Gossip News

ස්ත්‍රී – පුරුෂ පරතරය වසර 99කින් අඩුවන ලකුණු

දේශපාලන බලය, ආර්ථික හැකියාව සහ සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සලකා බැලීමේ දී කාන්තාවන් සහ පුරුෂයන් අතර පරතරය ගතව ගිය වසරේ අඩුවී ඇතත්, ඒ පරතරය සම්පූර්ණයෙන්ම පහව යාමට තවත් ශතවර්ෂයක් වත් ගතවනු ඇති බව ලෝක ආර්ථික සංසදය (World Economic Forum – WEF)) පවසයි.

ස්විට්සර්ලන්තය මූලස්ථාන කොටගත් ලෝක ආර්ථික සංසදය ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව සම්බන්ධයෙන් ලෝක ප්‍රවණතා මැන බලන සංවිධානයකි.

එහි නවතම වාර්තාවට අනුව ගතව ගිය වසර තුළ බ්‍රිතාන්‍යය අදාළ දර්ශකයේ 15 වෙනි ස්ථානයේ සිට 21 වෙනි ස්ථානය දක්වා පහළ බැස තිබේ.

ලොව පුරා බොහෝ රටවල වැඩි වැඩියෙන් කාන්තාවන් ආණ්ඩුවට සම්බන්ධවෙමින් සිටිය ද, ආර්ථික හැකියාව සම්බන්ධයෙන් කාන්තාවන් සහ පුරුෂයන් අතර පරතරය ඉහළ ගොස් ඇති බව ද වාර්තාව පවසයි.

යුරෝපා මධ්‍යම බැංකුව සහ ලෝක බැංකුවේ ඉහළ පෙළේ තනතුරුවලට මෙන්ම ෆින්ලන්තය, ජර්මනිය සහ නවසීලන්තය ඇතුළු රටවල රාජ්‍ය නායකත්වයට ද කාන්තාවන් පත් වී සිටිය ද සමස්තයක් වශයෙන් කාන්තාවන් පුරුෂයන් හා සමාන තත්ත්වයකට පත්වීමට තවත් වසර 99.5 ක් ගතවනු ඇති බවට ලෝක ආර්ථික සංසදය තක්සේරු කරයි.

වාර්තාව පෙන්වාදෙන පරිදි ස්ත්‍රී-පුරුෂ පරතරය අඩුකිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන්නේ මන්දගාමී ප්‍රගතියකි. ලොව සියලු රටවල අමාත්‍ය පදවි අතරින් කාන්තාවන්ට හිමි වී තිබෙන්නේ 21% ක් පමණය.

ශ්‍රී ලංකාවේ ද කැබිනට් අමාත්‍ය පදවි 16 ක් සහ රාජ්‍ය අමාත්‍ය පදවි 40ක් අතරින් කාන්තාවන්ට හිමි වී තිබෙන්නේ එක් අමාත්‍ය පදවියක් පමණය.

කෙසේ වුවත් “ආදර්ශමත් චරිතවල බලපෑම” මේ තත්ත්වය ඉක්මනින් වෙනස් කිරීමට හේතුවනු ඇති බවට WEFසංවිධානය බලාපොරොත්තු පළ කරයි.

එමෙන්ම ශීඝ්‍රයෙන් වර්ධනය වන සියලුම පාහේ රැකියා ක්ෂේත්‍රයන් හි කාන්තා නියෝජනයක් නොමැති තරම් බව පවසන වාර්තාව සඳහන් කරන්නේ එවැනි කරුණු හේතුවෙන් ආර්ථික අංශයේ ස්ත්‍රී-පුරුෂ පරතරය පසුගිය වසරේදී ඉහළ ගොස් ඇති බවය.

ස්ත්‍රී-පුරුෂ පරතරය අතින් ඒකක කිහිපයකින් පහළ වැටීමත් සමඟ බ්‍රිතාන්‍යය ඇතැම් සංවර්ධනය වෙමින් පවතින රටවලට පවා පහළින් සිටින නමුත් තවමත් ඇමෙරිකා එක්සත් ජනපදයට වඩා ඉදිරියෙන් සිටී.

අමාත්‍ය පදවි හොබවන කාන්තාවන් ප්‍රමාණය අඩු වීම, බ්‍රිතාන්‍යයේ ස්ථානය පහළ වැටීමට එක් ප්‍රධාන හේතුවක් බව ද ලෝක ආර්ථික සංසදය පවසයි.

ලෝක ආර්ථික සංසදය නිකුත් කළ නවතම ගෝලීය දර්ශකයට අනුව පසුගිය වසරේ මෙන්ම මේ වසරේ ද ස්ත්‍රී-පුරුෂ පරතරය අඩු රටවල් අතරින් ඉදිරියෙන්ම සිටින්නේ අයිස්ලන්තය ය.

ඉදිරියෙන්ම සිටින රටවල් දහය

අයිස්ලන්තය
නෝර්වේ
ෆින්ලන්තය
ස්වීඩනය
නිකරගුවා
නවසීලන්තය
අයර්ලන්තය
ස්පාඤ්ඤය
රුවන්ඩාව
ජර්මනිය
පසුගිය වසරේ වාර්තාවක් නිකුත් කළ ලෝක ආර්ථික සංසදය කියා සිටියේ ස්ත්‍රී-පුරුෂ පරතරය පියවීම සඳහා වසර 108 ක් වත් ගතවනු ඇති බවය.

(බී.බී.සිය ඇසුරෙනි)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!