Gossip

“ලෝකයේ ජනප්‍රියම නළුවා වුණත් වැඩක් නැහැ මට මගේ සතුට නැත්නම්, ඒ දේ නොදැන අපිට ජිවත් වෙන්න බැහැ”

රිදී තිරයේ මෙන්ම පුංචි තිරයේත් ප්‍රේමවන්තයාගේ චරිතයෙන් රසික හදවත් දිනාගත්තු නළුවෙක් තමයි රොෂාන් රණවන කියන්නේ.
සුපිරි රංගනයෙන් ඔබේ ආලින්දය හැඬ කරන රොෂාන්ගේ අලුත්ම විස්තර සතිඅන්ත පුවත්පතක මේ විදිහට ලියවිලා තිබුණා.

කාලෙකට පස්සේ නේද ඔබව දකින්න ලැබෙන්නෙ?
කලින් නොලැබුණු චරිතයක් නිසා මම හිතුවා ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න. චිත්‍රපටවලින් මට වෙනස් චරිත නොලැබෙන නිසා මම හිතුවා මේ චරිතයට දායක වෙනවා කියලා.

ටෙලි නාට්‍යවල නිතර දකින්න නොලැබෙන්නේ නිර්මාණවල ගැටලුවක් නිසාද?
මම නිතරම පේන්න ඉන්න කැමැති නැහැ. ‍පොඩි විවේකයක් අරන් තමයි වැඩකට සම්බන්ධ වෙන්නේ.

ක්ෂේත්‍රයට අද නවකයෝ එකතු වන නිසා රොෂාන්ට ලැබෙන අවස්ථාව අඩු වෙලාද?
අඩු වෙන්නෙ නැහැ. බෙදිලා යනවා හැමෝටම. මම හදා ගන්න දේ මට තියෙනවා. ඒ දේවල් නැති වෙලා නැහැ. අලුතින් පිරිස එන එක හොඳයි.
හැමදාම තනියම ක්ෂේත්‍රයේ ඉන්න බැහැ වගේ අපේ අඩුපාඩුකම් පේන්නෙත් නැහැ. තරගකරුවෝ වැඩි වුණහම හොඳයි.

අධ්‍යක්ෂවරු ඔබෙන් නිසි ප්‍රයෝජනයක් අරගෙන නැහැ කියලා හිතෙන් නැද්ද?
එක රාමුවකට කොටු කරලා නිසා අපි හිරවෙනවා. මුලින්ම කරන චරිතෙන් තමයි හැමෝම අපිව මනින්නේ.
ඒ මුල්ම චරිතයට සමාන චරිතවලට තමයි. ඊට පසුව ආරාධනා ලැබෙන්නේ. මට මීට වඩා දෙයක් කරන්න පුළුවන්.

සිනමා නිර්මාණවලට ළඟදී සම්බන්ධ වුණේ නැද්ද?
මැයි මාසේ කොමඩි චිත්‍රපටයකට සම්බන්ධ වෙනවා. තව චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබුණා. තවම සාකච්ඡා මට්ටමේ තියෙන්නේ.

කලාවෙන් ජීවත් වෙන්න අපහසුයි කියන්නේ ඇත්තද?
පුද්ගලයාගෙන් පුද්ගලයාට ඔය දේ වෙනස් වෙනවා. තමන් හදාගෙන තියෙන තැන තමන්ට ලැබෙන නිර්මාණ අනුව තමයි ඔය දේ තීරණය වෙන්නේ.
මේ වෙනකම් මම ජීවත් වෙන්නේ කලාවෙන්.

නිර්මාණකරණයට යොමු වෙන්න අදහසක් නැද්ද?
දැන්ම නම් නැහැ. ඒත් අදහසක් තියෙනවා. හොඳ කණ්ඩායමක් හොඳ නිෂ්පාදකයෙක් හම්බ වුණොත් කරනවා.

විවාහයත් එක්ක රොෂාන්ට තියෙන ඉල්ලුම අඩු වුණාද?
මට නම් එහෙම දෙයක් පේන්නෙ නැහැ. මට හිතෙනවා ජනප්‍රියත්වය වැඩි වුණා කියලා.

ඔබේ වෘත්තීය හා පුද්ගලික ජීවිතයේ සාර්ථකත්වයේ රහස මොකක්ද?
මම කරන දේ කැපවීමෙන් අවංකව, ආදරෙන් කරනවා.
මම ප්‍රතිපත්තිවලට වැඩ කරන කෙනෙක්. ඒ වගේම අපි සීමාව දැනගෙන ජීවත් වෙන්න ඕන.
ඒ දේ නොදැන අපට කිසිම තැනක ඉන්න බැහැ.

ඔබේ ජීවිතයේ සතුට රඳා පවතින්නේ කුමක් මතද?
නිදහස, පවුල තුළ ආදරෙන් ජීවත්වීම තුළ තමයි මගේ සතුට තියෙන්නේ. ලෝකයේ ජනප්‍රියම නළුවා වුණත් වැඩක් නැහැ මට මගේ සතුට නැත්නම්.
හැමදේටම වඩා මට ජීවිතේ සතුට වටිනවා.

විවාහ වෙලා ටික කාලයක් වෙන නිසා පවුලට අලුත් සාමාජිකයෙක් එකතු කර ගන්න අදහසක් නැද්ද?
තවම නැහැ. ඉස්සරහට එහෙම වේවි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!