Gossip

උමාලිගේ ලේනයි මගේ ලේනයි ලේන්නු දෙන්නෙක්… ධනුක ආයෙත් කියපු කතාව

මේ දිනවල කරළියට එන මියුසික් වීඩියෝවල ජනප්‍රියම පෙම්වතා ලෙසින් කොයි කා අතරත් මතකයේ රැඳී සිටින චරිතයක් ලෙස ධනුක ඩිල්ෂාන් හඳුන්වා දෙන්න පුළුවන්. ඔහු රංගන ශිල්පියෙක්, නිවේදන ශිල්පියෙක් වගේම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙසින්ද දක්ෂතා පෙන්වූ සුවිශේෂ චරිතයක්.

මේ දිනවල නම් සමාජ ජාලා වෙබ් අඩවි සහ නොයෙකුත් මාධ්‍ය තුළ ඔහු ගැන කතාබහ වෙන්නෙ හොඳ කතාවක් නම් නෙමෙයි. ක්ෂේත්‍රයේ වැඩි ආකර්ෂණයක් ආදරයක් දිනාගෙන සිටි ආදරණීය යුවළක් වන සාරංග සහ උමාලි අතරට පැමිණ ඒ දෙපළගේ පවුල් ජීවිතය කඩා ඉහිරවීමට මුල් වූයේ ධනුක යැයි පැවැසීම ඔහු ගැන පැතිර යන කතාවලට මූලික හේතුවයි. එහි ඇත්ත නැත්ත කතා කිරීමටත් ධනුක ඩිල්ෂාන් මෙවර කතාබහට එක්කර ගත්තෙමු.

මුලින්ම කතා කරමුද මේ දවස්වල අලුත් වැඩ මොනවද කියලා ?

මේ දවස්වල වැඩිපුරම සම්බන්ධ වෙලා හිටියෙ මෙගා ස්ටාර් වැඩසටහනක් එක්ක. එමඟින් අපේ ජීවිතේට ලොකු අද්දැකීම් සමුදායක් එකතුකර ගන්න පුළුවන් වුණා. මගේ තිබුණු දක්ෂතාවයන් පෙන්නන්නත් හොඳ තෝතැන්නක් වුණා.

කොහොමද ධනුකගෙ කණ්ඩායමත් එක්ක වැඩ කරද්දී ඒ අද්දැකීම?

ඇත්තටම කණ්ඩායමක් එක්ක වැඩ කරනවා කියන එක ගොඩක් හොඳ දෙයක්, කණ්ඩායමක් එක්ක වැඩ කරලා ලබපු අද්දැකීම් මගෙ ජීවිතේට ගොඩක් වටිනවා. ඒ වැඩ සටහනෙන් අපේ කණ්ඩායම ඉවත් වුණා. නමුත් එහිදී අපි ලබාගත් දේවල් බොහෝයි, කණ්ඩායමක් එක්ක එකට එකතු වෙලා හොඳ නිර්මාණ ප්‍රේක්‍ෂකයාට ලබා දෙන්න අපට හැකිවුණා. ඒ හැමදේ ගැනම හරි සතුටුයි.

එතකොට පුංචි තිරයෙ වැඩ කොහොමද ?

පුංචි තිරයෙ මේ දවස්වල ජැක්සන් ඇන්තනී මහත්මයාගේ සී රජ නාට්‍යයේ වැඩ කරනවා. ගැමුණු මහරජ දෙවනි කොටසත් පටන් ගත්තා. ඒ වගේම අනන්තා ටෙලි නාට්‍යයත් විකාශය වෙලා අවසන් වුණා විතරයි. තවත් ටෙලි නාට්‍ය කීපයකට ආරාධනා ලැබිලා තියෙනවා.

රිදී තිරයෙ වැඩ ?

රිදී තිරය තමයි මගෙ ලොකුම හීනය වුණේ, ඉතින් මේ වෙද්දී මගෙ පළමු චිත්‍රපටය කරලා අවසන් වුණා. ඒක මේ අවුරුද්දෙ මැයිවල තිරගත වෙනවා. ඒ ගැන ගොඩක් සතුටු වෙන්න පුළුවන්. ජැක්සන් ඇන්තනී මහත්මයා ඇතුළු තවත් ජනප්‍රිය නළු නිළියෝ එහි රඟපානවා. මම එහි ප්‍රධාන හතුරාගෙ භූමිකාව තමයි නිරූපනය කරන්නේ. ඊට අමතරව මගේ දෙවනි චිත්‍රපටයෙ රූගත කිරීම් සඳහා මේ 8 වෙනිදා ප්‍රංශයට යනවා. Love In Paris චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවෙන්නේ එහිදී තමයි. ඉදිරියටත් තව චිත්‍රපට 4 කට පමණ ආරාධනා කරලාත් තියෙනවා.

ධනුක වැඩිපුර ජනප්‍රිය වෙලා ඉන්නෙ මියුසික් වීඩියෝවල රංගනයෙන්නෙ. ඒ ගැනත් කතා කරමු?

මම මේ වෙද්දී මියුසික් වීඩියෝ බොහෝ ගණනකට සම්බන්ධ වෙලා තියෙනවා. තව සම්බන්ධ වුණු මියුසික් වීඩියෝ එන්නත් තියෙනවා. දැන්නම් තෝරා බේරාගෙන තමයි ඒ සඳහා සම්බන්ධ වෙන්නෙ. මියුසික් වීඩියෝ භාරගන්නව නම් මම සෑහෙන ලොකු ගානක් අය කරනවා.

මේ දවස්වල ධනුක පවුල් කඩනවා කියන එක ගැන පැතිරෙන කතාවෙ තේරුම මොකක් ද?

ඒක තමයි. මමත් ඒකෙ තේරුම තමයි අහන්නෙ. මම දැක්කා ගොඩක් සමාජ ජාලා වෙබ් අඩවි තුළ මේ පිළිබද කතා වෙනවා. මම දන්නෙ නෑ ඒ කතාවෙ ඇත්ත නැත්ත. සාරංගගෙයි උමාලිගෙයි ප්‍රශ්නෙ ගැන මම දැන්නෙ නෑ. ඒක ඒ දෙන්නගෙන් තමයි අහන්න වෙන්නේ.

කට කතාවක් හැදෙන්නත් මොකක් හරි සම්බන්ධයක් තියෙන්න ඕන නේද?

අන්න ඒකයි මමත් අහන්නෙ ඒ සම්බන්ධය මොකක්ද කියලා, ඒ කතා හදපු අයගෙන්ම තමයි ඒවා අහන්න වෙන්නේ.

උමාලි ධනුකගෙ හොඳ යාළුවෙක් ද?

නෑ. මම එහෙමට දන්නෙ නෑ. මට තුන් වතාවකට වඩා හමුවෙලත් නෑ. මම වැඩිය කතා බහ කරලත් නෑ. නාට්‍යය සෙට් එකකදී තමයි හමුවෙලා තියෙන්නේ ඒ සේයා ටෙලි නාට්‍ය රූගත කිරීම්වලදී. එකැනින් පසුව මුණගැහිලා නෑ.

එතකොට සාරංග ධනුකගේ යාළුවෙක් ද?

ඔව් සාරංග මගෙත් එක්ක නිර්මාණ කටයුතුවලදී නම් මුණ ගැහිලා නෑ. නමුත් වැඩමුළුවලදී මුණ ගැහිලා තියෙනවා. සාරංග කව්රුත් තේරුම් අරන් වැඩ කරන කෙනෙක්.

එතකොට ධනුක උමාලිට ලේනෙක් දුන්නා කියන කතාව මොකක් ද?

මම මගේ ගෙදර හුරතලයට ඇති කරන ලේනෙක් ඉන්නවා. ඒ ලේනා තවමත් මගෙ ළඟ ඉන්නවා. මම හිතන්නෙ ඔය කියනවා වගේ ලේනෙක් උමාලිටත් ඇති. ඇයත් ඉන්ස්ටග්‍රෑම් එකේ ලේනෙක් එක්ක ෆොටෝ දාලා තියෙනවා. කව්රුන් හෝ මේ ලේන්නු දෙන්නම දැකපු කෙනෙක් තමයි මේ කතාව හදලා තියෙන්නේ. ඒ දෙන්නා ලේන්නු දෙන්නෙක්. ඒක දැක්කම ඕනෑම මෝඩයෙකුට තේරෙනවා. ඉතින් මම දන්නෙ නෑ මේ කතාව මොකද්ද කියලා.

Danuka Dilshan

මේ ලේනාගේ කතාව නේද දුර දිග ගියේ ?

මම හිතන්නෙ ලේනාගේ කතාවෙන් තමයි මේ නාට්‍යය පටන් අරන් තියෙන්නේ.

එතකොට ධනුකත්, උමාලිත් අතර අවුරුදු දෙකක සම්බන්ධයක් තිබුණා කියන එකත් බොරුවක් ද?

ඒවත් කව්රුහරි හොඳට ගොතපු කතාවක්. ඇත්තටම මට මේ ගැන ජනතාවට දෙයක් කියන්න ඕනෑ. මේ ගෙනියන කතා එක්ක ඔවුන් හිතනවා ඇති අපි වැරදි මිනිස්සු කියලා. මට නම් කයන්න තියෙන්නේ මේ දේවල් කරලා සතුටු වෙන මිනිස්සු තමයි ඉස්සෙල්ලම අල්ලගන්න ඕනෑ. ඒ වගේ දේවල් කරන්න හොඳ නෑ. මේවගෙන් අපේ පෞද්ගලිකත්වයට හානි වෙනවා. අපි ගැන මිනිසුන්ට දෙන වැරැදි ආදර්ශයක් මේ.

සාරංගගෙ සහ උමාලිගේ විවාහ උත්සවයට ධනුක සම්බන්ධ වුණා ද?

අනේ නෑ. මම එයාලව එහෙම දන්නේ නෑ.

ධනුක ඩිල්ෂාන්ට පවුලක් කඩන චේතනාවක් හිතකවත් නැද්ද?

පවුල් කඩන්න මට පිස්සුද අනේ

මේ කතා මුලින්ම ප්‍රචාරය වෙද්දී ධනුකට මොකද හිතුණේ ?

මට හොඳටම හිනා ගියා. එච්චරයි.

මේ දේවල් බොරු නම් ධනුකගෙ රංගන දිවියට කැළලක් නේද?

මගෙ රංගන දිවියෙ මම රඟපාන්නෙ මගෙ දක්ෂතාවය අනුව. ඒ අනුව තමයි මට වැඩ ලැබෙන්නේ. ඒ දේවල් මගේ රංගනයට අදාල නෑ.

ඒත් ඔබේ ප්‍රතිරූපයට හානියක්නේ?

මම අදහන ධර්මය අනුව මම මේ කිසි දෙයක් ගැන ඕනෑවට වඩා හිතන්නේ නෑ. අනේ මම වැරදි නෑ ප්ලීස් මාව තේරුම් ගන්න කියලා මුළු ලෝකෙටම වැඳ වැඳ යන්න මට උවමනාවක් නෑ. මම හරි නම් මට ඔය චෝදනා ගැන වැඩක් නෑ. මට මේ දේවල්වලට කතා කරන්න වෙලාවකුත් නෑ. මට ඕනෑ මම භාරගත්ත මගෙ වෘත්තිය කරගෙන ඉන්න. ඉන් මම බලාපොරොත්තු වෙන්නෙ එදා වේල හම්බකරන් කන නළුවෙක්වත්, ධනුක කෙනෙක්වත් නෙමෙයි. මට ඕනෑ අපේ ලංකාවේ මේ තියෙන කලාව මට පුළුවන් විදියට මුළු ලෝකෙටම ගෙනියන්න. ඒ දේ අපිට කරන්න පුළුවන් කියලා පෙන්නන්න. අපිව දැන් දන්නෙ මේ ලංකාවේ මිනිස්සු ටික විතරයි. අපේ චිත්‍රපට වුණත් බලන්නෙ මේ ලංකාවේ මිනිස්සු විතරයි. මට ඕනෑ ඒක ටිකක් වෙනස් කරන්න. මේ පරම්පරාවෙන් වෙනස් වෙන්න. මම මගේ වෘත්තිය වෙනුවෙන් කැපවෙන කෙනෙක් ඉතින් මට මේ බොරු කටකතා ගැන හිතන්න වෙලාවක් නෑ.

ධනුකට පෙම්වතියක් ඉන්නවද?

මට පෙම්වතියක් හිටියා මීට අවුරුදු තුනකට පමණ පෙර වගේ . නමුත් දැන් ඒක නෑ. මම දැන් ආදරවන්තයෙන් වෙන්න ආසයි. ඒත් ඒ හැමදේකටම කළින් මගේ ස්ථාවරය හදාගන්න ඕනෑ. මම මගේ පැත්තෙන් ස්ථාවර වෙන්න ඕනෑ. එතැනින් පසුව අනිත් දේවල් ගැන හිතනවා.

මේ වගේ කට කතාවක් පැතිරුණාම ගෙදර කට්ටිය මොකද කිව්වේ ?

මාව දන්න කට්ටිය, මාව ළඟින් ආශ්‍රය කරන අය ධනුක කියන්නේ කව්ද කියන එක දන්නවා. ධනුක කියන්නේ කටවත් වෛර කරනවත් ඉදිරියට යන කෙනෙක් පස්සට අදිනවත් කෙනෙක් නෙමෙයි. ඇත්තටම මම විශ්වාස කරනවා බුදු හාමුදුරුවෝ මනුෂ්‍යයෙක් නම් අපිටත් පුළුවන් වෙන්න ඕනෑ සත්‍ය අවබෝධ කරගන්න. මනුෂ්‍යයෝ තමයි මේ ලෝකෙ ඉන්න දෙවිවරු, ඊට එහා දෙවි කෙනෙක් නෑ. මම බුදු දහමට අනුව ජීවත් වෙන්නේ. මාව ආශ්‍රය කරන ඕනෑ කෙනෙක් මගේ ගැන දන්නවා. ගෙදර අයත් එහෙමයි. මාව ආශ්‍රය කළොත් ඕනෑ කෙනෙකුට තේරෙයි මම මොනවගේ කෙනෙක්ද කියලා. නරක මනුෂ්‍යයෙක් නෙමෙයි.

එතකොට මේ කතා ගැන මොකද කියන්න තියෙන්නේ?

මේ කතා හදන මිනිස්සු කව්රු හරි කෙනෙක් ජීවත්වෙන්න මේ වගේ දෙයක් කරනවා නම් ප්‍රශ්නයක් නෑ. මගේ නම ගියත් ඒ ගොල්ලන්ට ඒවා හොඳක් වෙනව නම් දිගටම කරගෙන යන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඒත් එයාලා කල්පනා කරන්න ඕනෑ තමන් කරන කර්ම කවදා හෝ දවසක අද හෝ හෙට නැත්නම් එන ආත්මයක පඬිසන් දෙන්න පුළුවන් කියලා.

ධනුක බණ කියන්නත් දන්නව නේ?

ඒකනේ අනේ බලන්නකෝ. මට බණ කියන්න්ත් වුණානේ.

1 2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!