Gossip

දෙවෙනි ඉනිමට අලුතින් ආපු ජැක්සන් ඇන්තනීගේ පෙණුම තියෙන මේ අලුත් නළුවා කවුද? – Photos

ටී.වී. දෙරණ නාලිකාවෙන් විකාශය වන “දෙවෙනි ඉනිම” ටෙලි නාට්‍යයට “ඩිලාන්” නමින් අලුත් චරිතයක් මෑතකදී එකතු වුණා.
මේ චරිතය රඟපාන නළුවා ගැන මේ දිනවල බොහෝදෙනා විමසිලිමත් වෙන්නට පටන්ගෙන ගෙන තිබෙන්නේ ඔහු හැඩරුවෙන්, කටහඩින් සහ රඟපෑමෙන් ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනීට බොහෝසෙයින් සමාන වීම නිසයි.
ඇත්තටම මේ රංගන ශිල්පියා කවුරුන්ද කියලා ඔබට කියන්නයි අපි මේ සූදානම් වෙන්නේ.

ජැක්සන් ඇන්තනීගේ හැඩරුව තියෙන මේ අලුත් නළුවා කවුද කියන එක මේ දවස්වල හුඟක් අයට ගැටලුවක්. ඇත්තටම ඔබ කවුද?
සමහරු එහෙම රැවටෙන එක පුදුමක් ‍නෙවෙයි. මොකද මම ජැක්සන් ඇත්තනීගේ මල්ලී සුදත් ඇන්තනී.

ඔබ පවු‍ලේ කී වැනියාද?
අපේ පවු‍ලේ ඉන්නේ සහෝදරයොම පස්දෙනෙක්. අපේ ලොකු අයියා සේනක ටයිටස්. දෙවැනියා තමයි ජැක්සන් අයියා. තුන්වැනියා මම. අපිට තව මල්ලිලා දෙන්නෙක් ඉන්නවා.

මීට පෙර ඔබ රඟපාලා තියෙනවාද?
මීට හුඟ කාලයකට කලින් නාට්‍ය කිහිපයක රඟපාලා තියෙනවා. හැබැයි මම මේ වගේ ටෙලි නාට්‍යයක රඟපාන ප්‍රථම වතාව තමයි මේක.

කොහොමද ඔබ “දෙවැනි ඉනිම”ට සම්බන්ධ වුණේ?
දෙවැනි ඉනිම අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් තමයි මට ආරාධනා කළේ. හැබැයි ඒ වෙද්දී සාරංග මාව මුණගැහිලාවත් තිබුණේ නැහැ.

ඔබ ගැන ඔහුට එතරම් විශ්වාසයක් ඇතිවුණේ කොහොමද?
හැබැහි දැකලා නැති වුණාට අපි ෆේස්බුක් හරහා දැන හඳුනාගෙන හිටියා. සාරංගගේ “ගිනි අවි සහ ගිනිකෙළි” ටෙලි නාට්‍යය මම ආසාවෙන් නැරඹුවා. මට තේරෙන විදිට එහි හොඳ නරක කියලා මම සාරංගට නිතරම ෆේස්බුක් මැසේජ් යැව්වා. අපේ ලොකු අයියාත් ඒ ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඒ වෙද්දී මම හිටියේ ඉතාලියේ. ෆේස්බුක් හරහා ඇතිවූ මිත්‍රත්වය නිසා සාරංග මට කිව්වා “අයියේ මම කවදාහරි ඔයාගෙනුත් වැඩක් ගන්නවා” කියලා.

ඒ දිනය උදාවුණේ කොහොමද?
ජැක්සන් අයියාගේ දරුවන්ගේ විවාහය වෙනුවෙන් මෑතකදී මම ලංකාවට ආවා. එහෙම ඇවිත් ඉද්දී මුලින්ම සාරංග මට කතා කළේ ඔහුගේ “සංගීතේ” ටෙලි නාට්‍යයට.
නමුත් යම් ගැටලුවක් නිසා ඒ ආරාධනාව මට ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණා.
ඊට පස්සේ තමයි සාරංග මට දෙවෙනි ඉනිමට ආරාධනා කළේ. ඇත්තටම මට ලබාදෙන සහයෝගය ගැන සාරංගටත්, දෙවෙනි ඉනිම කණ්ඩායමටත් මම ස්තුතිවන්ත වෙනවා.

ලැබෙන ප්‍රතිචාර ගැන සතුටුද?
මගේ කටහඬ සහ හැඩරුව ජැක්සන් අයියාට හුඟක් සමාන නිසා බොහෝ අය හොයලා තිබුණා මේ කවුද කියලා.
සමහරු අයියා කියලා මාව පටලවා ගෙනත් තිබුණා. සමහරු ෆේස්බුක් ‍පෝස්ට් පවා හදලා තිබුණා.
එහෙම වෙද්දී මටත් ටිකක් බය හිතුණා. මොකද ජැක්සන් අයියාගේ ළඟින්වත් තියන්න පුළුවන් නළුවෙන් නොවෙයිනේ මම. හැබැයි මට ලැබෙන ප්‍රතිචාර නම් ඉතා හොඳයි. බැරි වෙලාවත් දුර්වල විදිහට රඟපාලා අයියාගේ නමත් කන තත්ත්වයක් මට ඇතිවුණා නම් කාටත් නොකියා හෙමිහිට ආයෙමත් ඉතාලියට මාරු වෙන්නයි මම හිතාගෙන හිටියේ.

ඔබේ සොහොයුරාව ඔබ අනුකරණය කරනවා නේද?
සමහර වෙලාවට “දෙවෙනි ඉනිම” නරඹද්දී මටත් වෙලාවකට හිතෙනවා “යකෝ ….. මම ‍පොඩි අයියා වගේ නේද මේ ඇඟිල්ල එහෙම දික් කරන්නේ” කියලා.
ඒත් ඒක මම හිතලා මතලා කරන දෙයක් ‍නෙවෙයි. මම හිතන්නේ ඒක අපේ ජානවලම තියෙන දෙයක්.
අපේ සහෝදරයෝ ටික සාමාන්‍ය ජීවිතයේදීත් කතාබහ කරන්නේ, හැසිරෙන්නේ ටිකක් එක වගේ තමයි.

ඔබේ රඟපෑම් ගැන අයියා මොකද කියන්නේ?
ජැක්සන් අයියා තමයි රඟපාන්න මට ගුරුහරුකම් දෙන්නේ. මම රඟපානවා හොඳයි කියලා තමයි අයියා කියන්නේ.

දිගටම රඟපාන්න ඔබට ගෙදරින් අවසර ලැබුණද?
මට ඉන්නේ පුතාලා දෙන්නෙක් සහ එක දුවෙක්. ලොකු පුතා ගෘහනිර්මාණ ශිල්පියෙක්. ‍
පොඩි පුතා ඉංජිනේරුවෙක්. දුව විතරයි තවම ඉගෙන ගන්නේ. දෙවෙනි ඉනිම කියන්නේ මගේ බිරිඳ බොහොම ආසාවෙන් නරඹන ටෙලි නාට්‍යයක්.
ඒ නිසා මම එහි රඟපානවා කියලා දුවට විතරයි මම කලින් කිව්වේ. මම මුලින්ම දෙවෙනි ඉනිමේ රඟපෑ දර්ශනය රූපවානියෙන් දකිද්දී මගේ බිරිඳ හොඳටම පුදුම වුණා. දැන්නම් ගෙදර හැමෝගෙන්ම මට රඟපාන්න අවසර ලැබිලයි තියෙන්නේ.

උපුටා ගැනීම – ලක්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!