Gossip

එංගලන්තයේ සුපිරි ජීවිතයක් ගත කළ සසන්ති ජයසේකරගේ අලුත්ම කතාව මෙන්න

පුංචි තිරයේ ජනප්‍රිය නිළියක්ව හිටපු සසන්ති ජයසේකර මීට දශක එකහමාරකට විතර කලින් තමන්ගේ පුංචි පුතාවත් අරගෙන එංගලන්තයේ පදිංචියට ගියා.
ඉන්පසු ඇය රඟපෑවේ 2004දී එංගලන්තයේ රූගත කළ ජූලියා චිත්‍රපටයේ විතරයි. අද වෙද්දී සසන්තිගේ පුතා සේනිය බූප වයස 19ක නව යොවුන් තරුණයෙක්.
කාලෙකට පස්සේ සසන්තියි ඇගේ පුතයි ආපහු ලංකාවට ඇවිල්ලා.
කාලෙකින් ලංකාවට ආපු ඇයගේ අලුත්ම තොරතුරු සසන්ති මේ විදිහට සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණා.

ආයෙමත් ලංකාවට ඇවිත් යන්න හිතුනේ විශේෂ හේතුවක් හින්දද?
නැහැ… නැහැ… කොහොමටත් මම වසර කීපයකට වතාවක් හරි ලංකාවට ඇවිල්ලා යනවා. මේ ආවේ අවුරුදු 11කට පස්සේ. මාර්තු 7 වැනිදා ආවා. ආයේම අප්‍රේල් 3 වැනිදා යනවා.

සසන්ති ලංකාවට ආවා කිව්වට රසිකයෝ හිතන්න ඇති ආයේම රඟපෑමට එකතුවෙන්න ආවා කියලා….
ආයේ රඟපාන්න නම් මට විවේකයක් නැහැ. එංගලන්තයේ මම ගෙවන්නේ හරිම අවිවේකී ජීවිතයක්.
මේ ඉන්න දවස් කීපයට ටී.වී. වැඩසටහන් කීපයකටයි පුවත්පත් සාකච්ඡාවලටයි කාලය වෙන්කර ගත්තෙත් හරිම අමාරුවෙන්. අවුරුදු ගාණකින් රඟපෑමට ආවේ නැතුවට තවමත් හැමෝටම මාව මතකයි. ඒ නිසා තවමත් හැමෝගේම ආදරේ මට ලැබෙනවා. ඒ ගැන මට හරිම සතුටුයි.

එංගලන්තයේදී ලංකාවේ ටෙලි නාට්‍ය හා චිත්‍රපට බලන්න ඔබට අවස්ථාව ලැබෙනවාද?
ටෙලි නාට්‍ය නම් බලන්න වෙන්නේම නැහැ. ඉඳහිට චිත්‍රපටනම් බලනවා.

පහුගිය අවුරුදු 17ට ලංකාවේ අලුත් නළු නිළි පරපුරක්ම බිහි වුණා. ඒ අය ගැන ඔබට මොකද හිතෙන්නේ?
ඔය ප්‍රශ්නය ඇහුවම මට පහුගියදාක සිදුවූ සිදුවීමක් මතක් වුණා. මම ගයාත්‍රිගේ (ගයාත්‍රි ඩයස්) සැලොන් එකේ ඉද්දී ලස්සන කොල්ලෙක් එතැනට ආවා. ෂා…ලස්සන කොල්ලෙක්නේ. මෙයා නම් නළුවකුට හොඳයි කියලා මම කිව්වා.
ඒ තමයි පැතුම් රුක්ෂාන්. එයා නළුවෙක් තමයි කියලා ගයාත්‍රි කිව්වා. ඒ වෙලාවේ නම් මට මාර ලැජ්ජාවක් තමයි ඇති වුණේ. ඒකට හේතුව තමයි මෑත කාලයේ ක්‍ෂේත්‍රයට ආපු කිසිම කෙනෙකුව මම නොදන්නාකම. කොපි චැට් එකට ගිය අවස්ථාවෙයි ගයාත්‍රිගේ සැලොන් ඕපනින් එකට ගියාමයි මට ඔය කියන නළු නිළි පරම්පරාවේ කොටසක් දැකගන්න ලැබුණේ.
හරිම ලස්සන කොල්ලෝ ටිකකුයි, හරිම ලස්සන කෙල්ලෝ ටිකකුයි දැන් ඉන්නවා. ඒ ගැන මට හරිම සතුටුයි.

ඔබගේ සමකාලීන හා ප්‍රවීණ කලාකරුවන් මේ ගමනේදී හමුවුණාද?
ගොඩාක් අය හමුවුණා. ඒ හැමෝම හරිම ආදරෙන් මාත් එක්ක කතා බහ කළා.

කාලෙකට පස්සේ තමන්ගේ මව් රටට ආවම මොනවද හිතුණේ?
පසුගිය කාලයට ගොඩක් දේවල් වෙනස් වෙලා. හරිම උණුසුම් ගතියක් පරිසරයේ තියෙනවා.
ඒ වගේම හරිම කලබලකාරී ගතියකුත් තියෙනවා. මම අවුරුදු 12 ඉඳන් වාහන එළවපු කෙනෙක්. ඒත් මේ දවස් කිහිපය තුළ ඩ්‍රයිවින් කළේ නැහැ. ලංකාවේ රියැදුරන්ගේ විනය ගොඩක් පිරිහිලා කියලා මට හිතුනා. ඒ නිසා වාහනය පදවාගෙන යන්න මට දැන් බයයි.

එංගලන්තයේ ඔබ ජීවත් වන පරිසරය ගැන කතා කළොත්.
මගේ නිවස තියෙන්නේ ලන්ඩන්වලට එහා ටිකක් නිදහස් පරිසරයක. ගහකොළ පිරුණු හරිම නිදහස් පරිසරයක්.

කොයි විදිහටද එංගලන්තයේදී ඔබේ ජීවිතය ගෙවී යන්නේ?
මම රූපලාවන්‍ය ශිල්පිනියක්. එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවන් වගේ සුදු ජාතික කාන්තාවනුත් මගෙන් රූපලාවන්‍ය කටයුතු කරගන්න එනවා.
ස්ටීව් (සසන්තිගේ සැමියා) බැංකු ක්‍ෂේත්‍රයේ රැකියාවක් කරන්නේ. එයාගේ පෙර විවාහයේ පුතා ජෝර්ජ් හා මගේ පුතා දෙන්නම එක වයසේ. මම දැන් පුත්තු දෙන්නෙකුගේ මවක්. මගේ පුතා කලාවට වැඩි කැමැත්තක් නැහැ. එයා කැමැති ව්‍යාපාර ක්‍ෂේත්‍රයටයි. ඒත් ජෝර්ජ් කැමැති කලාවට.
ඔහු සිනමාව ගැන තමයි උසස් අධ්‍යාපනය හදාරන්නේ. ගෙදරදීත් මගේ පුතයි ස්ටීව් දෙන්නා කතා කරන්නේ ව්‍යාපාර ගැන. ජෝර්ජ් සහ මම කතා කරන්නේ කලාව ගැන.

උයන පිහන කටයුතු කරන්නේ සසන්තිමද?
ඔව්. මට රසට උයන්න පුළුවන්. එංගලන්ත කෑම වගේම අපේ කෑමත් මම හදනවා. බත් උයලා සම්බෝල හදලා එළවළු කීපයක් හැදුවම මුල්ම කා‍ලේ ස්ටීව්, ජෝර්ජ් දෙන්නා ඒ දේවල් වෙන වෙනම කෑවේ. ඒවා එකට අනලා කන හැටි මමයි ඉගැන්නුවේ. ඒ දෙන්නම සම්බෝලයි බතුයි කන්න හරිම ආසයි.

සසන්තිගේ පුතා සේනිය බූප ලංකාවෙන් ගියේ පුංචිම පුංචි වයසේදී. ඒ නිසා ඔහු ලංකාවට වඩා ගොඩක් සමීප එංගලන්තයටයි. ඒ වුණත් ලංකාව පිළිබඳ සේනිය හිතන දේ විමසන්න අපි අමතක කළේ නැහැ. මේ තමයි ඔහු ලංකාවේ පුවත් පතක් එක්ක කතාබහකට එකතු වන පළමු අවස්ථාව.
ඒ සීතල දේශගුණයට හුරුවෙලා ඉඳලා ලංකාවට ආවම හරිම උණුසුම්. ඒත් වෙනසක් දැනෙනවා. හැබැයි ලංකාවේ අයගේ ආගන්තුක සත්කාර නම් හරිම ඉහළයි.
අවුරුදු දෙකේදී ලංකාව හැරලා ගිය සසන්තිගේ පුතා ලංකාව ගැන දරන්නේ ඒ වගේ අදහසක්. අම්මාගේ රඟපෑම ගැනත් අපි ඔහුගෙන් විමසා සිටියා.
මම අම්මා රඟපෑ චිත්‍රපටයක්වත් ටෙලි නාට්‍යක්වත් බලලා නැහැ. එකම එක මියුසික් වීඩියෝ එකක් බලලා තියෙනවා.
අම්මා ආයෙත් රඟපාන්න ආවොත් මම උපරිම සහය දෙනවා. මම කැමැතියි අම්මා ජනප්‍රිය චරිතයක් වෙනවා දකින්න.
සේනිය බූප දැන් යොමුවෙලා ඉන්නේ ව්‍යාපාර ක්‍ෂේත්‍රයටයි. ඔහු දැනට නිවාස අලෙවියට සම්බන්ධ සමාගමක උපදේශකයෙක් විදිහට රැකියාව කරනවා.
වයස 21 පහු වුණාම ගිණුම් අංශයට යොමුවෙන්න බලා‍පොරොත්තුවෙන් ඉන්න බව තමයි ඔහු අපිත් එක්ක කිව්වේ. වයස 19ක නව යොවුන් වියේ සිටින සේනිය බූප බොහෝම කඩවසම්. ඔහු නළුවකුට උචිත බවක් බැලූ බැල්මට පෙනෙනවා. නළුකමට යොමුවන්න ආසාවක් නැද්ද කියලා අපි ඔහුගෙන් ඇහුවේ ඒ නිසයි.
මම පාසල් නාට්‍යවල පුංචි පුංචි කොටස් රඟපාලා තියෙනවා. ඒත් ඉතින් අම්මා වගේ රඟපෑමෙන් ජනප්‍රිය වෙන්න නම් කැමැති නැහැ.

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!