Gossip

අතුලයි මමයි දන්නවා මොකක්ද වුණේ කියලා- මම ගිය කට්ටිය කොහෙත්ම යළිත් භාරගන්නේ නෑ- සමිතා මුදුන්කොටුව

‘‘ඔබ, මම ගරුකරන කෙනෙක්. ඒ නිසාමයි මෙහෙම හරි කාතා කරන්න කැමති වුණේ. නැත්නම් මම කිසිම කෙනෙක්ට දැන් ආදරය, විවාහය ගැන කතා කරන්නේ නෑ.

දැන් මම පාඩුවේ ළමයි එක්ක පැත්තකට වෙලා ඉන්නේ. ඒ හින්දා සමහර කරුණුවලට මට උත්තර දෙන්න බැරි වෙයි.සමාවෙන්න’’ යැයි ඇය මුලින්ම පැවසුවේ, අද සියලු දෙයින්ම හොඳටම පරිණත වී ඇති නිසාය. ඇයට ගරු කරමින් මේ පරිච්ඡේදය ලිවීමට මම සිතා ගත්තෙමි.

සමිතා, ඔයා ආදරය, ප්‍රේමය හඳුනාගෙන තිබෙන්නේ කොයි ආකාරයට ද කියලා මුලින්ම පැවසුවොත්?
ආදරය, ප්‍රේමය ඉතාම සුන්දර දෙයක් විදිහට තමයි මම හඳුනාගෙන තිබෙන්නේ. එය ලස්සන දෙයක්.

ආදරයක් ඔබට මුලින්ම ඇති වුණේ කොයි කාලයේ ද?
සාමාන්‍යයෙන් ආදරයක් ඇති වන ආකාරය විවිධයි. පොඩි කාලයේ මව්පියන්ට. ඊට පස්සේ ආදරය කරන විරුද්ධ ලිංගිකයාට. පසුව දරුවන්ට. පස්සේ යාළුවන්ට. ඊටත් පස්සේ සතුන්ට පවා අපට ආදරය කරන්න පුළුවන්. ආදරය විවිධාකාරයි. එය විවිධ විදිහට විඳින්න පුළුවන් දෙයක්.

පාසල් යන කාලයේ ද ඔබ මුලින්ම ප්‍රේම සබඳතාවක් ඇති කර ගත්තේ?
ඒ කාලයේ අපේ අම්මා හරිම සැර කෙනෙක්. එහෙම මට පාසල් යන කාලයේ ආදරය කරන්න සිතුණත්, අම්මාගේ දැඩි පරිස්සම හින්දා එහෙම කරන්න වෙලාවක් තිබුණේ නෑ. මොකද අම්මාට තිබු බය හින්දා. අනෙක අම්මා හරියට මගේ ළඟින්ම හිටියා. ඊට පස්සේ මට මුලින්ම ආදරයක් ඇති වුණේ කොයි කාලයේ ද කියලා මතකයක් නෑ.

ඒ කියන්නේ පාසල් කාලය ඉවර වුණාට පස්සේ වෙන්නැති. ඔබට ප්‍රේම සිතිවිල්ලක් ඇතිවෙන්න ඇත්තේ. එහෙම නේද?
ඔව්. මම හිතන්නේ පාසල් කාලය ඉවර වුණාට පස්සේ තමයි ඒ සිතුවිල්ල ආවේ. ඒ කියන්නේ අ.පො.ස. (උ.පෙළ.) ඉවර කළාට පස්සේ.

ඒ ආදරයේ මිහිර මතකය තිබුණා ද?
අ​පෝ නෑ.

ඔයා හිතුවද ආදරය විවාහයකින්ම කෙළවර විය යුතුයි කියා.
සාමාන්‍යයෙන් අපි විවාහ වෙන්න කලින් විවාහයක් ගැන සිතනකොට විවාහය සදාකාලිකයි කියලා සිතනවා. ආදරයක් කළා නම්, ඒක විවාහයෙන් කෙළවර වෙන්න ඕනේ කියලා අපි සිතුවා. එහෙම හිතලා තමයි අපි විවාහ වෙන්නේ.ඒ කාලයත් මට එහෙම සිතුණා. ඉස්සර අපි ගොඩාක් දේවල් බැරෑරුම් විදිහට හිතන්නේ නෑ. මාත් මුලින්ම ආදරය කරනකොට සිතුවා මේක විවාහයකින් කෙළවර වෙන්න ඕනේ කියලා. ඒක තමයි හරි දේ කියලා. එහෙම හිතලා තමයි අපි ආදරය පටන් ගත්තේ.

අතුල අධිකාරි නමැති සංගීතඥයා, ගායකයා ඔබට හමුවෙන්නේ කොයි කාලයේ ද?
අතුල හම්බවෙන්නේ මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළු වෙලා අවුරුද්දක් ගියාට පස්සේ.

අතුල සමග ආදරයක් ඇති වුණේ ඇයි? ඔහුගෙන් ඔයා විශේෂත්වයක් දැක්කා ද?
ඔව්. විශේෂත්වය කියන්නේ ඔහු කෙළින්ම මට ආදරය කරන්න පටන් ගත්තට පස්සේ අපේ ගෙදරට ඇවිත් මා ගැන ඇසුවා. ඔහුව කලින් මම දන්නවා. ‘‘සන්ෆ්ලවර්’’ සංගීත කණ්ඩායමේ වාදනය කරන කාලයේ ඉදන්ම. ඉතිං මගෙත් ඔහු ගැන ආදරයක් තිබුණා. ඒ හින්දා තමයි අතුලත් එක්ක ආදරය කතාව පටන් ගත්තේ.

එතකොට අතුල එක්ක විවාහ වෙන්න ඔබ තීරණය කළේ ඇයි?
අපේ ප්‍රේම සම්බන්ධතාවය මාස 8ක් ගියාට පස්සේ විවාහ වෙන්න තිරණය කළා. එතකොට ගෙවල්වලින් කැමැත්ත ලැබිලයි තිබුණේ.

ඔයා බලාපොරොත්තු වූ ආදරය, රැකවරණය අතුල තුළ තිබුණා කියා සිතුණා ද?
ඔව්. එහෙම තමයි. විවාහ වුණාට පස්සේ මුල් කාලයේදී අපි එහෙම තමයි හිතාගෙන ඉන්නේ. ඒ දේවල් සිතාගෙන නේද අපි විවාහයක් කරගන්නෙත්.

ඔය දෙන්නාගේ විවාහය බිඳිලා ගියේ ඇයි? ඔයාගේ වරදක් හින්දද? නැත්නම් අතුලගේ වරදක් හින්ද ද?
මම කාටවත් ඒ ගැන විග්‍රහ කරන්න යන්නේ නෑ. අතුලයි මමයි ඒ දේ දන්නවා මොකක්ද වුණේ කියලා. මම ලෝකයාට ඒ ගැන කියන්න කැමැති නෑ. මොකද ලෝකයා මම ගැන නොදැන ගොඩාක් දේවල් කතා කරනවා. ඉතිං මම ලෝකයාට කතා කරන්න ඉඩදීලා මම මගේ පාඩුවේ ඉන්නවා.මම සාමාන්‍යයෙන් එහෙම කෙනෙක්. අතුලගෙයි මගෙයි ප්‍රශ්න අපි දෙන්නා විතරක් දැනගත්තාම ඇති නේද? එතනින් එහාට මම ඒවා මාධ්‍යයට කියන්නේ නෑ. මාධ්‍යය මට ගොඩාක් වටිනවා. මම කැමති නෑ මාධ්‍යයත් එක්ක ගැටෙන්න.

ඔය දෙන්නගේ විවාහය දික්කසාද නොවී රඳවා තබාගන්න උත්සාහ කළේ නැද්ද?
නොගැළපීම් වැඩිනම්, තවදුරටත් ඉදීමෙන් පලක් නැහැ. එතන දී දික්කසාද වීම හොඳයි කියලයි හිතන්නේ. නොගැලපීම් නැතිවුණා නම් මම තවමත් අතුල එක්කයි ඉන්නේ.

අතුල නැවතත් විවාහයක් කරගත්තාම ඔයාට මොකද හිතුණේ?
මට මොකුත් සිතුණේ නෑ. මොකද එයා මගේ නොවෙයිනේ.

ඔබ ඒ පවුලත් එක්කත් ඉතා හොඳින් සබඳතා තබාගත්ත කෙනෙක්. එය ලෙහෙසියෙන් කාන්තාවකට කළ හැකි දෙයක් නොවෙයි. එහෙම නේද?
ඔව්. ඒ සාමාන්‍යයෙන් මගේ හැටි. මම මගේ හතුරාත් එක්කත් හොඳින් ඉන්න කෙනෙක්. මට හතුරුකම් කරන කට්ටියක් එක්කත් සුහදව ඉන්නවා. මූණටම ඇවිල්ලා බණින කට්ටිය එක්කත් හොඳින් ඉන්නවා. ඒක මගේ හැටි. මම බුදු දහම අදහන කෙනෙක්. වෛරය කියන දේ මගේ සිතේ නෑ. ඒ හින්දා කාටවත් මම ​වෛර කරන්නේ නෑ.

ඔහොම දික්කසාද වුණාට පස්සේ ඔයාට විවාහ යෝජනා හරියට එන්න ඇති නේද?
මම ඒ ගැන දන්නේ නෑ. විවාහ යෝජනා අහන ඒවා මට ඇහෙන්නේ නැති විදිහට හිටියේ. ඒක මාර වැඩක්. සමහර විට ඒක වෙන්න බෑ කියලා කාටහරි කියන්න පුළුවන්. නමුත් ඒක එහෙම වෙන්න පුළුවන්. එහෙම විවාහ යෝජනා එන්න ඇත්තේ මගේ මොකක්හරි හොඳක් ඇති හින්දා වෙන්නැති.මම ‘‘ඉර පායා’’ ගීතය ගැයූ දවසේ ඉඳලා දැනට ඉන්න ප්‍රේක්ෂකයෝ දිහා බලනකොට මට ඒ අයගේ තිබෙන ආදරය හොඳටම ඇති. ඉතිං මට මෙයා කැමති ද? මෙයා බඳින්න ඕනේ කියලා දෙයක් මගේ ඔලුවේ දැන් නෑ.

දැන් ඉතිං දුවත්, පුතත් එක්ක ඔයා දිගටම තනියෙන් ඉන්නද කල්පනා කරන්නේ? නැවත විවාහයක් කරගන්න කැමැත්තක් නැද්ද?
මට ගෙදරක් තිබෙනවා. දුව, පුතා ඉන්නවා. අම්මා, තාත්තා ඉන්නවා. ඉතිං මට ඒ ඇති. මට කවුරුහරි හොඳ කෙනෙක් හම්බවුණොත් ඒ ගැන හිතලා සතුටින් ඉන්නවා. විවාහයක් කරගන්නවාද නැද්ද? කියන එක මම දන්නේ නෑ.

අතුල නැවතත් ඔබ සොයාගෙන ආවොත්, ඔහු නැවතත් භාරගන්නවා ද?
මම ගිය කට්ටිය කොහෙත්ම යළිත් භාරගන්නේ නෑ. ඒක ස්ථිරයි.

පසුගිය වකවානුවල ඔබ එවකට රජයේ ඇමැතිවරයකු එක්ක සබඳතාවක් තිබෙනවා කියලා ආරංචි පැතිර ගියා. මේ කතාවේ ඇත්ත මොකක්ද?
ඒක ආරංචියක් වෙන්නැති. මාත් දන්නේ නෑ ඒ ගැන. ඔය ප්‍රචාරය මගේ ඇඟේ වදින්නේ නැහැනේ. මට ඇවිත් කවුරුත් කිව්වත්, ආරංචි ආවත් මට වදින්නේ නෑ. මට ඇහෙන්නෙත් නෑ. මට අදාළත් නෑ. මට ඕවා මගේ කන ඇතුළට ගන්නෙත් නෑ.

විවාහ ජීවිතය ගැන ඔබට ආපසු හැරී බලද්දි ඔයාට ​මොකද හිතෙන්නේ?
මොනවත්වත් සිතෙන්නේ නෑ. ඒක තමයි ප්‍රශ්නය. මට සිතුණොත් ඒ ගැන මාධ්‍යයට කියන්නෙත් නෑ. විවාහයක් වෙන්න ඕනේ නම් හරි. මම කාට හරි ආදරය කරනවා නම් හරි, ඒක මම විතරක් දැනගත්තාම ඇති නේද?

ඔයාට ආදරය, විවාහය හා පෞද්ගලික ජීවිතය ගැන පසුගිය කාලයේ විවිධ ​චෝදනා එල්ල වුණා නේද? ඒවා ගැන මොකද සිතන්නේ?
සාමාන්‍යයෙන් කටකතාවක් හැදෙන්න එක්කෝ අපේ ගෙදර ජීවත් වෙන්න ඕනේ කවුරු හරි.එක්කෝ මාත් එක්ක උදේ ඉඳන් රෑ වෙනතුරු දුරකතනයෙන් හරි කතා කරලා මා ගැන දැන ගන්න ඕනේ. නැත්නම් උදේ හවස මාව දකින්න ඕනේ.හමුවෙන්න ඕනේ. කතා කරන්න ඕනේ. ඉතිං මම දන්නේ නෑ, කවුද මාව උදේ හමුවෙන්නේ, කවුද මට උදේ ඉඳන් රෑ වන තුරු කතා කරන්නේ, කතා කරන අය මාව දැකලා තියෙනවාද, කිසිම කෙනකු සමග තරහා නෑ කියලයි. ඒ අයට ඇත්තටම ජොබ් එකක් තිබෙන්න ඕනේ.

මට උදේ ඉඳන් ගත්තාම නැගිට්ට වෙලාවේ ඉඳන් ගෙදර වැඩ තියෙනවා. ඊට පස්සේ මට මියුසික් වැඩ ටික තිබෙනවා. ළමයින්ගේ වැඩ ටික තිබෙනවා. නැත්නම් වයසක අම්මලා තාත්තලාට උපකාර කරන සමාජ සත්කාර වැඩ මට තිබෙනවා. එතකොට මට දවසේ කාලයත් මදි.ඉතිං මම, මට කට කතා හදන අය එක්ක ඇත්තටම ආදරෙයි. මොකද ඒ අයටත් රස්සාවක් කියලා දෙයක් තිබෙන්න ඕනේ. ඒ අයට කට කතා හදන ජොබ් එක නැත්නම්, ඒ අයට යන එන මං නැහැනේ. ඉතිං මම ඒ අය ඉහළ තැනක කියලා කතා කරන්නේ. කටකතා හැදෙන තරමට මා ගැන හැම තිස්සෙම කතා කරනවා. ඒ අයට ඒවා කරන්න දීලා මගේ වැඩ ටික ලස්සනට කරගෙන ඉදිරියට යනවා.

කමල් අද්දරආරච්චි රංගන ශිල්පියා වරක් මා සමග පැවසුවා, ‘‘ඉර පායා’’ කරන කාලයේ දී සමිතා පිළිබඳ හැඟීමක් ඇති වුණා කියලා. ඇත්තටම ඒ කාලයේ ආදරයක් ඇති වුණා ද?
කමල්ට ඇතිවෙලා හින්දනේ ඔහු ඒ ගැන කියා තිබුණේ. කමල් කියන කෙනා කොයිම වෙලාවකවත් තරහෙන් කතා කරලා තිබුණේ නෑ. මම ඒ ලිපිය කියෙව්වා. ඔහු, සංගීතා, දිල්හානි කියන චරිත තුන ගැන කොයි වෙලාවකවත් තරහ විදිහට නොවෙයි කතා කරලා තිබුණේ. එයාට හැඟීමක් ඇති වුණා. ඕනෑම කෙනෙකුට හැඟීම් ඇතිවෙන්න පුළුවන්. ඒක වැරැද්දක් නැහැනේ.

එහෙම හැඟීම් ඇති වෙලා ඔයා ගැන ඇසූ අය ඉන්න ඇති නේද?
මම දන්නෙ නෑ. හැබැයි මෙහෙමයි. කවුරුහරි මගෙන් එහෙම ඇහුවා නම්, ඒ ගැන මාධ්‍යයට කියන්නෙත් නෑ. මට කවුරුහරි එක්ක හැඟීමක් ඇති වුණා නම්, ඒක ඇයි මම කියන්න යන්නේ. අවශ්‍ය නැහැ නේද?

මාධ්‍යයෙන් පළවූ වැරැදි තොරතුරු නිසාත්, වෙබ් අඩවිවලින් වන මඩ ගැසීම් නිසාත්. ආදරය, විවාහය යන මාතෘකා ගැන කතා කිරීමට ඈ කැමැත්තක් දක්වන්නේ නැත. ඒ ඇය තමන්ගේ පාඩුවේ පැත්තකට වී තම කටයුතු කර ගැනීමට අවශ්‍ය නිදහස අගයන බැවිනි.

සමිතා අද තමන්ගේ මවුපියන් ද, දරු දෙදෙනා ද, රැක බලා ගනිමින් සංගීත දිවිය ද පවත්වාගෙන යන පරිණත කාන්තාවක් යැයි මට සිතුණේ, ඇය ඒ වෙනුවෙන් කරන උනන්දුව හා කැපවීම නිසාමය.

උපුටා ගැනීමකි – සටහන සමන්ත යම්පත්

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!