Gossip News

දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් “ශ්‍රී රෝහණ කීර්ති ශාසනබන්ධු ලංකාභිමානී” ගෞරව නාමයෙන් පිදුම් ලබයි – Photos

දකුණු පළාත් ආණ්ඩුකාරවර රජිත් කීර්ති තෙන්නකෝන් මැතිතුමා ‘ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ කාරක සංඝ සභාව‘ විසින් ‘ශ්‍රී රෝහණ කීර්ති ශාසනබන්දු ලංකාභිමානී‘ ගෞරව සම්මානයෙන් පුදනු ලැබීය.
අභිනව ගෞරව නාමය සහිත ශ්‍රී සන්නස් පත්‍රය 2019 මැයි මස 11 දින ගාල්ල, කොට්ටවගම ශ්‍රී සුමනාරාම පුරාණ මහා විහාරාධිපති, ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ශ්‍රීමත් මහනායක ත්‍රිපිටක විශාරද, සද්ධර්මවාගීශ්වර, විනයකීර්ති ශ්‍රී උපාධ්‍යාය අතිගරු උඩුමලගල මහින්දාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් මාතර, තිහගොඩ , ඌරාපොළ ශ්‍රී රතනජෝති පිරිවෙන් විහාරස්ථ ශ්‍රී රෝහණ සංඝ සභා මූලස්ථානයේ දී දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වෙත පිළිගන්වනු ලැබීය.
දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සිය ධූරයට පත් වී ගෙවී ගිය කෙටි කාලය තුළ දකුණු පළාතේ ජනතාවට, බෞද්ධ ශාසනය වෙනුවෙන් ඉටු කරන ලද හා ඉටු කරමින් පවත්නා ප්‍රශස්ත සේවයටත්, ආණ්ඩුකාර ධූරයට පත්වීමට පෙර ස්වේච්ඡා, රාජ්‍ය නොවන සංවිධානවල නිලතල දරමින් පොදුවේ ශ්‍රී ලාංකීය ජනතාවට සිදු කළ අනගි මෙහෙවරත් සැලකිල්ලට ගෙන ඒ මහතා ‘ශ්‍රී රෝහණ කීර්ති ශාසනබන්ධු ලංකාභිමානී‘ ගෞරව නාමයෙන් පිදුම් ලබන බව ශ්‍රී රෝහණ සංඝ සභාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මහාචාර්ය කනත්තෙගොඩ සද්ධාරතන නායක හිමිපානන්වහන්සේ පැවසීය.
දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා වෙත මෙම ගෞරව නාමය යෝජනා කරනු ලැබ ඇත්තේ රෝහණ පාර්ශවයේ මහානායක උඩුමලගල ශ්‍රී මහින්දාභිධාන ශ්‍රීමත් හිමියන් විසිනි. උත්සව සභාව ඇමතු අතිපූජ්‍ය ඕමාරේ කස්සප අනුනායක හිමියන් ප්‍රකාශ කළේ රෝහණ පාර්ශවයේ මහා නායක හිමියන් විසින්ම යෝජනා කොට රෝහණ පාර්ශවය විසින් ගිහියෙකුට ලබාදෙන ඉහළම ගෞරව සම්මානය වන ‘ශ්‍රී රෝහණ කීර්ති ශාසනබන්ධු ලංකාභිමානි‘ ගෞරව නාමයෙන් පිදුම් ලැබූයේ ‘‘තෙන්නකෝන් මහතා දකුණේ ඈත ගම්බිම් දක්වා සිය කීර්තිය පතුරා, ලංකාවට අභිමානයක් එක් කොට ඇති බැවින්‘‘ බවය.
ගෞරව නාම පිළිගැන්වීමේ උළෙලට රෝහණ පාර්ශවයේ මහනායක මහෝපාධ්‍යනය උඩුමලගල ශ්‍රී මහින්ද මහනායක හිමි, ජේෂ්ඨ අනුනායක පූජ්‍ය අගලබඩ පියසිරි හිමි, ප්‍රධාන ලේඛකාධිකාරී, අනුනායක ඕමාරේ කස්සප අනුනායක හිමිපාණන් වහන්සේ, ප්‍රධාන අධිකරණ සංඝනායක, මහාචාර්ය කනත්තෙගොඩ සද්ධාරතන නාහිමි ප්‍රමුඛ විධායක කාරක මහා සංඝ සභාවේ ස්වාමීන් වහන්සේලා වැඩමවා වදාළ හ. ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවී සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!