Gossip

“අම්මා”ගැන ගීතය කියද්දි සන්ග්ලාස් එක ගලවන්නේ ඒ වෙලාවෙදි මිනිස්සුන්ගේ හැඟීම් ඇස් දෙකෙන්ම දකින්න මම ආස නිසයි

පෙරවදනක් ගීතයෙන් වෙනසක් කරලා ලොකු කතාබහක් ඇති කරපු සනුක ගැන සතිඅන්ත පුවත්පතක පලවූ ලිපියකි මේ.

පෙරවදනක් එක්ක මේ දවස්වල සනුකගේ ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ වෙලා නේද?
ඔව් මම හිතපු නැති විදියට ගොඩක් දෙනා මේ ගීතය වැලඳ ගත්තා. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි පෙරවදනක් ගීතයේ සාර්ථකත්වය ගැන.

පෙරවදනක් තුළින් අහන්න ලැබුණෙ නිතර ඇහෙන වචන පෙළක් නෙවෙයි. මේ පද පෙළ ඔබට ලැබුණ හැටි මතක් කළොත්?
මේ වචන උමා අසේනි ගේ. එයාව මට මුණගැහෙන්නේ එක්තරා රූපවාහිනි වැඩසටහනකදි. එයා නිවේදිකාවක්. ඉතින් ඒ වැඩසටහන ඉවර වෙලා එයා මට කිව්වා ගීත කිහිපයක් ලියලා තියෙනවා කියලා. මම ඇයගෙන් ලබා ගත්ත ගීත කිහිපයෙන් මගේ හිත ගත්ත ගීතයක් තමයි පෙරවදනක් කියන්නේ.

වචන වගේම රූප රචනයත් ගීතයටම පෑහිලා තිබුණා නේද?
ඔව්.. ඉල්හාම්, දිමුතු සහ සිතුම් කියන තුන්දෙනා ප්‍රධාන කරගෙන තමයි මේ වැඩේ මේ විදියට සිද්ධ වුණේ. ඔවුන්ව මට මුණගැස්සුවේ ළහිරු පෙරේරා. මම සින්දුව ගිහින් දුන්න ගමන් එයාලා ගොඩක් ආස වුණා මේ වැඩේට. ඉතින් මේකෙ කන්සෙප්ට් එකේ ඉඳන් වීඩියෝ එකේ හැමදේම කළේ ඔවුන්. කොටින්ම රූපරචනයක් විදියට මම මේ වෙනුවෙන් දායක වුණේ පෙනී සිටීමෙන් සහ මුදලින් විතරයි.

අඩ නිරුවත් දර්ශන යොදලා ගීත රූපරචනා කරන එක දැන් රැල්ලක් වෙලා. සනුකගේ අලුත් වැඩේදි ඒ රැල්ල ගෑවිලාවත් නෑ නේද?
මගේ සරාගයේ ගීතය ගත්තොත් ඒ ගීතයේ තියෙන තේරුමත් එක්ක ඒ පද පෙළට අදාළව යන විදියට රූප රචනයක් කරන්න අපිට සිද්ධ වුණා. ඉතින් ගීතයේ අර්ථය අරුත් ගැන්වෙන්න රූප රචනයක් කරනවා කියන එකේ මම වැරැද්දක් දකින්නේ නැහැ. නමුත් මම මෙතන ප්‍රශ්නයක් විදියට දකින්නේ ගීතය ඇතුළෙ වෙනත් තේරුමක් තියෙද්දිත් ඒ ගීතවලට අඩ නිරුවත් දර්ශන දාලා විව්ස් ගන්න උත්සාහ කරන එක. අපිට එහෙම අවශ්‍ය වුණේ නෑ. ඒකයි අපි මේ වැඩේදි ඒ අවශ්‍ය විදියේ වෙනසක් කළේ.

ලේසියෙන් හොඳක් නොකියන තාත්තගෙනුත් පෙරවදනක් ගීතයට හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණ නේද?
ඔව්. සාමාන්‍යයෙන් තාත්තට මං අලුතෙන් කරන දෙයක් අහන්න දුන්නම ඒකෙ වෙනස් විය යුතු දේවල්, හැදෙන්න ඕන දේවල් තමයි මට කියන්නේ. මේ ගීතයෙත් මම මෙලඩි එක හද හද ඉන්නකොට තාත්තා ඇවිල්ලා තමයි අරුත බිඳී ගිය කියන කොටසේ වෙනස්කම් එහෙම මට කරලා දුන්නේ. ගොඩක් වෙලාවට හොඳ කියනවාට වඩා තාත්තා කරන්නේ වැරැදි පෙන්නලා දෙන එක. ඉතින් එහෙම තියෙද්දී මගේ ගීතයක් ගැන තාත්තා හොඳ කියනවා ඇහුණම දැනෙන්නේ ලොකු සතුටක්. විශේෂයෙන් මේ ගීතයේ පද පෙළ, සංගීතය, රූපරචනය කියන හැමදේ ගැනම තාත්තා ඉන්නේ සතුටින්.

ප්‍රසංග වේදිකාවේදි බොහෝ වෙලාවට සන්ග්ලාස් එකක් භාවිත කරන සනුක, අම්මා ගැන ගීතය ගායනා කරද්දී විතරක් ඒක අයින් කරන්න විශේෂ හේතුවක් තියෙනවද?
ඔව්. ‘අම්මා’ ගීතය කියද්දි නම් මම කොහොමත් සන්ග්ලාස් භාවිත කරන්නේ නෑ. මොකද මට ආසයි මම ඒ ගීතය ගායනා කරද්දි අහන් ඉන්න මිනිසුන්ගේ මුහුණුවල හැඟීම් මොන වගේද කියලා ඇස් දෙකෙන්ම දැක ගන්න.

සනුක රූකාන්ත පවුලේ හැම ප්‍රසංගයකටම වාගේ දායක වෙනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවද?
ඇත්තටම තාත්තත් එක්ක තියෙන හැඳුනුම්කම මත තමයි මම විශේෂයෙන්ම ඒ ප්‍රසංග වෙනුවෙන් සහභාගි වෙන්නේ. ඉතින් ඒ හැඳුනුම්කමත් එක්ක රූකාන්ත පවුලෙනුත් මට ආරාධනාවක් ලැබුණා රූ සඳ රෑ ප්‍රසංගයේ වින්ඩිත් එක්ක ගී ගයන්න එන්න කියලා. ඉතින් මේ වෙද්දි වින්ඩි වගේම රයිනි අක්ක එක්කත් මම ගීත ගායනා කරනවා. ඊට අමතරව මගේ ගීතත් ගායනා කරනවා.

ඩුවට් එකක් කරන්න උමාරියා හරි වින්ඩි හරි දෙන්නගෙන් කෙනෙක් තෝර ගන්න කිව්වොත් සනුක කාවද තෝරගන්නේ?
ම්…. මට එහෙම එක්කෙනෙක් කියන්න බෑ. මම දෙන්නවම තෝර ගන්නවා.

සනුකගෙන් ඉස්සරහට එන්න තියෙන නිර්මාණ ගැන කිව්වොත්?
අලුතින් මම ගීත කිහිපයකම පොඩි පොඩි වැඩ ටිකක් කරලා තියෙනවා. ඉතින් කවදද එළියට දාන්නේ කියලා තාම අදහසක් නෑ. මට නිර්මාණ එකතුවක් එළියට දාන්නත් ආසාවක් තියෙනවා. ඉතින් එහෙම ගී එකතුවකුත් ඉස්සරහට නිකුත් කරන්න වැඩ කටයුතු කරමින් යනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!