Gossip

අළු දූවිලි වුණු සාලාව කඳවුරේ සැඟවුණු රහස්

cvr

මේ යාපනය අර්ධද්වීපය අත්පත් කරගැනීමේ කොටින්ගේ දැවැන්ත වෑයමයි. මාවිල් ආරුව වසා දමා හමුදාවේ අවධානය නැගෙනහිරට යොමුකර උතුරෙන් සෙබළුන් රැගෙන එන ජෙට් ලයිනර්  නෞකාවත් ත්‍රිකුණාමල වරාය පිවිසුමේදී ගිල්වා දමන්නට කොටින්ගේ සැලසුමය.

නිරායුධ සෙබළුන් 854 ක් සමග ජෙට් ලයිනර් නැව ත්‍රිකුණාමල වරාය පිවිසුමේ ගිල්වා දමා යාපනයට මුහුදු සැපයුම් නවත්වා සංග්‍රාමයකට යාම කොටි නායක ප්‍රභාකරන්ගේ අභිප්‍රායය. එම සැලසුමට අනුව නැව ගිල්වා දැමීමට උත්සාහ කළත් සාර්ථක මෙහෙයුමකින් නැව බේරා ගන්නට නාවික හමුදා විරුවන් සමත්වන්නාහ.

එසේ වුවද යාපනය අල්ලන මෙහෙයුම අත්නොහැර 2006 අගෝස්තු 11දා මුහමා‍ලේ මාර්ග බාධකය වසා දමන්නට ඔන්න මෙන්න තිබියදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමග බස් රථයකින් මුහමා‍ලේට කඩාවැදී දැවැන්ත ප්‍රහාරයක් දියත් කරන්නට කොටි නායක ප්‍රභාකරන් නායකත්වය දෙන්නේය.

යම් හෙයකින් යාපනය අල්ලන්නට කොටි දැඩි ප්‍රහාරයක් එල්ල කළහොත් හදිසි තත්ත්වයකදී ක්‍රියාවට නැංවීමට තිබූ මල්වැස්ස යන සංකේත නාමයෙන් හැඳින්වූ කාලතුවක්කු ප්‍රහාර මාලාව දියත් කිරීමට සියල්ල සූදානම් කර තිබිණි. එකවර කාලතුවක්කු අවි සිය ගණනකින් උතුරේ හඳුනාගත් කොටි ඉලක්ක හා මර්මස්ථානවලට පහරදීමට මල්වැස්ස සැලසුම සූදානම්කර තිබිණි.

ඒ අනුව යාපනේ දරුණු ගැටුම් උත්සන්න වෙද්දී යුද හමුදාපති ධුරය දැරූ එවකට ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා ඉදිරි ක්‍රියාන්විතයට උපදෙස් දුන්නේය. හමුදා මූලස්ථානයේ ඒ මොහොත වන විට හමුදාපතිවරයා හමුවීමට ගොස් සිටි එවකට බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වා ඉදිරිපත් වී “සර් දැන් මල්වැස්ස පාස්වර්ඩ් එක දෙන්න වෙලාව හරි”යැයි හමුදාපතිවරයාට ඒ මොහොතේ මතක් කර දුන්නේය.

එසැණින් මල්වැස්ස ක්‍රියාත්මක කරන්නැයි හමුදාපතිවරයා දුන් නියෝගයත් සමග යාපනය අල්ලන්නට ආ කොටින්ට හිස ඔසවන්නට බැරිවෙන්නට රැයක් පුරා කාලතුවක්කු හා මල්ටිබැරල් එකදිගට ඔළුගෙඩි මත පතිත වූයෙන් යාපනය අල්ලන මෙහෙයුම කණපිට හැරුණේය. යාපනය අල්ලන්නට ආ කොටි ත්‍රස්තයන් ආපසු හැරවූ මල්වැස්සත් පාබල සෙබළුන්ගේ රණකාමීත්වයත් නිසා එදා යාපනය අර්ධද්වීපයම රැකගන්නට හැකිවිය.

හරියටම ඊට වසර දහයකට පසුව මල්වැස්ස පරයමින් කාලතුවක්කු, මල්ටිබැරල්, ආර්.පී.ජී. රොකට් ඇතුළු වෙඩි වරුසාවක් පැය විසිහතරක පමණ කාලයක් පුරාවට අඛණ්ඩව ඇද හැලෙන අයුරු දක්නට ලැබුණේ කොස්ගමදීය.

කොස්ගම සාලාවේ යුද හමුදාව සතු විශාලතම අවි ගබඩා සංකීර්ණයක් පුපුරා යන්නේ පසුගිය ඉරිදා (05) සවස 5.45 සිටය. ප්‍රධාන අවි ගබඩාව තුළින් ගින්න හටගනිද්දී කඳවුරු සංකීර්ණයේ සෙබළුන් හාරසිය පනහක් පමණ එම භූමියේ සිටි බව ස්වේච්ඡා බළසේනා ආඥාපති මේජර් ජනරාල් චන්න ගුණතිලකට අනුව පැවසෙන්නේය.

කඳවුරු භූමියේ පිටත ආරක්ෂාවට යොදවා තිබුණේ 10 වන ජාතික ආරක්ෂක බළමුළුවට අයත් භට පිරිස්ය. අවි ගබඩා සංකීර්ණයත්, භටකාර්ය සම්පාදක අණසක මූලස්ථානයත්, ස්වේච්ඡා බළසේනාවත්, විදුලි හා යාන්ත්‍රික වැඩබිමත් පිහිටියේ කොස්ගම සාලාවේ වූ තුනී ලෑලි සංස්ථාවට අයත් පැරණි ගොඩනැගිලි තුළය.

1993 දී ලුතිනන් ජෙනරාල් ශ්‍රීලාල් වීරසූරිය මහතා හමුදාපතිව සිටි කල පටන් ඊළාම් යුද්ධය සඳහා තොග පිටින් රැගෙන ආ අවි ආයුධ තාවකාලිකව ගබඩා කර තිබුණේ කොස්ගම සාලාව කඳවුරේය. එහිවූ තුනීලෑලි සංස්ථාවට අයත් පැරණි ගොඩනැගිලි තුළ උණ්ඩ ගබඩා කිරීම අනාරක්ෂිත බව එවකට සිටි හමුදා ප්‍රධානීන් විසින්ද අනතුරු හඟවා තිබිණි.

සිවිල් ජනතාව වෙසෙන ප්‍රදේශයක අවිආයුධ ගබඩා කිරීම අනාරක්ෂිත බවට අනතුරු හැඟවුවත් එදා පටන් වසර ගණනක් දක්වා ඒගැන වැඩි අවධානයක් යොමුව තිබුණේ ද නැත. මුල් කාලයේ ගම්වාසීන් විසින් මීට විරෝධය දක්වා තිබුණේ ජීවිත අවදානම නිසාය.

සිව්වැනි ඊළාම් යුද්ධය ඇරඹීමත් කන්ටේනර් පිටින් කොළඹ වරායට ආ උණ්ඩ හා අවි ආයුධ සියල්ල ගබඩා කළේද මෙම ගබඩාවේය. යුද්ධය අවසන් වීමෙන් පසුව මෙහි වූ උණ්ඩ ටොන් විසිපන්දහසෙන් හතරෙන් තුනක්ම වේයන්ගොඩ පිහිටි ප්‍රධාන අවි සහ පතොරම් ගබඩා මූලස්ථානය වෙත යවන්නේ හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේවා සුරක්ෂිත ස්ථානවල ගබඩා කරන්නැයි දුන් නියෝගවලට අනුවය. වේයන්ගොඩ වේටෙක්ස් කම්හ‍ලේ තාවකාලිකව තබා ඒවා නිසි පරිදි පතුරම් ගබඩාවලට යැවීමට එවකට උපදෙස් දී තිබිණි.

සාලාව අවි ගබඩාවේ ඇතුළත ආරක්ෂාව හා ගබඩාවේ වගකීමද ඇත්තේ යුද්ධෝපකරණ බළකාය වෙතය. එහි සේනාධිනායක වශයෙන් කටයුතු කරන්නේ මේජර් ජෙනරාල් රේනක උඩවත්තය.

යුද අවි ගබඩාවල අභ්‍යන්තර ආරක්ෂාව මේජර් ජනරාල් රේනක උඩවත්ත යටතේ අධික්ෂණය කරන්නේ මධ්‍යම අවි සහ පතුරොම් ගබඩාවේ මධ්‍යස්ථාන සේනා විධායක කර්නල් මංජුල විජේසිංහ යටතේය. ඔහු යටතේ අධීක්ෂණය වන යුධෝපකරණ බළකායේ භට කණ්ඩායම් හා නිලධාරීන් අනුයුක්ත කර ඇත්තේ කොස්ගම සාලාවේ ඇති භටකාර්ය සම්පාදන අණසක මූලස්ථාන ප්‍රධානී මේජර් ජෙනරාල් කෙනත් එඩීමා වෙතය.

මේජර් ජෙනරාල් එඩීමා වෙත සෙබළුන් අනුයුක්ත කළ ද අභ්‍යන්තර ආරක්ෂාව භාරව සිටින යුද්ධෝපකරණ බළකායට හැර වෙනත් රෙජිමෙන්තුවලට අවි ගබඩාව ඇති පෙදෙසට ඇතුළුවීම තහනම් විය.

මෙම කඳවුරු සංකීර්ණයේම අනෙක් කොටසේ ඇති ස්වෙච්ඡා බළසේනාව භාර ආඥාපති ලෙස සිටින්නේ මේජර් ජනරාල් චන්න ගුණතිලකය. මෙම සියලු දේවලට ආරක්ෂාව ඇත්තේ අධ්‍යක්ෂ ජෙනරාල් මාණ්ඩලික ප්‍රධානියාටය. මේජර් ජෙනරාල්වරුන් දෙදෙනකු රැඳී සිටින හා තවත් මේජර්වරුන් දෙදෙනකුගේ අධීක්ෂණය යටතේ ඇති කොස්ගම සාලාව කඳවුරු සංකීර්ණය තුළ වූ ආයුධ ගබඩාව හදිසියේම පුපුරා යන්නේ අබිරහස් අන්දමිනි.

ගින්න හටගන්නට සුළු මොහොතකට පෙරත් කඳවුරේ ආරක්ෂක කටයුතු නිරීක්ෂණය කිරීමේ මුරය භාර සැරයන්වරයා අවි ගබඩාව නිරීක්ෂණය කර පැමිණ තිබුණි. ආයුධ ගබඩාවේ ආරක්ෂාවට යොදවා සිටි ලුතිනන්වරයාද ඒවනවිටත් කඳවුරේ සිටියේය.

එදින සවස 5.45ට පමණ එක්වරම ඇතිවූ ගින්න හා කළු දුමත් සමග කඳවුර තුළ හදිසි තත්ත්වයක් ඇතිවූයෙන් ගින්න නිවන්නට යුද්ධෝපකරණ බළකා සෙබළුන් උත්සුක වෙති. කෙසේ වුවද ගින්න නිවාලීම අසීරු වන බව ඔවුනට දැනුනෙන් මීළඟට ක්‍රියාත්මක කළයුතු සැලසුම අනුව තිබුණේ සියලු දෙනා එකතැනකට රැස්කිරීම පමණි.
මසකට වරක් ගිනි නිවීමේ හමුදාව හා භටපිරිස් එක්රැස් කර හදිසි ගින්නකදී කටයුතු කළයුතු ආකාරය ගැන පෙර පුහුණුවීම් පවත්වා හදිසි තත්ත්වයකදී ක්‍රියාත්මක කළ යුතු සැලසුම් භට කාර්ය සම්පාදක අණසක මූලස්ථානය මගින් ක්‍රියාත්මක කර තිබිණි.

පතරොම් ගිනිගනිමින් ඇතිවූ ගින්න ප්‍රධාන අවි ගබඩාව දක්වා පැතිරෙන්නට වූයෙන් වතුර ගසා ගිනි නිවන උපකරණ යොදාගෙන ගින්න පාලනය කරගත නොහැකි බව දැනගත් වහාම සියලු දෙනා එකතැනකට රැස්කර කඳවුරෙන් ඉවත් කිරීමට සැලසුම් කෙරිණි. එසැණින් වහාම කඳවුරින් ඉවත්වීමට හදිසි අනතුරු හැඟවීම් ලබාදුන්නේය.
මේ අතරේ අවි ගබඩාවේ ගින්නක් අතිවී තිබෙන බවට කඳවුර ඉදිරිපිට ‍පොත් වෙළඳසැ‍ලේ සිටි තරුණියට කඳවුරෙන් ඇමතුමක් දී කියා තිබුණේ අවි ගබඩාවේ ගින්නක් නිසා ගමේ අයට ඉවත්වන්න කියන්නට කියාය.

එසැණින් එම කාන්තාව සියලු දේ අතහැර පවු‍ලේ අය සමගින් අවට නිවෙස් හා වෙළෙඳසැල්වල අය දැනුවත් කර ඒ අවටින් එක හැල්මේ දුවන්නට වූවාය.
මේ වනවිටත් කඳවුරේ ගිනිදැල් ඉහළට නැගෙද්දී රණවිරු ගම්මානයේ ආබාධිත සෙබළුන් ද තමන්ට ඇති අත්දැකීම් නිසාම දූදරුවන්ද රැගෙන ත්‍රිරෝද රථ ඇතුළු වාහනවලින් පලායන්නට පටන් ගත්හ.

කඳවුරේ නිලධාරීන් තම වාහනවල හැකි පමණින් නැගගෙන ඉවත්ව ගිය අතර සෙබළුන්ද හනික ඉවත්ව යන්නට වූහ. ස්වේච්ඡා බළසේනාවේ කාන්තා සෙබළියෝ ද පුළුවන් තරම් දුර දිවගොස් දිවි බේරාගන්නට උත්සාහ ගත්හ.

මේ වනවිටත් කොස්ගම, ශාලාව කළු අග්ගල පහළ කොස්ගම ප්‍රදේශවල ගම්වාසීහු ද කඳවුරේ අවි ගබඩාවේ ගිනිදැල් ඉහළ නැග එන්නට වූයෙන් හිස හැරුණු අතේ පුළුවන් තරම් ඈතකට දුවන්නට වෙරදැරූහ.

“යුද්දෙ තිබෙන කා‍ලේ කඳවුරේ ගින්නක් ආවොත් කිලෝ මීටර් හයක් දුරට දුවන්න කියලා හමුදා නිලධාරීන් ගම්වාසීන්ව දැනුවත් කරලා තිබුණ එක මතකේ තිබුණ නිසා අපි අවිස්සාවේල්ලට එනකන් දිව්වා යැයි පහළ කොස්ගම පදිංචි රංජිත් විජේගුණවර්ධන මහතා සිය අත්දැකීම් මතකයට නගමින් කීවේය.

කොස්ගම සාලාව රෝහ‍ලේ වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩලයද නේවාසික ප්‍රතිකාර ගනිමින් සිටි රෝගීන් පවා වහාම ඉවත්කර රෝගීන්ද සමගින් ඉවත්ව පලා යන්නට වූහ.

ගම්වාසීන් ඇතුළු සියලු දෙනා එක පිම්මේ පලායද්දී කඳවුරේ අවි ගබඩාවේ වූ කාලතුවක්කු, මල්ටිබැරල් හා ආර්.පී.ජී. උණ්ඩ ගිනිපුපුරු මැද පුපුරා යමින් මල්වැස්ස අභිබවමින් හතර වටේට පතිත වන්නට විය. නිවාස, වෙළෙඳසල් සමග හමුදා සංකීර්ණයද ගිනි ජාලාවලින් වෙළී විනාශ වන්නට ගියේ සුළු මොහොතකි. එතැන් පටන් දිගින් දිගටමට ගබඩාවේ වූ පතරොම් පෙට්ටි පුපුරා ප්‍රදේශයම විශාලා මහනුවරක් වූයේ ගමක් වනසමිනි. ඇතැම් උණ්ඩ කිලෝමීටර් ගණනක් පවා දුරට විහිදී ගියේය.

සිද්ධිය සැලවූ වහාම යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සිද්ධිය වූ කඳවුර ආසන්නයට ගොස් බටහිර ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ඇතුළු නිලධාරීන් සමග තත්ත්වය පාලනය කිරීමට උත්සාහ ගත්තේය.

ගිනි නිවන භට කණ්ඩායම්වලට පවා ළඟාවීමට අපහසු වී ප්‍රධාන මාර්ගය වසා දමා සෙබළු කණ්ඩායම් යොදවා නිවෙස්වල රැඳී සිටින අය ඇත්නම් ඉවත් කරන්නටද හමුදාපතිවරයා උපදෙස් දී තිබුණේය. ඒවනවිටත් ඇඳන් මත රෝගීව සිටි ලෙඩුන් කිහිපදෙනකු හැර කිලෝමීටර් හයේ සීමාවේ සිටි සියලු දෙනා ආරක්ෂිත ස්ථාන බලා පිටව ගොස් තිබුණේය.

කොස්ගම සාලාව රෝහල පාරේ පදිංචි වසන්ත හේමසිරි මහතාගේ නිවසේ ආබාධිත තත්ත්වයෙන් සිටි මව රෝද පුටුවේ තබාගෙන කිලෝමීටර් හයක් දුරට ගෙන යන්නට වසන්තගේ සොහොයුරිය ධෛර්යවන්තියක් වූවාය. ඔවුන් නිවසින් පිටවී කිලෝමීටර් ගණනක් යද්දී නිවසේ ඇඳන් හා සියලු කාමර සුනුවිසුනු කරමින් මල්ටි බැරල් හා කාලතුවක්කු උණ්ඩ ගේ පුරාම පතිත විය.

මේ අයුරින් මහා විනාශයක් ගෙනදුන් කොස්ගම සාලාව කඳවුරේ පිපිරුම් හඩින් පළාතම ගිගුම් දෙද්දී නිවාස අතැර ගිය ගම්වාසීන්ගේ නිවෙස්වල අරක්ෂාවේ වගකීම යුද හමුදාව භාරගත්තේ එම ප්‍රදේශ තහනම් කලාප බවට පත්කරමිනි.

පසුදින ගම්වාසීන් නිවෙස්වලට එද්දී විශාලා මහනුවර මෙන් තම නිවාස විනාශ වී ඇති අයුරු දැක සුසුම් හෙළන්නට වූයේ තම ජීවිත කාලයම දුක් මහන්සියෙන් උපයාගත් සියල්ලම ‍පොළොවට සමතලා වී තිබූ නිසාය.

ඇඳිවත පමණක් ඉතිරි ඔවුන් තවත් අසරණ වූයේ පසුදින වනවිට හතරවටින් සිද්ධිය බලන්නට එන පිරිස් අතරේ ආ සංවිධානාත්මක කල්ලි නිවෙස්වල තිබූ රන්ආභරණ හා වටිනා දෑ කොල්ලකෑම නිසාවෙනි. යුද හමුදාවෙන් පැය හතළිස් අටක කාලසීමාවක් ඉල්ලා මාර්ගය වසා දැමුවේ කඳවුර ආසන්නයේ පදිංචි අයටද එහි යාමට තහනම් කරමිනි. පුපුරා නොගිය බෝම්බ හා උණ්ඩ ඉවත්කරනතුරු එම ප්‍රදේශයට නොයන්නැයි හමුදාව ජනතාවට අනතුරු හැඟෙව්වේය. නිවෙස්වල ආරක්ෂාව හමුදාව බලාගන්නා බව එහි සිටි හමුදා ප්‍රධානීහු ජනතාවට ‍පොරොන්දු වූහ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යවරුන් හංවැල්ල ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයට පැමිණ ජනතාවට සහන සැලසීමට අවශ්‍ය කටයුතු යොදන ලෙසටත් විනාශවූ නිවාස යළි පිළිසකර කර දෙන්නටත් නියෝග කළේය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් ත්‍රිවිධ හමුදාව, ‍පොලිසිය හා ‍පොලිස් විශේෂ කාර්ය බළකායද එම ප්‍රදේශයට කැඳවනු ලැබිණි.

අඟහරුවාදා (07) දිනයේ අප කොස්ගමට යනවිටත් මාධ්‍යවලට පවා යුද හමුදාවෙන් තහනම් කලාප පනවා තිබුණේය. අප කොස්ගමට යනවිටත් ජනතාවට බිමට පානීය ජලය තියා හරිහමන් කෑමක් වත් නැතිව ඔව්හු ‍පොලිසියට පැමිණිලි කිරීමට පැමිණ සිටියහ.

යුද හමුදාව මාර්ගය වසාගෙන සිවිල් වැසියන්ට නිවෙස්වලට යාමට නොදීම බරපතළ ගැටලුවක්වී තිබුණේ ඒ වනවිටත් නිවෙස් පවා කොල්ලකෑමට ලක්ව තිබූ නිසාය. සබරගමු පළාත් භාර නියෝජ්‍ය ‍පොලිස්පති රොහාන් ඩයස් මහතාද එහි සිටි හමුදා නිලධාරීන් සමග වාග් හුවමාරුවක පැටළුණේ නිවෙස් හිමිකරුවන්ට ඒවාට යාමට වැඩපිළිවෙළක් ලබාදී මාර්ගය යළි කඩිනමින් විවෘත කිරීමට අවශ්‍ය බව අවධාරණය කරමිනි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහකාර ‍පොලිස් අධිකාරිවරයකු ඇතුළු කණ්ඩායම් මාර්ගය විවෘත කිරීමේ උසාවි නියෝගය සමග එහි යවා තිබුණද යුද හමුදා නිලධාරීන් එම ප්‍රදේශවලට යාමට බාධා පමුණුවද්දී ඔවුන් එම ප්‍රදේශයට ගියේ ඔවුනට ඇති ‍පොලිස් බලතල පාවිච්චි කරමිණි. ඉංජිනේරු රෙජිමේන්තුව නියෝජනය කරන මේජර් ජනරාල්වරුන් කිහිපදෙනකුම එහි සිටියත් ඔවුන් තම රෙජිමේන්තුවෙන් ඉටුකළ යුතු කාර්ය භාරයවත් ඉටුකළානම් මෙතරම් කාලය ගතවන්නේ ද නැත. යුද හමුදාවේ එම ප්‍රදේශයට පැමිණ සිටි ප්‍රධානීන් කඳවුර අවට හා රණවිරු ගම්මානය ආරක්ෂිත කලාපයක් කර ආරක්ෂාව සපයද්දී ‍පොලිස් විශේෂ කාර්ය බළකායේත්, ගුවන් හමුදාවේත් බෝම්බ නිෂ්ක්‍රීය අංශවල සෙබළුන් හා නිලධාරීන් සිවිල් වැසියන්ගේ නිවෙස් තුළ වූ පුපුරණ ද්‍රව්‍ය ජීවිත අවදානමක් ගෙන ඉවත් කරන අයුරු දැකගත හැකිවිය. ගතවූ දින කිහිපය තුළ නිවෙස් තුළට කඩාවැදුනු බෝම්බ හා පුපුරන ද්‍රව්‍යවලින් හතරෙන් තුනක්ම ඉවත් කරදී ජනතාවට තම නිවෙස්වලට යාමට කටයුතු සලසා දෙන්නට ‍පොලිස් විශේෂ කාර්ය බළකාය කළ සේවය ජනතාවගේත් ප්‍රශංසාවට ලක් විය. බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේදී හමුදාවල ඇති සම්මත යුද ක්‍රම ක්‍රියාත්මක කරන්නට ගියා නම් මාස ගණනාවකටවත් ගලවා ඉවත් කළ නොහැකි තරම් උණ්ඩ නිවාස තුළට කිඳා බැස තිබුණද සම්මතයෙන් බැහැරව ජීවිත අවදානමක් මැද ‍පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා සෙබළු තරාතිරම නොබලා එකට එක්ව කළ ප්‍රශංසනීය මෙහෙවර අපටත් දැකගන්නට හැකිවිය.

යුද හමුදාව සතුව මානුෂවාදී බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවලට පුහුණුව ලද නිලධාරීන් හා සෙබළුන් දෙදහසක් පමණ වන්නියේ හා මුලතිව්වල සිටියද ඔවුන්ගෙන් අවශ්‍ය සේවයක් ලබා ගෙන නොතිබිම ගැටලුවක් වූයේය. ඉංජිනේරු කර්තව්‍යයක් සඳහා පුහුණුකළ රෙජිමේන්තු හයක් හමුදාවේ සිටියද ඔවුන්ගෙන් මුල් දිනයේම කැඳවා සැලකියයුතු කාර්යභාරයක් ගත්තා නම් දිනක් දෙකක් ඇතුළත සියල්ල යථා තත්ත්වයට පත්කරන්නට වුවද යුද හමුදාවට අවකාශ තිබුණේය.

ගංවතුර ආපදාවේදී යුද හමුදාව සුවිශාල කාර්යභාරයක් කළද මෙහිදී කඩිනම් පියවර නොගැනීමට හේතු වූයේ මෙම ප්‍රදේශයට ගොස් සිටි තරුවල උෂ්ණය ගැසූ ඇතැම් නිලධාරීන් හමුදාපතිගේ නියෝග බව කියමින් හමුදාපතිවරයාටද නිවැරදි ත්තත්වය ලබානොදෙමින් කළ මන්දගාමී වැඩකටයුතු නිසාවෙනි.

යුද හමුදාපතිවරයා සියලු වගකීම් ගෙන ජනතාව වෙනුවෙන් සියලු දෑ කරදෙන්නට වෙර දැරුවද එහි සිටි ඇතැම් නිලධාරීන්ට අඟහරුවාදවනතුරු රණවිරු ගම්මානයේ වැටී තිබූ බෝම්බ කොටස්වත් ඉවත් කරගත නොහැකිව තිබිණි.

ඒ නිසාම රණවිරු ගම්මානයේ ආබාධිත සෙබළුන්ගේ තොරතුරු දැනගැනීමට ගිය  කණ්ඩායම හා අනෙකුත් මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන ‍පොලිසියට භාර දිය යුතු යැයි කී නිලධාරීන් විස්සක පමණ කණ්ඩායමක් සමග ඊට පෙරමුණ ගත් 14 වැනි සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයශාන්ත ගමගේත් පාබල රෙජිමේන්තු අණදෙන නිලධාරිවරයාත් හා ඇතැම් නිලධාරීන්ගේ හැසිරීම් අප මවිතයට පත් කළේය.

ඔවුන් කුමක් හෝ යමක් සඟවන්නට මාධ්‍යයට තහනම් කලාප පනවා එම උත්සාහය ගත්තේ කුමක් අරභයාද යන්න සැක සහිත විය. විද්යුත් මාධ්‍ය කණ්ඩායම් හා මුද්‍රිත මාධ්‍ය කණ්ඩායම සොයා යෑම පසෙකලා මෙම නිලධාරියා අදාළ ප්‍රදේශවල බෝම්බ ඉවත් කිරීම ඇතුළු මහජනතාවගේ සුබ සිද්ධියට විය යුතු කටයුතු කෙරෙහි ප්‍රමුඛතාවය දුන්නා නම් ජනතාව වීදි බසින්නට වුව පෙළඹෙන්නේ නැත.

ඒ මොහොතේ යුද හමුදාපතිවරයා අමතා අපකළ දැනුම් දීමෙන් පසුව ඔහුව දැනුවත් කිරීම නිසා අප මාධ්‍ය කණ්ඩායම්වලට ප්‍රශ්නයක් නොවී ආපසු පැමිණීමට හැකි විය. එදා රණවිරු ගම්මානයේ නිවාස එකසිය හතෙන් සියල්ලටම පාහේ යම් හෝ හානියක් වී තිබුණු අතර නිවාස අසූවක් පමණ පූර්ණ හානියට පත්වුවද මාධ්‍ය දඩයමේ ගිය නිලධාරීන් එම නිවෙස් වැසියන්ට ටෙන්ට් රෙද්දක්වත් දුන්නා නම් එහි වටිනාකම කියා නිමකළ නොහැක්කකි.

බ්‍රහස්පතින්දා (09) දිනයේත් එහි ගිය අප මාධ්‍යවේදීන්ට දැකගන්නට වුයේ ද ඒ තත්ත්වයමය.කඳුවුර අසලින් වසා දමා ඇති මාර්ගය හරහා ගමන් ගැනීමට පැමිණි ගැබිනි මවකටත් වටේ මාර්ගයකින් දුර ගෙවාගෙන පයින් යන්නැයි කියන්නට තරම් එහි සිටි හමුදා නිලධාරීහු අමානුෂික වූහ.

බෝම්බ පිපිරෙන්නේ නැති අවදානමක් නැති මාර්ගයේ බබෙක් හම්බවෙන්නට ඉන්න අම්මා කෙනෙකුටවත් යන්න දෙන්න බැරිදැයි එහි සිටියවුන් අසද්දී හමුදාවේ පිළිතුර වී තිබුණේ මේවා හමුදාපතිගේ නියෝග කියාය. හමුදාපතිවරයා මෙවැනි සිදුවීමක් වන බවවත් දන්නේ ද නැත. නමුත් තීන්දු තීරණ ගන්නට එහි සිටින නිලධාරීන් හමුදාපති වරයා මත වගකීම පටවන්නට යාම නිසා ගම්වාසීන්ට හමුදාව කෙරෙහි ඇති ගෞරවය කෙලෙසී යාම නැවතිය නොහැකිය.

අවංක හමුදා සෙබළුන් පවුම් තුනක් බර රන්මාලයක් පවා අයිතිකරුවන් සොයා භාරදීමට තරම් නිහතමානී වූ නිසා එක් සෙබළකු නිසා වන්නට ගිය අවමානය අඩුවී ගියේය.
කෙසේ වුවද දැන් සියල්ල සිදුවී හමාරය.

කඳවුරේ අබිරහස් ගින්නට හේතුව තවමත් නොදන්නේය. කලින් දින විදුලි හා යාන්ත්‍රික වැඩබිමේ පිරිතක් තිබූ බවත් ඒ අතරේ පිටස්තරයන් එහි ආවේද යන්න ගැනත් ඇතැම්හු සැක පහල කරති.

කෙසේ වුවත් එයද සැකයක් පමණකි. මෙය විදුලි කාන්දුවීමක් හෝ හදිසි අනතුරක් ද විය හැකිය.

කඳවුර භූමියේ පැවති ගිනි නිවීම් පෙරහුරුවක්ද අතර මෙම හදිසි ගින්න හටගෙන ඇති බවට තමාට දැනගන්නට ඇතැයි ආරක්ෂක ‍ලේකම් වරයා මාධ්‍ය හමුවේ කීවේය. නමුත් කඳවුරේ සිටි නිලධාරීන් හා සෙබළුන් කියන්නේ එදින එවැනි පෙරහුරුවක් නොතිබූ බවය. එවැනි පෙරහුරුවක් ඉරිදා වැනි සෙබළුන් නිවාඩු දිනක නොපවත්වන බවද ඔවුන්ගේ මතයය.

කසළ ගිනි තැබිමේදී ගිනි ගන්නට තරම් මෙම අවි ගබඩාව අනාරක්ෂිත ද යන්න එයින් පැන නගින ගැටලුවකි. සාමාන්‍යයෙන් අවි ගබඩා පුපුරා යෑමට අධික රස්නය අධිබල අකුණක් වැදීම හෝ මෝටාරයක් පුපුරා යාම හේතු විය හැකි බව පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයන්ගේ මතය වන්නේය. එනමුදු සිද්ධිය වන දින අකුණු සහිත වැස්සක්ද නොවීය. අධික රස්නය ඇති කාලගුණයක් ද නොවීය.

ජනාකීර්ණ පෙදෙසක උස්බිම්වල සිට පහසුවෙන් කඳවුරු භූමිය නිරීක්ෂණය කළ හැකි අයුරින් ඇති මෙම අවි ගබඩාව අධික උෂ්ණත්වය නිසා පුපුරාගිය බවට කිව නොහැක්කේ එදින කොළඹ උපරිම උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 30.6ක්ව තිබිම නිසාය.

මීට පෙර 2010 දී වන්නි ආරක්ෂක මූලස්ථානයේ පතොරම් හා අවි ගබඩාවත් මේ අයුරින් පුපුරා විනාශ වී ගිය අතර එය අධික උෂ්ණත්වය නිසා වෙඩි ද්‍රව්‍යවල ගිනි ඇවිළී විනාශවීමක් බවට තහවුරු විය. සුද්දන්ගේ කාලයේ ත්‍රිකුණාමල වරායේත්, ගාලු මුවදොර පිටිය යටත් සැකසූ ආරක්ෂිත අවි ගබඩාවලට සාපේක්ෂව මෙම අවි ගබඩාව වටා අඩි දහයක් උසට පස් කන්දක් හෝ සකස් කර තිබුණා නම් මෙවන් ව්‍යසනයක් වන්නේද නැති බව පැහැදිලිය. වායු කුටීර, උෂ්ණත්වය පාලනය කරන වායුසමීකරණ හෝ මෙම ගබඩාවල තිබුණේද නැත. කොස්ගම තුනී ලෑලි ගබඩාවේ ගොඩනැගිල්ලක් තුළ රඳවා තිබු බොහොමයක් උණ්ඩ අනාරක්ෂිතව තිබූ බව පැහැදිලිය. පතොරම් සහ වෙඩි ද්‍රව්‍ය ගබඩා කිරීමේ සම්මත සැලසුම් අනුගමනය කළානම් තුනී ලෑලි ගබඩා කළාක් මෙන් මේවා අනාරක්ෂිතව තැබෙන්නේ ද නැත. මේවා නිසි පරිදි කළමනාකරණය කිරීම හා නඩත්තු කිරීම භාර වන්නේ යුද්ධෝපකරණ බලකායටය. ජාත්‍යන්තරව පිළිගන්නා ක්‍රමවේදයන්වලට අනුව විදෙස් පුහුණුව ලබාගන්නා වෙඩි ද්‍රව්‍ය කාර්මික නිලධාරීන්   තිහක් හතළිහක් පමණ යුද හමුදාවේ සිටියද එවැනි පුහුණුවක් නොලද ලුතිනන්වරයකු පත් කිරීම සම්බන්ධව අදාළ බලධාරීන් වගකිව යුතුය.

කොස්ගම ගබඩාව පුපුරා යාමට මාසයකට පෙර වසර තුනක් පමණ එය භාරව සිටි මේජර් රොෂාන් පෙරේරා නමැති නිලධාරියාව හදිසියේම දියතලාවට මාරු කරන්නේ ඔහු විසින් තමාට උසස්වීම් නොදෙමින් මේජර් ජෙනරාල් රේනක උඩවත්ත සිදුකළ අසාධාරණයක් ගැන හමුදාපතිවරයාට දුක් ගැනවිල්ලක් (අට්) ඉදිරිපත් කිරීමේ වරදටය. මහනුවර ප්‍රදේශයේ ලී බඩු වෙළෙඳසැලකින් තාක්ෂණ ඇගයීම් කමිටුව ප්‍රතික්ෂේප කළ රුපියල් මිලියන ගණනක් වටිනා ලී බඩු යුද හමුදාවට මිලදී ගන්නට යාමේදී විරුද්ධ වීම නිසා ඇතිවූ තත්ත්වය ගැන හමුදාපතිවරයාට පැමිණිලි කිරීමට යාම මත මේජර්වරයා මාරු කරන්නේය.

එම මේජර්වරයාද විදෙස් රටවල විශේෂඥ පුහුණුව ලත් නිලධාරියකු (ඒඊ) නොවුණද වසර තුනක් අවි ගබඩාව සුරක්ෂිතව තබාගෙන ගොස් ඇත. ඔහුව මාරු කර අත්දැකීම් නොමැති දෙවැනි ලුතිනන්වරයකුව එහි එවා ඇතත් මේජර් ජෙනරාල් කෙනත් එඩීමා ඔහුව ප්‍රතික්ෂේප කර යවා ඇත. ඉන්පසුව කොස්ගම සාලාවට පත්කල ලුතිනන්වරයාද එවැනි පුහුණුවීමක් නොලත් නිලධාරියකු විය. යුද්ධෝපකරණ බළකායේ නිලධාරීන් හා සෙබළුන්ට චීනය, පාකිස්තානය, ඉන්දියාව, බංගලිදේශය යන රටවලට යවා වසරක පුහුණුවක් දී වෙඩි ද්‍රව්‍ය කාර්මික නිලධාරි හා වෙඩි ද්‍රව්‍ය කාර්මික සෙබළ පුහුණුව ලබාදී ඔවුන්ව ගබඩාවලට යොමු කළ යුතුය. මෙම විශේෂඥ පුහුණුව ලබන නිලධාරීන් අවි ගඩාවල ආරක්ෂාවට නොයෙදුවේ ඇයිද යන්න ගැටලුවකි. අවි ගබඩා පාලනය කිරීම, පතොරම්වල භයානකකම, ඒවා ඉවත් කිරීම, ගබඩා නඩත්තුව ගැන විශේෂ දැනුමක් ඇත්තේද මොවුන්ටය.

වේයන්ගොඩ, වැලිසර හා කොස්ගම අවි ගබඩාවලට විශේෂ පුහුණුව ලත් නිලධාරීන් ලබා දෙන්නැයි එහි ප්‍රධානියාගෙන් අනෙක් නිලධාරීන් යුද්ධෝපකරණ බළකා රෙජිමේන්තු කවුන්සිලය රැස්වූ මාසික රැස්වීම් වාර්තාවලට කවුන්සිල් සටහන්වලට අනුව බලාගත හැකිය. එසේ නම් ගින්නක් වුව මැඬපවත්වා ගතහැකි පුහුණුව ලත් නිලධාරීන් නොයැවීමෙන් විනාශයක් වළකා ගැනීමේ අවස්ථාව මගහැර ඇත්තේය. කෙසේ වුවද මෙම ගබඩාවේ අයෝග්‍ය කිරීම් මණ්ඩල මගින් කාලය ඉකුත්වීම නිසා ඉවත් කළ උණ්ඩ ටොන් ගණනාවක් තිබි ඇත. එපමණක් නොව යුද හමුදාවේ අනෙකුත් හමුදා ප්‍රදේශවල ද මෙවැනි පතොරම් හා උණ්ඩ ටොන් ගණනාවක් ඉවත් කිරීම සඳහා වෙන් කර ඇත. මෙම උණ්ඩවල වෙඩි බෙහෙත් දියවී යාමෙන් එකක් ඇවිළුනහොත් අනෙකක් පුපුරායාමේ සම්භාවිතාවද වැඩිය. මීට පෙර අයෝග්‍ය කිරීමේ මණ්ඩලවලින් ඉවත්කරන උණ්ඩ මුහුදුබත් කළේ ජපානය ඇතුළු බොහෝ දියුණු රටවල්ය. එම ක්‍රමවේදයම භාවිත කරද්දී මත්ස්‍ය සම්පතට හානිවන බව කියමින් මෙරට පරිසර සංවිධාන එයට විරෝධය පෑම හමුවේ අවදානම් සහිත පතොරම් හා උණ්ඩ දස දහස් ගණනක් කඳවුර තුළම ගබඩා කිරීමට හමුදාවන්ට සිදුවී ඇත්තේ ඒවා පුපුරවා හැරිය හැකි භූමි ප්‍රදේශ ද අවම නිසාය. පරිසර සංවිධාන කියන අයුරින් මත්ස්‍ය සම්පත රකිනවාද විකල්පයක් නොමැති නිසා ජනතාව අනතුරේ දමනවාද යන ප්‍රශ්නයද රට හමුවේ ඇති අභියෝගයකි.

මේ වන විට කොස්ගම තිබූ උණ්ඩ මෙන් දසගුණයක් වේයන්ගොඩ අවි ගබඩාවේ ද ඇත්තේය. මෙයින් විශාල ප්‍රමාණයක් කල් ඉකුත් වීමට හා කල් ඉකුත්වූ ඒවාද ඇත. චීන රජයට අයත් නොරින්කෝ සමාගමේ අවි, පතොරම්, කාලතුවක්කු උණ්ඩද ගබඩා කර ඇත්තේ සාලාව හා වේයන්ගොඩය. වේයන්ගොඩ අවි ගබඩාවේ රෙඩ් ඇරෝ මිසයිල ඇතුළු තවත් භයානක අවි ආයුධ ද ඇත්තේය.

යුද සමයේ නොරින්කේ සමාගමේ අවි ආයුධ කල්තියා මෙරටට එවා ගබඩා කර ගිවිසුම් ගසා තිබුණේ භාවිත කළ පසුව ශ්‍රී ලංකා රජයෙන් මුදල් ගෙවන පදනම මත ශ්‍රී ලංකා හමුදා භාරයේ තැබූ අවි ගබඩා ලෙසය. මේවායේ තිබූ උණ්ඩ නැවත ගෙනයාමට අදාළ සමාගම මෑතකදී යුද හමුදාව සමග සාකච්ඡා කර තිබිණි. එමෙන්ම යුද හමුදාවට අවශ්‍ය ප්‍රමාණයන් තබාගෙන චීනයට හෝ චෙක් රජයට විකිණීමටද යුද හමුදාව සැලසුම් කරමින් සිටියදී මෙම පිපිරීම සිදුව ඇත. චීනයේ නොරින්කෝ සමාගමට අයත් උණ්ඩද ගබඩා කර ඇත්තේ ඒවා රැගෙන යාම පාඩුවක් වන නිසාය. උණ්ඩයක ආයු කාලය වසර තිහක් පමණය. දැන් ඒවා බහුතරය වසර විසිපහකට වඩා වැඩි නිසා අවදානම් සහිතය.

කොස්ගම ගබඩාව පුපුරා සිදුවූ හානියටත් වඩා වැඩි හානියක් වේයන්ගොඩ ගබඩාවට අනතුරක් වුවහොත් සිදු විය හැක්කේය. ඒ අසලම බණ්ඩාරනායක මහා විද්‍යාලය, නගරය හා ආර්ථික මධ්‍යස්ථානයද පිහිටා ඇති නිසාය. එමෙන්ම එම ගබඩාව අනාරක්ෂිත වන්නේ එහි බළසේනාවක් හා හමුදා රෙදිපිළි ගබඩාව ඇති නිසා පිටස්තර පුද්ගලයන් එහි පැමිණෙන නිසාය.

කඳවුරේ ගින්න තවමත් අභිරහසක්ය. එයට ගින්න පැතිරුණ ආකාරයද හෙළිවී නොමැත. මෙය ස්වභාවිකව ඇතිවූවක්ද නැතිනම් කඩාකප්පල්කාරී වැඩක්ද යන්න තවම අපහැදිලිය

උපුටා ගැනීමකි
සාකච්ඡා කළේ තිස්ස රවීන්ද්‍ර පෙරේරා

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!