එල්.ටී.ටී.ඊ ය සමඟ සාම සාක්ච්ඡා සිදුවන කාලයේ දී තමා ඇන්ටන් බාලසිංහම් සමඟ මාධ්‍ය හමුවක දී, “රනිල් කියන්නේ කපටි නරියක් බවත් ඔහු කිසි දිනක දෙමළ ජනතාවට කිසිවක් සිදුකරන්නේ නැතැයි“පැවසු බවද කරුණාඅම්මාන් මෙහිදී සඳහන් කළේය.
මේ අවස්ථාවේ අගමැතිවරයා එම ගති ලක්ෂණ පෙන්නුම් කරන බවත් පැවසු කරුණාඅම්මාන් මහතා, අගමැතිවරයාට සහයෝගය ලබා දුන්නොත් නැවතත් දෙමළ ප්‍රදේශ නැති වී යන බවද කියා සිටියේය.
එවැනි තත්ත්වයක් තුළ මුස්ලිම් දේශපාලන ආධිපත්‍ය වර්ධනය විය හැකි බැවින් දෙමළ ජනතාව හොඳින් සිතා බලා ගෝඨාභයට ඡන්දය ලබා දිය යුතු බවත් පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!