Gossip News

සිංගප්පූරුවේ නියෝගයක් නිසා ෆේස්බුක් ‘දැඩි කනසල්ලෙන්’

පුවත් වෙබ් අඩවියකට අයත් ෆේස්බුක් පිටුවකට පිවිසීම අවහිර කරන ලෙස සිංගප්පුරු ආණ්ඩුවෙන් ලද නියෝගයක් හේතුවෙන් ෆේස්බුක් සමාගම දැඩි කනස්සල්ල පළකරයි.

ස්ටේට්ස් ටයිම්ස් රිවීව් (States Times Review) නම් වූ එම පුවත් වෙබ් අඩවිය, අලුතින් හඳුන්වා දෙන ලද “ව්‍යාජ පුවත්” පිළිබඳ නීතිය බිඳ දමමින් “ව්‍යාජ දේ” නැවත නැවතත් පළකරමින් සිටින බව සිංගප්පූරු ආණ්ඩුව පැවසීය.
සිංගප්පුරුවෙන් ලද නියෝගයට අනුගතවීමට තමන් “නෛතිකව බැඳී සිටින” බව ෆේස්බුක් ආයතනය පැවසුව ද එම නියෝගය “දැඩි කනස්සලු සහගත” බව කියා සිටී.

“අදහස් පළකිරීමේ අයිතිය වැළක්වීමට” මෙම නියෝගය හේතුවිය හැකි බව එම ආයතනය සඳහන් කළේය.
පොෆ්මා (Protection from Online Falsehoods and Manipulation) නමින් හඳුන්වා ඇති නව නීතිය ක්‍රියාවට නැගුණේ පසුගිය ඔක්තෝබරයේදීය.
වාර්ගික හා ආගමික සහජීවනය සහජීවනය බිඳ දැමීම සඳහා පොළඹවාලිය හැකි ව්‍යාජ පුවත්වලට ඇති ඉඩකඩ සැලකිල්ලට ගනිමින් දැඩි නීති ගෙන ආ යුතු බව සිංගප්පුරු ආණ්ඩුව පවසා තිබිණි. ව්‍යාජ තොරතුරු වේගයෙන් පැතිරීම නැවතීමට වහා ක්‍රියාත්මක විය හැකි වන බලය ලබා ගැනීම ඉන් අපේක්ෂා කෙරිණි.

ෆේස්බුක් පිටුවේ පළවුයේ කුමක්ද?

“සිංගප්පුරුව තුළ මුව ආවරණ හිඟ යැයි වැරදි ප්‍රකාශයක්” ජනවාරියේදී ස්ටේට්ස් ටයිම්ස් රිවීව් විසින් සිය ෆේස්බුක් පිටුවේ පළකරනු ලැබ ඇති බව බලධාරීහු පැවසූහ. කොරෝනාවෛරස තත්ත්වය මත මුව ආවරණ මිලදී ගැනීම සඳහා සිංගප්පුරුවේ පැවති ස්වභාවයට අදාළව එම වාර්තාව පළකර තිබිණි.

කොරෝනාවෛරස් රෝගීන් ගණනාවක් වාර්තා වූ සිංගප්පුරුව නිරන්තරයෙන් පැවසුවේ, අවශ්‍ය තරම් සැපයුම් තිබෙන අතර තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ප්‍රමාණවත් සූදානමක් සකසා ඇති බවය.

පළකරන ලද තොරතුරු සාවද්‍ය බවට දැන්වීමක් ප්‍රකාශයට පත් කරන්නැයි ස්ටේට්ස් ටයිම්ස් රිවීව් (STR) වෙත සිංගප්පුරු ආණ්ඩුව නියෝග කර තිබිණි. කෙසේ වෙතත්, ඔවුන් අදාළ නියෝග නොසලකා හැර තිබේ.

පෙබරවාරි 15 වන දා ඔවුන් වෙත සිංගප්පූරුවේ සන්නිවේදන හා තොරතුරු අමාත්‍යාංශය විසින් දන්වනු ලැබ තිබුණේ, එය ‘ප්‍රකාශයට පත් කරන ලද මංගත ස්ථානයක්’ යනුවෙන් දැක්වෙන නිවේදනයක් පළ කරන ලෙසය. එහි අරුත වන්නේ, “ව්‍යාජ දේ සන්නිවේදනය කිරීමේ ඉතිහාසයක් ඇති තැනක් බවට අනතුරු ඇඟවේ,”යනුවෙන් එම පිටුවට පිවිසෙන ඕනෑ ම අයෙකු වෙත දැනුම් දීමය.

එවැනි දැන්වීමක් පළ නොකළ STR, ඒ වෙනුවට කර ඇත්තේ, “පිටුවෙහි ලිපිනයට (URL) වෙනසක් කිරීම” යැයි බලධාරීහු කියා සිටියහ. ඒ අනුව සන්නිවේදන හා තොරතුරු අමාත්‍යාංශය ගත් පියවර වූයේ සිංගප්පුරුවේ පරිශීලකයින් සඳහා අදාළ අඩවියට ඇති ප්‍රවේශය අවහිර කරන ලෙස ෆේස්බුක් සමාගමට උපදෙස් දීමය.

කොරෝනාවෛරස පැතිරීමේ තත්ත්වය මත ව්‍යාජ තොරතුරු පැතිරීමට එරෙහිව “වහා ක්‍රියාත්මක වීමේ” විශේෂ අවශ්‍යතාවක් වූ බව සිංගප්පුරුවේ සන්නිවේදන හා තොරතුරු අමාත්‍ය එස්. ඊස්වරන් පැවසීය.

පසුගිය නොවැම්බර් මස සිට ස්ටේට්ස් ටයිම්ස් රිවීව් වෙත නිවැරදි කිරීම් සඳහා උපදෙස් තුනක් ලැබී තිබිණි.

STR විසින් කරන ලද පළකිරීමකට ෆේස්බුක් මීට පෙර නිවැරදි කිරීමේ දැන්වීමක් යොදා තිබුණේ ඒ සඳහා ලද නියෝගයකට අනුවය. එම දැන්වීමෙන් කියවුණේ “මෙම පළකිරීමෙහි සාවද්‍ය තොරතුරු ඇති බව සිංගප්පුරු ආණ්ඩුව පවසනවා යැයි ඔබට දැනුම් දීමට නීතිමය වශයෙන් වූ අවශ්‍යතාවක්” ෆේස්බුක් වෙත ඇති බව ය.

“විදෙස් ආණ්ඩුවකින් ලැබෙන කවර හෝ නියෝගයකට අනුගත වෙන්නේ නැහැ” යැයි අදාළ වෙබ් අඩවියේ සංස්කාරක, ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු වන ඇලෙක්ස් ටෑන් පසුගිය වසරේදී පවසා තිබිණි.

නීතියට ෆේස්බුක් අනුගත නොවුණොත්?

“මහජන අභිවෘද්ධියට එරෙහි” සාවද්‍ය ප්‍රකාශන යැයි පෙනෙන්නට ඇති යමක් ඉවත් කරන ලෙස හෝ නිවැරදි කරන ලෙස ෆේස්බුක් වැනි අන්තර්ජාල මාධ්‍යවලට නියෝග කිරීමේ ඉඩකඩ POFMA නීතිය විසින් සිංගප්පූරු ආණ්ඩුවට සලසා දෙනු ලැබ ඇත.

ඒ අනුව ආණ්ඩුවේ නියෝගවලට අනුකුල නොවීමේ වරදට ෆේස්බුක් වරදකරුවෙකු කිරීමට හැකියාව තිබේ.

එසේ වැරදිකරු වුවහොත්, දිනකට සිංගප්පූරු ඩොලර් 20,000 (ඇමෙරිකානු ඩොලර් 14,378) නොඉක්මවන, උපරිම සිංගප්පුරු ඩොලර් ලක්ෂ 5 දක්වා වූ දඩයකට යටත් කළ හැකිවේ.

ෆේස්බුක් සමාගමේ ආසියා ශාන්තිකර කලාපීය මූලස්ථානය පිහිටා තිබෙන්නේ සිංගප්පුරුවේය. සිංගප්පූරු ඩොලර් බිලියනයක ආයෝජනයක් දරමින් එහි ඉදිකළ දත්ත මධ්‍යස්ථානය 2022 දී විවෘත කිරීමට ද නියමිතය.

BBC.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!