Gossip

අඩ නිරුවත් ඡායාරූප එවලා අවස්ථා ඉල්ලුවා, ඕනෙම දෙයක් තියනවනම් කතා කරන්න කිව්වා – සමන් එදිරිමුණි

අද කලා ක්ෂේත්‍රය වලපල්ලට යමින් තිබෙනවා කියලා සමහරු කියනවා.
ඒකට හේතුව තමයි හැකියාව පැත්තකට දාලා ලිංගිකත්වය ඉස්සරහට දාගෙන සමහරු ප්‍රසිද්ධියක් ලබන නිසයි.
තවත් විටෙක අධ්‍යක්ෂවරුන්ට ලිංගික අල්ලස් දුන්නම හොඳ චරිතයක් ගන්න පුළුවන් කියන කාරණයත් හුඟක් තැන්වල කතාවට ලක්වුණා.
මේ හැමදේම අතරේ කාටත් බලන්න පුළුවන් ටීවී දෙරණ ඔස්සේ ඔබේ ආලින්දයට එන ලංකාවේ අංක එකේ ටෙලි සිත්තම් දෙකක් වන සිදූ සහ දෙවැනි ඉනිම ලියූ සමන් එදිරිමුණි අපූරු සටහනක් සිය මුහුණුපොතේ තබා තිබුණේ මෙලෙසින්.

ටෙලිනාට්‍ය ක්ශේත්‍රයට පිටපත් රචකයෙක් ලෙස මා අවතීර්ණ වන්නේ සිඳු ටෙලිනාට්‍ය ලිවීමත් සමගය.
ඉන් පසුව දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය ලිවීමට පටන් ගතිමි. දෙරණ මාධ්‍ය ජාලයට ප්‍රණාමය හිමිවේවා. මේ ටෙලි නාට්‍ය දෙකම මෑතකාලීනව ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය දෙක බවට පත්වීම නිසා, මා හට ලැබුණු අවස්ථා ප්‍රමාණය සුළුපටුු නොවන බව කිව යුතුය. කෙසේ වි නමුදු මා එදා පටන්ම දුවන්නේ මගේ වේගයකට බැවින් කිසිවක් හඹා යාමේ ආසාවක් මට නොවින. මින් ඉදිරියටත් එය එසේමය.
එහෙත් මේ කාල සීමාව තුලදී ජනප්‍රියම ටෙලි නාට්‍ය දෙකක් රචනා කිරීම හරහා මට ලැබුණු අත්දැකීම් ප්‍රමාණය සුළුපටු නොවේ.
ඒ නිසා ඒ අත්දැකීම් මෙසේ ලියා ඔබ හමුවේ තබන්නට සිතුවේ ආනගත නිර්මාණ කරුවන්ගේ ප්‍රයෝජනය සදහාමය. මෙම අත්දැකීම් ප්‍රවීණ නළු නිළියන්ට, අධ්‍යක්ෂක වරුන්ට, සහය අධ්‍යක්ෂක වරුන්ට ඉතා හුරුපුරුදු ඒවාය.
එහෙත් කිසිවෙක් මේවා එළිපිට නොකියයි. එසේ කීම අවදානමට ලක් වීමකි.
එහෙත් මට එහෙම බයක් නැත. ක්ෂේත්‍රෙය් උන්නතිය ගැනම සිතා කරන මෙවැනි ඇතැම් ප්‍රකාශ නිසාම මට මේ ක්ශේත්‍රය තුල දිර්ඝ අනාගතයක් ඇතැයි නොසිතමි. මන්ද යත් ඇත්ත ඇති සැටියෙන් දැකීම සහ කීම මේ ක්ශේත්‍රෙයන් ඉක්මනින්ම කල් ඉකුත් වීමට මගකි. එහෙත් එයින් කමක් නැත. මම කතා කරමි.
මම මාධ්‍ය ක්ශේත්‍රයට අවතීරණ වෙද්දී මගේ මුල් ගුරුවරයා වුනේ අද පුවත්පත් කර්තෘ කාංචන දසනායක මහතාය.
මා ආධුනිකයෙකුව සිටි ඒ යුගයේදී ඔහු මට වටිනා උපදෙසක් දුන්නේය. ඔහු ඒ සඳහා භාවිතා කලේ වචන කිහිපයකි. මතකයේ හැටියටම එය කීවොත් මේ ආකාරය.
උඹට හොඳට ලියන්න පුළුවන්. ලොකු ගමනක් යන්න ඕන නම් නීති දෙකක් දාගනින්. එකක් තමයි අනුන්ගේ අරක්කු වලට ලියන්න එපා. අනිත් එක තමයි රස්සාව හරහා ගෑණු දැලේ දාගන්න එපා. ඉන් අවුරුදු 10 කට පසු මා මේ සත්‍ය කොතරම් සංකීර්ණ ලෙස අත්විදිනවා දැයි දන්නේ මා පමණි.
අතීතයේ සිටි සහ තමවත් සිටින ඇතැම් අතීත පිටපත් රචකයින්, කොතරම් තුච්ච තැනකට පිටපත් ලිවීමේ කලාව දමා ඇත්ද යත් ඇතැම් මිනිසුන් අප දෙස බලන්නට පුරුදුව ඇත්තේද ඒ ආකාර ලෙසටය. මා පිටපත් ලියන්නට පටන් ගත් කාලයේ ඇතැම් නළුවන් හවසට සෙට් වෙමුදැයි මගෙන් ඇසුවෝය. ඔවුන් බෝතල් දී මා ලවා ඔවුන්ගේ චරිත ලියවා ගන්නට උත්සහ කල බව කිව යුතුය. එහෙත් කිසිදාක මම ඔවුන්ට ඉඩක් ලබා නොදුන්නෙමි. ඒ නළුවන් ප්‍රවීණ වෘත්තීය මට්ටමේ අභිමානවත් නළු සංහතියටම අවමානයක් බව කිව යුතුය. මා ලියුවේ නිර්මාණයේ අවශ්‍යතාවය මතය. මින් ඉදිරියටත් එසේමය.
වෙළද දැන්වීම් වල, ගීත රූප රචනා වල, සහ ටෙලි නාට්‍ය පුංචි කොටස් වල පෙනී සිටි සමහර නවක නිළියන් මට ෆේස්බුක් පණිවිඩ හරහා හායි අයියා කීහ.
මාව පුදුම තරම් වර්ණනා කළහ. මා ටෙලිනාට්‍ය කලාවට පෑයු ඉරක් යැයි කීහ.
ප්‍රසිද්ධියේ නොකියන මේවා පුද්ගලිකව කියන්නේ මාව බාගන්නට බව මම දනිමි. ඇතැම්හු අඩ නිරුවත් ඡායාරූප එවා අවස්ථාවන් ඉල්ලුහ.
ඕනෑම දෙයක් ඇත්නම් කතා කරන්න යැයි කියා ඔවුන්ගේ ජංගම දුරකතන අංක මා වෙත එවූහ. අදටත් 3000 කට වැඩි පණිවිඩ තොගයක් නවක නිළියන්ගෙන් සහ නිළිවරම් කැමති ගැහැණු දරුවන්ගෙන් ලැබී ඇති අතර ඒවා විවෘත්ත නොකරම එසේ තිබෙයි.
එවැනි නිළියන් සිතා සිටින්නේ පිටපත් රචකයන් හෝ අධ්‍යක්ෂක වරුන් ටකල් කිරීමෙන් ගමනක් යා හැකි බවය.
ඇතැම් විට යා හැකිය. එහෙත් එය ඉතා කෙටි ගමනකි. එසේ ටකල් කල හැකි අයද ක්ශේත්‍රෙය් සිටියි. හොඳ පවුල් ජීවිතයක් ගෙවන අපිව එහෙම අල්ලා ගැනීම ටිකක් අමාරුය. අපිට ඊට වඩා වැඩ ගොඩාක් තිබේ.
ක්ශේත්‍රෙය් දුර ගමනක් යන්නට, දක්ෂ නිළියක් වන්නට අධ්‍යක්ෂක වරයාට , පිටපත් රචකයාට හෝ සහය අධ්‍යක්ෂක වරයාට පානිය දමා මුට්ටිය අල්ලන්ට අවශ්‍ය නැත.
පිටපතෙන් ලැබෙනා දර්ශණයක් සඳහා උපරිම සාධාරණයක් කිරීම ප්‍රමාණවත්ය. ඇතැම් විට තමන්ට ලැබෙන්නේ දෙබස් දෙකක් හෝ තුනක් වන්නට පුළුවන. ඒ ටික හරියට කිරීම ප්‍රමාණවත්ය. දෙබස් යනු රඟපෑමම නොවේ. දෙබස් රහිත දර්ශණ වල කරන්නට ඕනෑ තරම් දේ ඇති බව රංගනය හැදෑරු ප්‍රවීණයින් දනිති.
මේ ක්ශේත්‍රය ඉරිසියාවන්ගෙන්, කැපිලි කෙටිලි වලින් උග්‍ර ලෙස ගිලන්ව ඇති ක්ශේත්‍රයකි. සෙට් වල සෙල්ෆි ගහද්දී උතුරා යන සහෝදරකම්ය. එහෙත් අවස්ථාවක් ලද පසු හදවත තුල කැකෑරෙන අමනුස්සකම්ය. මේ තත්වය නළුවන්ට වඩා නිළියන් අතරේ බහුලය. ඇතැම් විට අධ්‍යක්ෂක වරු සහ පිටපත් රචකයින් සමහර නළු නිළියන්ගේ රූකඩ බවට පත් වෙති. නිර්මාණ ඉන් පසු ගමන් කරන දිශාව තීරණය කරන්නේ ඔවුන් විසිනි. කොන්දක් කෙලින් තියාගෙන තමන්ට අවශ්‍ය නිර්මාණය ගන්න දන්නා නිර්මාණ කරුවන්ට අනාගතයක් තිබේ. ඒ හැරෙන්නට බෝතල් අඩි ගසන්නටත්, ගැහැණුන් ටකල් කරගන්නටත් කලාව කලා වූ ඈයෝ කලාව විසින්ම ඉතාම ඉක්මනින් වලලා දමනු ඇත.
තවත් සමහරු රූපවාහිනියේ මුහුණ පෙනුනු පමණි අඳිති. දර්ශණ දෙකක් රඟපා ප්‍රේක්ෂක ප්‍රතිචාර දැක උද්දාමයට පත්ව තමන් නිළි රැජින යැයි සිතති. කලර්ස් දමති. ප්‍රවීණයන්ට සෙට් වලදී පාට් දමති. ප්‍රවීණයන්ට ගරු නොකරති. කලාව වෙනුවෙන් සේවයක් කල කලා කරුවන්ට අවමන් කරති. ඉතාම ඉක්මනින් මුල අමතක කරති.
ජනප්‍රිය බව කොතෙක් වෙතත්, ඒ ජනප්‍රිය බව රෑදී ඇත්තේ ඒ නිර්මාණය පවතින තුරා පමණි. ඉන් පසුත් එය රදවා ගන්නට නම් තවත් එවැනිම නිර්මාණයක් අවශ්‍යය. එහෙත් එක දිගට ජනප්‍රියම නිර්මාණ හැමදාම කිරීම අපහසු කටයුත්තකි. කාට කාටත් කලාව තුල කාලයක් තිබේ. මීට වසර 5 කට පෙර සිටි ජනප්‍රියම නිළියන් දැන් කොහිද. නළුවන් කොහිද. ඒ යතාර්තයකි. තවත් අවුරුදු 5 ක් ඉක්මව යද්දී අපි සියලු දෙනාම යල් පැන ගිය චරිත සේ අතීතයට එක් වෙයි. අලුත් පරම්පරාවක් මේ කලාව අතට ගනියි. ඔබට කල හැකි එකම දෙය නම් ඒ දරුවන්ට යහපත් මග පෙන්වීමක් කිරීම පමණි.

කලාකරුවන්ගේ අභිමානවත් නාමයට කැළලක් නොකල අභිමානවත් ප්‍රතිපත්ති ගරුක කලාකරුවන්ට මාගේ ප්‍රණාමය හිමිවේවා….!!!
– සමන් එදිරිමුණී

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!