Gossip

ඇය තවත් කෙනෙකුට ළං වෙනවා දරාගන්න බැරිවුණා, මගේ දෛවය එයට හරස් වුණා – රන්ජන් රාමනායක ආදරය ගැන හෙළි කරයි

රිදී තිරයේ කාගේත් හිත ගත්තු සොඳුරු වීරයා ඔහුයි.
දේශපාලන වේදිකාවේද විටෙක ඔහු වීරයෙක්.
රිදී තිරයේ ලබන පැසසුම්, දේශපාලන වේදිකාවේ ලබන නින්දා මැද ඔහුට ආදරය කරන රසික ජනතාව දිනෙන් දින වැඩිවෙමින් තිබේ.
ඒ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඔහු හරි වැරැද්ද නිරතුරුවම කතා කරන චරිතයක් විදිහට කා අතරත් ජනප්‍රිය වීම නිසයි.
ඔහු තමයි රන්ජන් රාමනායක.
සිනමාවේ පෙම්වතෙක් වුණු ඔහු තවමත් අවිවාහකය.
මේ ඔහුගේ ආදර කතාව ගැන හෙළිදරව්වකි.

රන් සමනළයකුට ආදරය කියන්න ඔයාට පුළුවන් වුණාට ඒ ආදරය ළඟ සදාකාලයටම නතර වෙන්න මට බැරිවුණා.
සොබාදහම මට රන්වන් පියාපත් දුන්නෙ හැම තැනකටම පියාඹා යන්න නම් මේ දිගු ගමනේ අතරමග ලැබෙන ආදරණීය සිනාවක්‌ ළඟ විඩා නිවාගන්න හිතෙන එක මගේ පුහුදුන් හිතේ වරදක්‌ද මගේ වරදක්‌ද කියල මට කියන්න. සමාවෙන්න මට ඔයා ළඟ නතර වෙන්න බැරිවුණාට ඒත් මම ඔයාට ගොඩක්‌ ආදරේ කළා.

රන්ජන්ගේ දිවියේ පළමු ආදර අත්දැකීම
පාසල් යන කාලේ තමයි මගේ හිතේ මුල්ම ආදර හැඟුම් පහළ වුණේ.
ආදර හැඟුම් තිබුණට වැඩිපුර ප්‍රතික්‌ෂේප කිරීම් තමයි තිබුණෙ. පාසල් සමයේ මගේ දිහා මල්සරා බැල්ම හෙලුවෙ නැහැ කියලයි මම හිතන්නෙ.
කොහොම වුණත් පන්ති කාමරයට ආව ලස්‌සන ටීචර්ලට කන්‍යා සොහොයුරියන්ට මම හිතෙන් පෙම් කළා.
ආවෙමරියා කන්‍යාරාමයට සමුදීලා මාරිස්‌ටෙලා විද්‍යාලයට ඇතුල් වුණාට පස්‌සෙ අපේ පාසලේ සිසුන්ගේ සොයුරියන් ආවෙමරියා පාසලේ ශිෂ්‍යාවන් එනව අපේ ඉස්‌කොලෙ ළඟට. මම එයාල පස්‌සෙනුත් ගියා ආදරේ හොයාගෙන. ඒත් ප්‍රතිචාර බෙහොම දුර්වලයි.

ඒ කියන්නෙ ඔබට පාසල් සමයේ පෙම්වතෙක්‌ වන්න වරම් නොලැබුණා කියලද?
පසු කාලෙක මම ඉස්‌කෝලෙදි කලාව පැත්තට යොමු වුණා. චිත්‍ර ඇන්ද චිත්‍ර ප්‍රදර්ශනත් තිබ්බ ඒ දේවල් නිසා මට ජනප්‍රියත්වයක්‌ ලැබෙත්දි නම් මට ආදරේ කරන්න ගෑනු ළමයි කැමැති වුණා..

පාසල් සෙවනේදි මුළු හදින්ම ඔබ පෙම්කළ ඇය කව්ද?
ඉස්‌කෝලෙ යන කාලෙම මට තදින්ම දැනුන විඳපු හා විඳවපු ආදර සබඳතා කිහිපයක්‌ම ඇතිවුණා.
ඒ ආදර සබඳතාවලදි මගේ පළමු කොන්දේසිය වුණේ ආදරය වෙනුවෙන් මොන දේ කැප කළත් නළුවෙක්‌ වීමේ අරමුණ නම් ඉවත දාන්නෙ නැහැ කියන එක.

ඉතින් ඔවුන් ඒ කොන්දේසියට එකඟව ඔබට පෙම් කළාද?
එතනදි පෙම්වතියන්ගෙන් විතරක්‌ නෙවෙයි ඔවුන්ගේ මව්පියන්ගෙන් පවා ආපු චෝදනාව වුණේ නිළියන්ගේ අත් අල්ලගෙන ළංවෙලා රඟපානවට අපි කැමති නැහැ කියන එක.
ඒ හැම පෙම්වතියකගේම ආදරයට වඩා නළුවෙක්‌ විමේ පුදුමාකාර තණ්‌හාවක්‌ මට තිබුණෙ.
විජය මාමා වගේ තිරයේ අපූරු පෙම්වතා වෙන්නයි මම හීන දැක්‌කෙ. ඒ හීනවල පාසල් සමයේ පෙම් සබඳතා දියවෙලා ගියා.

රංගනයට ආවට පස්‌සෙ තිරයේදි මෙන්ම සැබෑ දිවියෙත් පෙම්වතා වීමේ වරම් ඔබට ලැබෙනව..
ඇත්තටම සිනමාව කියන්නෙ මඟුල් සක්‌වලක්‌. ඒ අතරින් මම වඩාත් සොඳුරු ප්‍රේමණීය අත්දැකීම විඳින්නෙ ටෙලි නාට්‍යයක රඟපාන සමයේ. රමණි බර්තොලමියුස්‌ එක්‌ක ඇතිවුණ ප්‍රේමය සිහිපත් වෙන මොහොතක අදටත් මට ඒ සුවඳ දැනෙනව.
හැබෑවෙදි වගේම තිරයෙත් අපි පෙම් කළා. සමහර තැන්වල තිරපිටපතේ තියෙනව ඇය වෙන කෙනෙකුට පෙම් කරනව.
ඒ වෙලාවට හරිම ප්‍රශ්න අඬනව දබර කරගන්නව.. මම කියනව ඔයා එයාගෙ අතින් අල්ලන්න එපා මමනෙ ඔයාගෙ සැබෑ දිවියේ පෙම්වතා කියල එයා කියනව මේ තිරපිටපතේ තියෙන දේනෙ කියල. ඇය තිරයේවත් තවත් කෙනෙකුට ළං වෙනව දරාගන්න බැරිතැන අපි තිර පිටපත කියල වෙනස්‌කර ගත්ත තැනුත් තියෙනව.

මේ ප්‍රේම කතා මැද අපූරු ප්‍රේමණීය තිළිණත් අනිවාර්යෙන් හුවමාරු වෙන්න ඇති නේද?
බොහොම සොඳුරු සිහිවටන තිබුණා. ඒ දවස්‌වල මගේ ආදරය අයිතිකරගෙන සිටි ජනප්‍රිය නිළියකට මම රන් හදවතක්‌ තෑගි දුන්න.
ඒක මම ගත්තෙ රඟපාල බොහොම අමාරුවෙන් හම්බ කරගත්ත සල්ලිවලින්.
ඒත් එක දවසක කිරිබත්ගොඩදි අප අතර ඇතිවුණ බහින්බස්‌ වීමක්‌ කෙළවර ඒ හදවත මම ම කඩලා විසිකළා. ආයෙ කවදාවත් ඒ රන් හදවත මම දුටුවෙ නැහැ.

තවත් නිළියකගේ උපන්දිනය දවසෙ මම ඇයට ලොකූ ටෙඩිබෙයාර් කෙනෙක්‌ අරන් ගියා. ඒක මම ගත්තේ ණයවෙලා. වෙන අය ඇයට ලොකු ලොකු තෑගි දුන්න ඒත් මගේ හිතේ ආදරය තිබුණට මට සල්ලි තිබුණෙ නැහැ ලොකු තෑගි දෙන්න.

මෙලෙස ඔබ විඳගත් ප්‍රේමයක්‌ හැමදාටමත් තමන් සන්තකයේම තියාගන්න හිතක්‌ පහළ නොවුණාද?
එහෙම හිතුණ අවස්‌ථා තිබුණා. ඒත් මගේ දෛවය එයට හරස්‌ වුණා.

දෛවය සමාව දෙන්න බැරි වරදක්‌නෙ ඔබට කරල තියෙන්නෙ.
අවංකව කතා කරනව නම් දෛවයටම වරද පටවන්නත් බැහැ. සෙල්ලක්‌කාර පෙම්හිතක්‌ මට තිබුණා කියන චෝදනාව ළග මම අදටත් නිරුත්තරයි.
වෙනත් දර්ශන තලවලට ගියහම ඒ තැන්වල ඉන්න අයත් ආදරයෙන් පිළිගන්න මට හිතුණ. ඒ දේවලුත් මේ තත්ත්වයට බලපෑව.

එදා වගේ අදත් ආදරය ඉදිරියේ නම්‍යශීලී ඔබේ හිතට ආදරයක්‌ හිමියිද?
එදා වගේම අදත් ආදරය විඳිනව. මම විශ්වාස කරනව මනුස්‌සයෙකුට ජීවත් වෙන්න ආස්‌වාස ප්‍රාස්‌වාස කරන තරමට ආදරයත් උවමනායි කියල.
නමුත් සමහර තැන්වලදි ආදරේ කියන හැඟීම මාව පුදුම කරවනව. ජීවිතය පරදුවට තියල මට ආදර කරන අය මට මුණගැහිල තියෙනව.
සමහර අය තමන්ගෙ ජීවිත කාලයම මා වෙනුවෙන් වෙන්කරල විවාහ නොවී ඉන්නව. කවමදාකවත් මුණගැහිල කතා නොකළත් සිය ගණන් පෙම්පත් ලියාගෙන මගේ ජායාරූප ළඟ තියාගෙන මට ආදරේ කරන අය මට හමුවෙලා තියෙනව. ඒ වගේ අවස්‌ථාවල මට දැන් තියෙන ආදරයට වඩා එවන් ආදරයක්‌ ළඟ මොහොතකට හිත නතර වෙනව.

සාගරය සේ ආදරය ලැබුණත් තනිකඩයි ඔබ තවම
කොළවල අත්සන් කරන එකවත් මුදු දාන එකවත් ආදරය නෙවෙයි. එතන තියෙන්නෙ ඕෂෝ සංවාදවල තියෙනව වගේ ගිවිසුමක්‌.
ඒ කියන්නෙ ජීවිත කාලය පුරාම මට ඔබේ පාර්ශ්වය විශ්වාස නැහැ කියලනෙ ඔය වගේ ගිවිසුම් ගහන්නෙ. ප්‍රේමය කියන්නෙ ඊට වඩා පැතිරුණ දෙයක්‌.
ඒක ගෞතම බුදුන් වහන්සේ ක්‍රිස්‌තුස්‌ වහන්සේ මහමද්තුමාගේ ආදරය වගේ ලෝකේ හැමතැනකටම පැතිරුණ දෙයක්‌.
ඉතින් මම හිතනව කොලේක අත්සන් කරල ඇදල බැඳල කූඩුවකට දානවට වඩා වෙනස්‌ පරිසරවල වෙනස්‌ වෙනස්‌ චරිත එක්‌ක ආදරය කරමින් ජීවිතය ගෙවන එක හරිම සුන්දරයි කියල.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!