Gossip

ශ්‍රි ලංකාව අසීරු තත්වයක .. අවසාන මොහොතේ ඉන්දියානුවන් වැඩි වාසි ලබාගත්තේ මෙන්න මෙහෙමයි

ජයග්‍රහණය සදහා ලකුණු 410 ක ඉලක්කයක් හඹායන ශ්‍රී ලංකා කණ්ඩායම දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය (05 වැනිදා) නිමාවන විට ලකුණු 31 කට කඩුලු 3 ක් අහිමිකරගෙන සිටියේය.

මොහොමඞ් ශාමී එවන ලද බවුන්සර් පන්දුවක් නිදැල්ලේ යැවීමට උත්සහ කිරීමේදී සධීර සමරවික්‍රමගේ අත් ආවරණයේ වැදුණු පන්දුව පළමු ස්ලිප්හී පන්දු රකිමින් සිටි අජින්ක්‍යා රහනේ විසින් රැකගැනීමත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 14 ක් වන විට දැවී ගියේය. ප්‍රධාන විනිසුරු විසින් දැවී ගිය බවට තීරණය කළද ඉන් සැහීමකට පත්නොවූ සධීර සමරවික්‍රම විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියේය.

තෙවැනි විනිසුරු විසින් පුනරූපණ නැරඹීමේදී අත් ආවරණයේ යම්තමින් වැදුණු පන්දුව සධීර සමරවික්‍රමගේ උරහිසේ වේගයෙන් වදිමින් ස්ලිප්හී පන්දු රකිමින් සිටි අජින්ක්‍යා රහනේ වෙත ඇදී ගියේය.

දිනය නිමාවීමට පෙර රවින්ද්‍ර ජදේජා විසින් යවන ලද අවසන් ඕවරයේ පළමු පන්දුවෙන් දිමුත් කරුණාත්න දැවී ගිය අතර රාත්‍රි මුර පිතිකරු ලෙස පැමිණි සුරංග ලක්මාල්ද එම ඕවරයේ සිවුවැනි පන්දුවෙන් දැවී ගියේය.

ඉන්දියාව දෙවැනි ඉනිම සදහා කඩුලු 5 ක් දැවී ලකුණු 246 ක් රැස්කරමින් ඉනිම අත්හිටුවන විට ශ්‍රී ලංකාවට වඩා ලකුණු 409 ක් ඉදිරියෙන් සිටියේය.

පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් මුරලි විජේ ඉක්මනින්ම ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සුරංග ලක්මාල් සමත්වූ අතර දිගින් දිගටම ලකුණු අතර නොසිටි අජින්ක්‍යා රහනේට සාර්ථක වීමට අවස්ථාවක් ලබා නොදෙමින් දවාගැනීමට ඩිල්රුවන් පෙරේරා සමත්විය.

සුරංග ලක්මාල්ගේ සහ ඩිල්රුවන් පෙරේරාගේ පන්දු හමුවේ දෙවරක් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවීයාමට අජින්ක්‍යා රහනේ ආසන්න වුවද විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය හේතුවෙන් ඉන් ගැලවිමට ඔහුට අවස්ථාව හිමිවිය.

අර්ධ ශතකයට ලකුණක් මෙපිටින් සිටි චෙතේෂ්වර් පුජාරා දවාගැනීමට ධනංජය ද සිල්වා සමත්විය. ස්ලිප්හී පන්දු රකිමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 66 කට මුහුණදුන් පුජාරාගේ ඉනිමට හතරේ පහර ඇතුළත් විය.

ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවක් හමුවේ චෙතේෂ්වර් පුජාරා කඩුල්ල මුවා කළේ යැයි ඉල්ලීමක් කළද ප්‍රධාන විනිසරු විසින් පන්දුව පිත්තේ වදින්නේ යැයි පවසමින් එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කිරීමත් සමගින් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටිමට නායක දිනේෂ් චන්දිමාල් පියවර ගත්තේය.

පුණරූපන නැරඹීමේදී පන්දුව පිත්තේ වැදීමට පෙර පා ආවරණයේ වදින ආකාරයක් දිස්වුවද පන්දුව කඩුල්ලේ නොවැදීම හේතුවෙන් චෙතේෂ්වර් පුජාරාට කඩුල්ලේ රැඳී සිටීමේ වාසනාව හිමිවිය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩාය සතුව තිබූ විනිසුරු තීරණය විමසීමේ අවස්ථා දෙකෙන් එකක් අහිමිව ගියේය.

අද 32 වැනි වියට පා තැබූ ශිකර් ධවාන් සිය පස්වැනි ටෙස්ට් අර්ධ ශතකය රැස්කිරීමෙන් අනතුරුව ලකුණු රැස්කිරීමේ වේගය වැඩිකිරීමට උත්සහ කිරීමේදී ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවකට ඉදිරියට පැන පහරක් ගැසිමට යාමේදී ස්ටම්ප් කිරීමකට හසුව ලකුණු 67 කට දැවී ගියේය.

විරාට් කෝලි (50) අර්ධ ශතකය ලබාගැනීමෙන් පසුව ලකුණු රැස්කිරීම වේගවත් කිරීමට උත්සහ ගැනීමේදී හතරේ සීමාව අසල සිටි සුරංග ලක්මාල් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. රෝහිත් ශර්මා අර්ධ ශතකය ලබාගන්නා තෙක් සිටි නායක විරාට් කෝලි ඉනිම අත්හිටුවමින් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහරදීම සදහා ආරාධනා කළේය.

දිල්ලිහි ෆෙරෝස්ශා කොට්ලා ක්‍රීඩාංගණය අවට පරිසරය වායු දූෂණයට ලක්වි පැවතීම හේතුවෙන් පළමු ඉනිමේදී මෙන් දෙවැනි ඉනිමේදීද ශ්‍රී ලංකා ක්‍රිඩකයෝ මුඛ ආවරණ පැළඳ පන්දු රැකීමට පිටියට පිවිසියහ. හයවැනි ඕවරයේදී ක්‍රියාත්මක වනවිටදී සුරංග ලක්මාල් වමනය කිරීම නිසා භෞතික චිකිත්සක වරයා පැමිණ ඔහුව පිටියෙන් ඉවතට ගෙන ගියේය.

තෙවැනි දිනය සදහා ඊයේ (4 වැනිදා) තරගය නතර කරනවිට පළමු ඉනිම සදහා කඩුලු 9 ක් දැවී ලකුණු 356 ක් රැස්කරගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට අද උදෑසන රැස්කිරීමට හැකිවූයේ ලකුණු 17 ක් පමණි.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකරමින් ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉනිමක රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 150 සීමාව පසුකළ සිවුවැනි අවස්ථාව විය. අවසන් කඩුල්ල ලෙස ලකුණු 164 ක් රැස්කළ දිනේෂ් චන්දිමාල් දැවීයන විට ලක්ෂාන් සඳකැන් සමගින් ලකුණු 30 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගූ අතර එම ලකුණු 30 චන්දිමාල්ගේ පිත්තෙන් වාර්තාවිය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!