Gossip

මේවගේ ෆිල්ම් එකක් රඟපෑවේ ඇයි කියලා අහපු අයත් හිටියා – රිතිකා කොඩිතුවක්කු

රිතිකා කොඩිතුවක්කු කියන්නේ ඇගේ ඇස අග චිත්‍රපටය තුළ අපූරු රංගනයක් ඉදිරිපත් කළ රංගන ශිල්පිණියක්. මෙම චිත්‍රපටය ඇගේ පළමු චිත්‍රපටය වුණත් ඇයට එහිදී ලැබුණු චරිතයට සාධාරණයක් ඉටු කර තිබෙන බව බොහෝ අය පැවසුවා. ඒ වෙනුවෙන් ඇය සම්මානයටද පාත්‍ර වුණා. කොහොමවුනත් තරුණියක් විදියට ඇය එහිදී අඩනිරුවත් වීම ගැන ප්‍රශංසා වගේම බැණුම් අසා ගන්නටද සිදුවී තිබෙනවා. ඉතින් ඒ ගැන වගේම ඇගේ ජීවිතය ගැන පුවත්පතක් සමග කියා ඇත්තේ මෙලෙසින්.

ඇගේ ඇස අග චිත්‍රපටය තිරගත වුණාට පස්සේ ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර කොයි වගේද…?
මේ ෆිල්ම් එක බැලුවට පස්සේ බොහෝ දෙනා මගේ රංගනය ගැන හොඳ කිව්වා. ඒ අතරේ සමහරු මට බැන්නා. මේවගේ ෆිල්ම් එකක් රඟපෑවේ ඇයි කියලා අහපු අයත් හිටියා. ඒවත් ප්‍රේක්ෂක ප්‍රතිචාර තමයි. කොහොමත් මම ඒ දෙකම බලාපොරොත්තු වුණා. ෆිල්ම් එකේ මගේ චරිතයට සමහරු බණීවි කියලා තිරගත වෙන්නත් කළින් ඉඳන්ම මම දැනගෙන හිටියා. ඒ නිසා හොඳ නරක ප්‍රතිචාර දෙවර්ගයම මම එකසිතින් බාරගන්නවා.

මේක රටේ ප්‍රවීණ දක්ෂ අධ්‍යක්ෂවරයෙකු වූ අශෝක හඳගමගේ නිර්මාණයක්. අශෝක හඳගම වැනි අධ්‍යක්ෂකවරයකු යටතේ තමයි රිතිකා සිනමාවට පිවිසෙන්නේ…?
ඇත්තටම අශෝක හඳගම වැනි නිර්මාණවේදියකු යටතේ මගේ පළමුවන චිත්‍රපටයට දායකවීමට ලැබීමත් මගේ භාග්‍යයක්. ඒක මගේ ජීවිතේට සුවිශේෂී අවස්ථාවක් වුණා. මට අදටත් ඒක පුදුමයක්.

කොහොමද ඒ අවස්ථාව ලැබෙන්නේ…?
මගේ බොහෝම ළඟම හිතවතෙක් තමයි අමල් අල්විස් සහ මංජුල පෙරේරා. ඒ දෙන්නා තමයි මට මේ අවස්ථාව ලබලා දුන්නේ. මුලින්ම සම්මුඛ පරීක්ෂණයට මම ගියා. ඒකෙන් සමත් වුණා. ඊට පස්සේ තමයි මට මේ පිටපත ලැබුණේ. පිටපත කියවද්දී මම තේරුම් ගත්තු දෙයක් තමයි මේ හරි අපූරු නිර්මාණයක් වේවි කියලා. ඊට පස්සේ තමයි මම මේකට කැමති වුණේ.

පාසැල් වේදිකාවේ රිතිකා චරිතයක් වුණේ නැහැ…?
නැහැ. ඇත්තටම නැහැ. මම ඉගෙන ගත්තේ මිලාගිරියේ ශාන්ත පාවුළු බාලිකාවේ. පාසලේදී මම කිසිම රංගන කටයුත්තකට දායක වුණේ නැහැ. අඩුම තරමේ මම පාසැලේ ස්ටේජ් එකටවත් නැගලා තිබුණේ නැහැ. ඉතින් මට කිසිම අත්දැකීමක් නැහැ රංගනය සම්බන්ධව. හැබැයි රංගනව පිළිබඳ මගේ කැමැත්ත තිබුණා. ඉතින්… අශෝක හඳගම වගේ ප්‍රවීණයෙක්ගේ නිර්මාණයකට දායකවෙන්න ලැබීම ඇත්තටම භාග්‍යයක්. අනික ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය වැනි ප්‍රවීණ කලාකාරියක් එක්ක රඟපෑමට ලැබීමත් මගේ භාග්‍යයක්. ඒ නිසා මම ඒ දේ හරීම සතුටින් බාරගත්තා.

රිතිකාගේ මේ පළමු නිර්මාණයයි. නමුත් රිතිකාව දකින්න ලැබුණේ නෑ…?
ඔව්… ඇගේ ඇස අග මගේ මුල්ම රංගනයයි. ඊට පස්සේ මට නිර්මාණ කීපයකටම කතා කළා. නමුත් මට මේ ෆිල්ඩ් එකේ ඉක්මන් ගමනක් යන්න කිසි ඕනකමක් නෑ. මම ආස මේ ගමන බොහෝම හෙමින් යන්නයි. ඒ නිර්මාණ හැම එකක්ම හොඳයි. හැබැයි ඒ නිර්මාණවලට මට ලැබෙන චරිතවලට මම ආස කරන්න ඕනේ. මට ඒ චරිතයට ආදරේ හිතෙන මට මාව දැනෙන චරිතයක් වෙන්න ඕනේ. ඒ නිසා ඒවගේ දැනෙන, හොඳ අධ්‍යක්ෂවරයෙකු යටතේ නිර්මාණයක් ලැබුණොත් මම ඒක බාරගන්නවා. මේ චිත්‍රපටය තිරගත වුණේ ගිය අවුරුද්දේ. ඉතින් මට පොඩි කාලයක් ඕන වුණා අලුත් නිර්මාණයකට දායක වෙන්න. කොහොමත් මට කිසිම දේක හදිසියක් නෑ.

රිතිකා කාලයක් නිරූපණ ක්ෂේත්‍රයේ නියැලුණු කෙනෙක්…?
නෑ… දැන් නම් මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කරන්නෙම නෑ. මේ දවස්වල ඇත්තටම මගේ පෞද්ගලික ජීවිතේ මගේ වැඩක් එක්ක තමයි මගේ දවස ගෙවෙන්නේ. මම පොඩි ව්‍යාපාරයක් ආරම්භ කළා. ඉතින් දැන් දවස ගෙවෙන්නේ ඒකටයි.

ඇගේ ඇස අග චිත්‍රපටය අතරතුරේදී ලැබුණු අත්දැකීම් අමතක නොවන සිදුවීම් මොනවද…?
මේක මගේ පළවෙනි චිත්‍රපටය නිසාත් ඒක ප්‍රවීණයන් එක්ක මම වැඩ කරපු නිසාත් ඒ චිත්‍රපටය පුරාම මට තියෙන්නේ අමතක නොවන අත්දැකීම් ගොන්නක් තමයි. හැම දවසක්ම මගේ ජීවිතේට අලුත් අත්දැකීම් එකතු වුණා. ඒ තරමටම මම ඒ නිර්මාණයට ආදරෙයි. මම මගේ කොටස රූගත කරන වෙලාවල්වල විතරක් නෙවේ. අනික් හැම වෙලාවකම ඒ දර්ශනවලට ගිහින් ඒ ප්‍රවීණයන් රඟපාන විදිහ දිහා බලාගෙන හිටියා. මට රූගත කිරීම් නැති දවස්වලත් මම ඒ රූගත කිරීම් කරන තැන්වල හිටියා. ඔවුන්ගේ රංගනයන් දිහා බලාගෙන ඉද්දී මට මගේ කොටස රඟපාන්න පහසු වුණා. ඒ වගේම ස්වර්ණා මල්ලවආරච්චි ඇතුළු හැම දෙනාගෙන්ම මට ලොකු සපෝට් එකක් ලැබුණා. මට වැරදුණ හැම වෙලේම ඊළඟ ටේක් එක ගනිද්දී ඔවුන් මාව ගොඩාක් දිරිමත් කළා.

මොනවද ඊළඟට තියෙන බලාපොරොත්තු…?
මට එහෙම ලොකු බලාපොරොත්තු නෑ. ජීවිතේ මම එහෙම ප්ලෑන් කරලා නෑ. එන විදිහට සතුටින් මම ජීවිතේට මුහුණ දෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!