ජාත්‍යන්තර බොක්සිං පදක්කම්ලාභී ගයාන් සමීර (අවු. 25) පෞද්ගලික හේතුවක් මත සිය දිවි හානි කර ගත්තේ සිය දිවි හානි වැළක්වීමේ දිනයට (සැප්. 10) දින කිහිපයකට පෙරය.
ඊයේ ටෙලි නාට්‍ය නළු දසුන් නිෂාන් (අවු. 30) පෞද්ගලික හේතුවක් මත සිය දිවි හානි කර ගෙන තිබුණි.
අපේ රට තුල දිනකට සිය දිවි නසා ගැනීමේ උත්සාහයන් 30 ක් පමණ වාර්තා වෙන්.
ඉන් 8 දෙනෙකුගේ ජීවිත කෙළවර වන්නේ අකල් මරණ වලිනි. 2015 වසරේ දත්ත අනුව ජනගහනයට සමානුපාතව සිය දිවි හානි කරගත් පිරිමින් අතරින් ලොව අංක 1 බවට පත්වන්නේ ලංකාවයි.
තරුණ තරුණියන්ගේ (අවු. 16-30) අකල් මරණයන්ගේ ප්‍රධාන හේතු අතරින් ලංකාව තුළ සිය දිවි හානි කර ගැනීම ඇත්තේ ඉදිරියෙන්මය.
සිය දිවි නසා ගන්නෝ සියල්ලන්ම මානසික රෝගීන් නොවෙන අතරම මානසික රෝගීන් සියල්ලන්ම සිය දිවි නසා ගැනීමට තැත් නොකරන බව මනෝ විද්‍යාඥයින්ගේ මතයයි.
සිය දිවි නසා ගැනීමේ සිතිවිලි අත්විඳින්නෝ අතිශය විශාල චිත්ත වේදනාවන්ගෙන් පෙළෙති.
සාමාන්‍යයෙන් එමඟින් මරණයට පත්වන්නන් තුළ බලාපොරොත්තු බිඳ වැටීම, පැහැදිලි අරමුණක් නොතිබීම සහ අසරණ වීම වැනි සංවේදනා නොතකා සිටිය නොහැකි තරම් බලවත්ව තිබේ. සිය දිවි හානි කර ගැනීම යනු පුද්ගල දුර්වලතාවයක් හෝ චරිත ස්වභාවයන්ගේ දුර්වලතාවයක් නොවේ.
ඔවුහු තමන් පෙළෙන වේදනාව කිසිදාක නිම නොවෙන බවත් එය අවසන් කළ හැක්කේ තමන්ගේ ජීවිතය තොර කර ගැනීමෙන් පමණක් බැව් විශ්වාස කරති.
දෙයක් දරාගැනීමට, ප්‍රශ්නයකට මුහුණදී්මට හෝ ගැටලුවකට හැඟීමෙන් නොව මොලයෙන් විසඳුම් සෙවීමට අද තරුණ හිත් පෙලබෙන්නේ නැත.
ඔවුන් තීරණ ගන්නේ හැඟීමෙනි. පෙනෙන දෙයට වඩා නොපෙනන දෙයක් ඇති බව ඔවුන් තේරුම් ගන්නේද නැත.
මෙය රටක් ලෙස ආපස්සට ඇදදැමීමක් නොවේද..?
ලංකාව තුළ දැන්වත් අවශ්‍ය වන්නේ වැළැක්වීම, දැනුවත් කිරීම, සුවපත් කිරීම සඳහා වූ රාජ්‍යය මැදිහත්වීම් සහිත බරපතළ වැඩ පිළිවෙළකි.