Gossip

සෑම සාර්ථක පිරිමියෙකු පිටුපසම සාර්ථක ගැහැණියක් සිටීද..? “බාල අපචාරයක් කළා කියලා මාව අත්අඩංගුවට ගත්තා”

“සෑම සාර්ථක පිරිමියකු පිටුපසම සාර්ථක ගැහැනියක් සිටී”
ඒ කියමන එහෙම වුණත් හේමන්තගේ ජීවිතය අඳුරෙන් අඳුරට වැටුණේ ගැහැනියක නිසාය.
ලස්සන හැඩරුව කෙරෙහි විශ්වාසය නොතැබූ ඔහු සෙව්වේ ගුණ යහපත්කම් පිරුණු ගැහැනියකි.
එහෙත් ජීවිතයේ පළමුවරට හමු වූ ගැහැනිය සමඟ යුග දිවියට එළැඹුණ ද ඒ ගැහැනිය ඔහුගේ ජීවිතය අපායක් කළේය. අද ද ඔහු ඒ නිසාවෙන් සුසුම් හෙළන්නේය.
“මට ජීවිතේ වැරැදුණා”
මං හැමදාම හිතන්නේ ඒ විදිහට.

ඇයි ඒ?
“මං ඉගෙන ගත්තේ කොළඹ පාසලක. ඒත් අපි සල්ලිකාර අය නෙවෙයි. ඒත් අපේ අම්මා තාත්තා බොහොම හොඳට ගෙවල් දොරවල් හදාගෙන පිළිවෙලකට ජීවත් වුණා. නංගියි මමයි විතරයි පවුලේ හිටියේ. ”
“අම්මා අපි දෙන්නටම සැලකුවේ එකම විදිහට. මං කොල්ලෙක් කියලා මට වෙනසක් කළේ නැහැ. තාත්තා වුණත් එහෙමයි. ඒ නිසා මමත් ගෙදර උයන්න පිහන්න ගෙවල් අතුගාන්න හුරුවුණා. ඒ නිසා අම්මා ගෙදර නැති වුණත් අපිට අපේ වැඩ කරගන්න පුළුවන්. අපි බොහොම සහයෝගයෙන් හිටියේ. ඒ නිසා අපේ ගෙදර හැම විටම ආදරයෙන් පිරිලා තිබුණේ.”

අම්මා තාත්තා රස්සාවල් කළාද?
“නැහැ. තාත්තා ඒ කාලේ වෙනකොට එයාගේ රස්සාවෙන් විශ්‍රාම අරගෙන හිටියේ. අම්මා කවදාවත්ම රස්සාවක් කළේ නැහැ. නංගියි මමයි පුද්ගලික ආයතනවල වැඩ කළේ.”

විවාහ වුණේ නැද්ද?
“අම්මා හැම වෙලාවෙම කිව්වා මට විවාහයක් කරගන්න කියලා. ඒත් මට ඉක්මනින් විවාහයක් කරගන්න ඕනකමක් තිබුණේ නැහැ.”

එතකොට නංගි?
“අම්මා නංගිට මනමාලයෝ හෙව්වා. අන්තිමට නංගි යාළු වුණේ මගේ යාළුවෙක් එක්ක. නිලන්ත හොඳ කොල්ලෙක්. එයා අපේ පවුලට හිතවත් කෙනෙක්. ඒ නිසාම මං අම්මට කිව්වා විවාහයෙන් පස්සේ නංගිව ගෙදර නතර කරගන්න කියලා.
ඒත් අම්මා ඒකට කැමති වුණේ නැහැ. මේක පුතාටයි අපිටයි ඉන්න තියෙන ගේ. ඒ නිසා නංගිට අපි වත්ත පහළින් ගෙයක් හදාගන්න කියමු. අම්මා එහෙම කිව්වා. අම්මා මට යෝජනාවක් ගෙනාවා. ඒත් මම ඒ ගෑනු ළමයට කැමති වුණේ නැහැ.”

ඇයි ඒ?
“ඒ ළමයා මට වඩා ලස්සනයි. මං හිතුවා මට වඩා ලස්සන කෙනෙක් ලැබුණම මට එයාව පරිස්සම් කරන්න වේවි කියලා. ඒත් ගෑනු ළමයා මට කැමති වුණා. අපේ අම්මත් කැමති වුණා. ඒත් මගේ හිත කිව්වෙම ඒ ළමයව බඳින්න බැහැ කියලා. ඒ නිසා මම අම්මට කිව්වා මමම බඳින්න කෙනෙක් හොයා ගන්නම් කියලා.”

හොයා ගත්තද?
“ඔව්. හොයා ගත්තා. එයා අපේ වැඩපලේම ළමයෙක්. අම්මලා හොයපු කෙනා තරම්ම එයා ලස්සන නැහැ. ඒත් මගේ හිත එයාට ඇදිලා ගියා. අම්මගෙ, තාත්තගෙ, නංගිගේ හිතේ අකමැත්තක් තිබුණා. ඒත් ඒගොල්ලෝ මගේ අදහසට ඉඩදීලා බලාගෙන හිටියා.
අපි බැන්දා. අම්මයි තාත්තයි අපේ ගෙදර හිටියේ. ඒත් සරෝජනි අම්මා ගෙදර ඉන්නවට කැමති වුණේ නැහැ.
මාසයයි දෙකයි අපි ඔක්කොමලා හිත හොඳින් හිටියේ. සරෝජනිගේ වෙනස්කම් ඉවසන්න බැරිව අම්මයි තාත්තයි නංගිගේ ගෙදර පදිංචියට ගියා. ඊට ටික කාලෙකට පස්සේ සරෝජනි එයාගේ අයියට එන්න කියලා අපේ ගේ ඉඩම වටේ කම්බි ගැහුවා. එයා මට අම්මව බලන්න යන්නවත් දුන්නේ නැහැ. මම හොරෙන් තමයි අම්මව බලන්න ගියේ.”

ඊට පස්සේ?
“එයා අම්මලා එක්ක රණ්ඩු වුණා. අම්මයි නංගියි එයාගේ මහත්තයයි මේවට පැටළුණේ නැහැ.
අපිටත් නොකියම අම්මලා ඉඩම විකුණලා යන්න ගියා. මට අම්මා ගැන පුදුම දුකක් දැනුණා.
මං අම්මව බලන්න හොරෙන් ගියා. ඒත් මං දන්නෑ සරෝජනි ඇයි එහෙම නපුරු වුණේ කියලා.
හැමෝම කිව්වේ මගේ නෝංජල්කම කියලා. මං අම්මව බලන්න යන එක නතර කෙරුවා. ඒ සරෝජනි ගෙදර නිතර නිතර රණ්ඩු වෙන නිසා.”

ඊට පස්සේ සතුටින් හිටියද?
“මොන පිස්සුද. අපේ අම්මලාව ගෙදරින් පන්න ගත්ත සරෝජනි ඊට පස්සේ එයාගේ අම්මවයි නංගිවයි ගෙදර නතර කරගත්තා. සරෝජනිට ඕන වුණේ එයාගේ පවුලේ අයට සලකන්න විතරයි.”

සරෝජනිගේ නංගි බැඳලද?
“නැහැ. එයා සාමාන්‍ය පෙළ විභාගය කරලා ගෙදර නතර වෙලා හිටියේ. නංගි සරෝජනි වගේ නපුරු නැහැ. සරෝජනිට වඩා හොඳට නංගි මට සැලකුවා. අපි අතර තිබුණේ සුහද බැඳීමක්. එත් දවසින් දවස සරෝජනිට වඩා නංගි මට ළං වෙද්දී මගේ හිත නංගි කෙරෙහි බැඳුණා. ඇත්තම කිව්වොත් මං නංගිට ආදරේ කරන්න පටන් ගත්තා.”

සරෝජනි දන්නේ නැද්ද?
“මුලින් දැන ගත්තේ නැහැ. ඒත් පස්සේ එයා ඒ බව දැනගත්තා. එයා මගෙත් එක්ක රණ්ඩු වුණා.
නංගිට හොඳටම ගැහුවා. ඒත් මං ඒ වෙනකොට සරෝජනිගේ නංගිට ආදරය කරමින් හිටියේ. මේ නිසා මං නංගිවත් අරගෙන කාමරයක නතර වෙන්න ගියා.”

සරෝජනි මොකද කළේ?
“නංගි මා එක්ක ආවේ කැමැත්තෙන්. ඒ නිසා අපි සතුටෙන් හිටියා. ඒ සතුට වැඩි දවස් තිබුණේ නැහැ. පොලීසියෙන් මාව අත් අඩංගුවට ගත්තා මං බාල අපචාරයක් සිදු කළා කියලා.
මට ආදරෙන් හිටපු සරෝජනිගේ නංගිත් උසාවියේදී සාක්කි දුන්නේ මං එයාව බලෙන් පැහැරගෙන ගියා කියලා. නඩුව දිගින් දිගට ගියා. අන්තිමට මට හිරේ යන්න වුණා.”

එතකොට ගේ ඉඩම?
“දැන් ඒ ගෙදර ඉන්නේ මගේ අම්මයි තාත්තයි. ඉඩමයි ගේයි තිබුණේ අම්මගෙ නමට. සරෝජනි ඒක එයාගේ නමට ලියාගන්න උත්සාහ කරලා තිබුණා.”

දැන් සරෝජනි කොහේද?
“මං හිරේට ආවට පස්සේ එයා එයාගේ අම්මගෙ ගෙදර ගිහිල්ලා. දැන් එයාගේ නංගි වෙන කෙනෙක් එක්ක විවාහ වෙලා. මං මෙතනින් එළියට ගියාම සරෝජනිගෙන් නීතියෙන් වෙන් වෙනවා.”

ආයේ විවාහ වෙනවද?
“අම්මෝ නැහැ. මං ආයේ කවදාවත් කසාද නම් බඳින්නේ නැහැ. සමහර විට අම්මලා හොයලා දුන්න ගෑනු ළමයා සමඟ විවාහ වුණා නම් මට මෙහෙම දුක් විඳින්න වෙන්නේ නැහැ. දැන් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. මං මේ විඳින දුක හොඳටම ඇති. මගේ අම්මා නංගි තාත්තා තාමත් මට ආදරෙන් ඉන්නවා. මැරෙන තුරු ජිවත් වෙන්න ඒ ආදරේ මට ඇති.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!