Gossip

”ගෑනු ළමයි ශරීරයේ විවිධ තැන්වල ටැටූ කොටනවා.. සමහරක් ටැටූ ගහද්දි එක දිගට පැය 20ක් විතර වැඩ කරන්න වෙනවා” – ටැටූ ගහන උඩරට මැණිකේ

ටැටූ කලාවක් කරගත් උදවිය බොහෝය. ඒ අතරින් බහුතරය පිරිමි උදවිය යැයි කීවොත්, එහි ඇති වැරැද්දක් නැත. මේ කියන්න යන්නේ ටැටූවලට හිත ගිය කාන්තාවක් ගැනය. ඇය කෙතරම් ටැටූවලට හාදකම් කීවාද කියතොත්, එය දැන් ඇගේ ජීවන වෘත්තිය වී හමාරය. අපි ඇය වෙනුවෙන් ඉඩ වෙන් කළෙමු. මේ මාෂි සැන්ඩ්‍රා.

කොහොමද මේ වැඩේට යොමු වුණේ?

පොඩි කාලෙ ඉඳන් මම චිත්‍රවලට ආසයි. ඒ නිසා ඉබේටම ටැටූවලටත් ආසාව ඇති වුණා. ඊට පස්සේ තමයි ටැටූ ගැන ඉගෙන ගත්තේ.

ඒ අසාව දැන් ජීවන වෘත්තිය වෙලා?

ජීවන වෘත්තිය වෙයි කියලා හිතුවේ නැහැ. ඒත් ආසාව වැඩිකමටම මම ඒ ගැන හොඳින් ඉගෙන ගත්තා. ඊට පස්සේ මට තේරුණා මට මේක වෘත්තිය විදිහට කළොත් ගමනක් යන්න පුළුවන් කියලා.

ටැටූ ගැන ඉගෙන ගන්න කලින් ටැටූ එකක් කොටා ගන්න හිතුණේ නැද්ද?

ඉගෙන ගන්න හිතන්න කලින් මගේ දණහිසේ ඉඳන් පහළට ටැටූ එකක් කොටා ගත්තා.

ගම නුවර. උඩරට මැණිකෙලාට ටිකක් නීති තදයි කියලා කතාවක් තියෙනවා. මේ වගේ දෙයක් ඉගෙන ගනිද්දි ගෙදරින් ප්‍රශ්නයක් වුණේ නැද්ද?

ගෙදරින් මුල් කාලේ සෑහෙන ප්‍රශ්න ආවා. ගම නුවර වීමත් ඒකට හේතුවක්. ඊටත් වඩා මගේ තාත්තා යුද හමුදාවේ විශ්‍රාමික අයෙක්. ඒ නිසා එයාලගේ කැමැත්ත අරන් මේ වැඩේ කරන්න ලේසි වුණේ නැහැ.

එතකොට දැන්?

දැන් මගේම කියලා ටැටූ ෂොප් එකක් පන්නිපිටියේ කරගෙන යනවා. ඒ නිසා දැන් එයාලත් ආසයි. ටැටූ එකක වැඩක් කළොත් ඒකේ ෆොටෝ මම එයාලටත් යවනවා. දැන් මගේ තේරීම ගැන එයාලා සතුටු වෙනවා.

පවුලේ තව කවුද ඉන්නේ?

මට නංගිලා දෙන්නෙක් ඉන්නවා.

එයාලත් මේ කලාවට කැමතිද?

එයාලා තාම පාසල් යනවා. පොඩි නංගි ගොඩක් කැමතියි ටැටූවලට. දෙවැනි නංගිගේ වැඩි ආසාවක් නැහැ. ඒත් එයා ඒවා බලන්න ගොඩක් කැමැතියි.

ඔබ විවාහකයි?

ඔව්. මම විවාහවෙලා ඉන්නේ තරිඳු අබේරත්නව.

තරිඳුව මුණගැහෙද්දි ඔබ මේ වෘත්තියමද කළේ?

ටැටූ ගැන ඉගෙන ගත්තාට පස්සේ මම වෘත්තියක් හැටියට මේ වැඩ කළේ නැහැ. අද මම මේ වගේ තැනක තනියම වැඩ කරනවා නම් ඒ තරිඳු නිසා. ඔහු තමයි මට තනියම මේ දේ කරන්න පුළුවන් කියලා මාව උනන්දු කළේ.

ඔහුත් ටැටූවලට සම්බන්ධ රැකියාවක්ද කරන්නේ?

ඔහු ඡායාරූප ශිල්පියෙක් විදිහට කටයුතු කරනවා. ඔහු ටැටූ ගැන දන්නේ නැහැ. ඒත් මම වැඩ කරන දිහා බලන් ඉඳලා ඔහුටත් දැන් අඩුපාඩු එහෙම තේරෙනවා.

වැඩිම ඉල්ලුමක් තියෙන ටැටූ මොනවාද?

ජියෝ මැට්‍රික්ස්, මව්රි, මැන්ඩෙලා, පෝඩියට්‍රි ඒ වගේ ටැටූවලට හොඳ ඉල්ලුමක් තියෙනවා.

මේ වෙනකොට වැඩියෙන්ම ටැටූ කොටලා තියෙන්නේ කාන්තාවන්ද?

නැහැ, පිරිමි අය.

ඒ කියන්නේ ලංකාවේ කාන්තාවන් තවමත් ටැටූවලට යොමු වෙනවා අඩුයි?

එහෙම නෙවෙයි. ලංකාවේ ගෑනු ළමයි ටැටූ ගහනවා. ඒත් එයාලා අපේ සංස්කෘතියත් එක්ක ඒකට ටිකක් බයක් දක්වනවා. ඔවුන් ගොඩක් වෙලාවට ටැටූ ගහන්නේ පිටතට පේන්නේ නැති තැන්වල.

කාන්තාවන්ට ඔබෙන් ටැටූ එකක් කොටා ගැනීමේදී තියෙන විශේෂත්වය?

ගෑනු ළමයි ශරීරයේ විවිධ තැන්වල ටැටූ කොටනවා. ඒ සමහරක් තැන්වල පිරිමි කෙනෙක්ට කියලා ටැටූ එකක් කොටා ගන්න ඔවුන්ගේ චකිතයක් තියෙනවා. ඒ නිසා මගෙන් ටැටූ එකක් කොටද්දි ඔවුන්ට එහෙම අපහසුතාවට මුහුණ දෙන්නේ වෙන්නේ නැහැ.

පිරිමි කෙනෙක් ටැටූ එකක් කොටා ගන්න ආවොත් කොහොමද ඒක භාර ගන්නේ?

එහෙම හැම ටැටූ එකක්ම භාර ගන්නේ නැහැ. මට ටැටූ එකක් කොටන්න පුළුවන් ස්ථානයක නම් මම ඒක භාර ගන්නවා. නැත්නම් මම දන්න වෙනත් පිරිමි කෙනෙක් ළඟට ඔවුන්ව යොමු කරනවා.

ටැටූ එකක් කොටන කොට කොයි වගේ මානසිකත්වයක් තියෙන්න ඕනෙද?

මේ වැඩේදි හැමදේටම වඩා ඉවසීම තියෙන්න ඕනේ. සමහරක් ටැටූ ගහද්දි එක දිගට පැය 20ක් විතර වැඩ කරන්න වෙනවා. ටැටූ එකක් ගහනවා කියන්නේ සෑහෙන ලොකු වගකීමක්. මේ වැඩේදි ශරීරයේ තියන එක ඩොට් එකත් හරියට තියන්න ඕනේ. ඒ නිසා මේ වැඩේට ආසාවක් නැතිව කරන්න අමාරුයි.

ටැටූ ගැන ඉගෙන ගන්න තැන් තියෙනවාද ලංකාවේ?

ඔව්. ටැටූ කලාව දැන් ලංකාවේ ගොඩක් ප්‍රචලිතයි. ඒකට දැන් හොඳ වෙළෙඳපොළක් තියෙනවා වගේම ඉගෙන ගන්න තැන් පවා තියෙනවා.

ටැටූ එකක මිල තීරණය කරන්නේ?

ටැටූ එකේ ප්‍රමාණය සහ ඒකේ රටාවන් විහිදෙන ආකාරය අනුව මිල ගණන් වෙනස් වෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!