Gossip

මමයි නිරෝෂයි අතර කිසිම ප්‍රශ්නයක් නෑ බොදවුණු සිහිනය සැබෑ කරගන්න හදන උරේෂා

සංගීත ලෝකයේ කවුරුත් දන්න කවුරුත් ආදරය කරන චරිතයක් තමයි උරේෂා රවිහාරී කියන්නේ.

මේ ඇය ගැන සතිඅන්ත පුවත්පතක ලියැවුණු සුහඳ පිළිසදරක්.

උරේෂා යළිත් වරක්‌ සම්මානයෙන් පිදුම් ලැබුවා ඒ ගැන මොකද හිතෙන්නෙ.

ඇත්තටම ගොඩක්‌ සතුටුයි. මේ වෙද්දී මම ගායිකාවක්‌ විදිහට සම්මාන පහළොවක්‌ හිමිකරගෙන තියෙනවා. ඒ අතර OCIC සම්මානය මෙවර ලැබුණේ හතර වැනි වතාවට.

ඒ ඇගයීමට අද දවසෙ ලැබෙන ප්‍රතිචාර මොනවගේද?

මේ සඳහා මට ප්‍රතිචාර ලැබෙන්න ගත්තෙ සරිගම කියන චිත්‍රපටය තිරගත වෙන්නටත් කලින්. මේ ෆිල්ම් එක සංගීතයත් එක්‌කම යන එකක්‌නේ. එහි මම එකිනෙකට වෙනස්‌ ගීත 6 ක්‌ ගායනා කළා. ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන මාරියාගේ භූමිකාවට පණ දෙන පූජා උමාශංකර් වෙනුවෙන්. ඒ ගීත 6 න් සමනලයන් පාට පාට කියන ගීතයටයි සම්මානය හිමි වුණේ. ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙනුත් මගේ ආදර රසික රසිකාවියන්ගෙනුත් හිතාගන්න බැරි තරම් ප්‍රතිචාර ලැබුණා.

නිරෝෂට ලැබුණ සම්මානය ගැන උරේෂට මොකද හිතෙන්නේ.

ක්‍ෂේත්‍රයේ ඉන්න මගේ සමකාලීන යෙහෙළියක්‌ තමයි නිරෝෂා. සම්මානයක්‌ හිමිවීම ගැන මම ඇයට හදවතින්ම සුබ පැතුවා. ඇයත් මට ඒ විදියටම තමයි සුබ පැතුම් එක්‌ කළේ.

ක්‍ෂේත්‍රයේදී ඔබයි නිරෝෂයි අතරෙ ලොකු තරගයක්‌ තියෙනව කියන්නෙ ඇත්තද?

ගායිකාවො දෙදෙනකු හැටියට අපි අතරෙ කිසිම තරගයක්‌ නෑ. ඔය කියන විදියට නිර්මාණ අතරෙ තරගයක්‌ තියෙන්න පුළුවන්. මොකද මට ගීතයක්‌ ලැබුණාම ඒකට උපරිම සාධාරණ කරන්න මම වෙහෙසෙනව වගේම ඇයත් එහෙම කරනවා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්‌නෙ.

සිනමාවෙ ස්‌වර්ණමය යුගයෙ ගායිකාවො කරපු දේවල් උරේෂට – නිරෝෂට කරන්න පුළුවන් වෙයිද?

ඒ කාලෙ හිටපු ගායිකාවො තරම් අපි වාසනාවන්ත නෑ. අද චිත්‍රපට හැදෙන්නෙත් අඩුවෙන්නෙ. එදා ඒ අය හින්දි තනුවලට අනුව රචනා වුණු ජනප්‍රිය ගී ගැයුවා. නමුත් අද ඒ තත්ත්වෙ නෑ. ඒත් අපේ හැකියාව අනුව උපරිමය අපි කරනවා. අද කාලෙ හැටියට හොඳම දේ කරන්න අපිට පුළුවන් කියල තමයි මම නම් හිතන්නේ.

සංගීත සංදර්ශනවලින් ඈත්වෙලා නේද?

නෑ මම සංදර්ශනවලට වැඩිපුර සහභාගි වන ගායිකාවක්‌. ඒත් එළිමහන් ප්‍රසංගවලට සහභාගි වෙද්දී තෝරා බේරාගැනීමක්‌ කරනවා මගේ අනිත් වැඩකටයුතුත් එක්‌ක. එතෙන්දි දවසකට එක ප්‍රසංගයක්‌ වගේ තමයි මම බාරගන්නෙත්.

නිහඬ වෙලා ඉන්නෙ ළඟදි ලොකු සද්දයක්‌ දාන්න කියලත් ආරංචියි.

ලොකු සද්දයක්‌ නෙමෙයි මගේ අලුත්ම ගීත කිහිපයක්‌ දෙසැම්බර් මාසෙ විෂුවල් එක්‌කම රිලීස්‌ කරන්න මේ දවස්‌වල ලෑස්‌ති වෙනවා.

කාලෙන් කාලෙට එන රැලිවලින් බේරිලා ඉන්නෙ කොහොමද?

මම රැල්ලට ක්‍ෂේත්‍රයට ආපු ගායිකාවක්‌ නෙමෙයි. ඒ නිසා මම ඔය රැලිවල ප්‍රශ්නයක්‌ කොහෙත්ම බලපාන්නෙ නෑ. නිර්මාණයක්‌ බාරගනිද්දී එහි ගුණාත්මක බව ගැන මම වැඩිපුර හිතනවා. මුදල මත නොගැලපෙන දේ කොහෙත්ම බාරගන්නෙ නෑ. ඒ ප්‍රතිපත්ති නිසා මගේ ජනප්‍රියත්වය එදා වගේම අදත් පවත්වාගෙන යන්න මට හැකිවෙලා තියෙනවා.

උරේෂගෙම කියල කොන්සර්ට්‌ එකක්‌ කළොත් නරකද?

ඒක අවුරුදු ගණනක ඉඳලා මගේ හිතේ තිබුණ හීනයක්‌. ඒත් ඒ හීනය තවම සැබෑ කරගන්න බැරිවුණා නොයෙකුත් අපහසුතා නිසා. හැබැයි ලබන අවුරුද්දේ නම් මම ඒ දේ කරනවාමයි කියන සූදානමින් දැනට කටයුතු කරගෙන යනවා.

රියෑලිටි වේදිකාවෙ තීන්දු තීරණ දෙන්න උරේෂට ආරාධනා නැද්ද?

ආරාධනා ලැබිල මම ඒවට සම්බන්ධ වෙලා මගේ තීන්දු තීරණවලට ප්‍රවීණයො මා එක්‌ක තරහවෙලත් තියෙනවා. මොකද හිතවත්කමට යාලු කමට මගේ තීරණ වෙනස්‌ වෙන්නේ නෑ. එතැනදී මම කරන්නෙ හරි දේ.

දරුවත් සැමියත් එක්‌ක ගෙවන ජීවිතේ මොන වගේද

හරිම සුන්දරයි. සැමියා රුචිර නදීර විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙක්‌ පානදුර රෝහලේ. අපි දෙන්නගෙ එකම පුතා සසෙන් ප්‍රවිවේක්‌. ඔහුගේ හුරතලය විඳිමින් අපි ආදරෙන් ජීවත් වෙනවා.

පවුල් ජීවිතේට වැඩි ඉඩක්‌ වෙන් කරපු නිසාද සංගීත කටයුතුවලට අඩු ඉඩක්‌ දීල තියෙන්නේ.

ඔය දෙකම මම බැලන්ස්‌ එකේ කරගෙන යනවා. හැබැයි හරියට බැලුවොත් මම දශමයක්‌ හරි වැඩි ඉඩක්‌ දීල තියෙන්නේ මගේ පවුල් ජීවිතේට නෙමෙයි සංගීත ජීවිතේට

සැමියාගෙන් ඔබේ සංගීත කටයුතුවලට ලැබෙන සහයෝගය කෙබඳුද?

උපරිමයි. මගේ ජීවිතේ ඉන්න පළමුවැනි රසිකයා සහ විවේචකයා ඔහුයි. මම මෙතෙක්‌ නොකරපු විදිහේ නිර්මාණ කෙරෙහි මාව යොමු කරන්නෙ ඔහු. ප්‍රසංගයකට, සම්මාන උළෙලකට මාව කවදාවත් තනියම යවල ගෙදර ඉන්න සැමියෙක්‌ නෙමෙයි රුචිර. ඒ අතින් මම හරි වාසනාවන්තයි.

සැමියත් ඔබත් ක්‍ෂේත්‍ර දෙකක වීම දෙදෙනාගේ කටයුතුවලට බාධාවක්‌ නෙමෙයිද?

කිසිම ප්‍රශ්නයක්‌ නෑ. එදා ඉඳල මගේ කැමැත්ත තිබුණෙ වෙනත් ක්‍ෂේත්‍රයක කෙනෙක්‌ එක්‌ක විවාහ වෙන්න. ඉතින් මට විවාහ වෙන්න ලැබුණෙත් වෛද්‍යවරයෙක්‌ සමඟ. වෛද්‍යවරයකුගෙ රාජකාරිය මොන වගේද කියන එක මම අවබෝධ කර ගත්තා. ඔහුත් ගායිකාවකගේ කාර්ය භාරය තේරුම් ගන්න ඇති. අද වෙනකොට අපි ක්‍ෂේත්‍ර දෙකේ අවිවේකී බව හොඳින්ම තේරුම් අරන් ඒවාට ප්‍රතිචාර දක්‌වමින් සතුටින් ජීවත් වෙනවා. මට නම් හිතෙන්නේ ක්‍ෂේත්‍ර දෙකක වීම නිසා තමයි අද දවසේ අපිට ජීවත් වෙන්න පහසුවෙලා තියෙන්නෙත්.

නරකද සැමියත් එක්‌ක යුග ගීතයක්‌ ගායනා කළොත්

ඉස්‌සර නම් එයා සාදවලදී සිංදු කියල තියෙනවලු. ඒත් දැන් අඩුගානේ බාත්රූම් එකේදිවත් සිංදුවක්‌ කියනව ඇහෙන්නෙ නෑ. ගායනයට ආවේ නැති වුණාට රුචිර මට සිංදුවක්‌ ලියල දුන්නා. “පාට තියල” කියල. ඉදිරියේදී ඒ ගීතය ගායනා කරන්න මම හරි ආසාවෙන් ඉන්නේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!