Gossip

“මම කවදාවත් ක්ෂණික කෑම කන්නෙ නෑ. මස්, මාංස, උම්බලකඩවත් ආහාරයට ගන්නෙ නෑ. සුනාමියෙන් මියගිය මගේ අයියා සහ බිරියත්, දරු දෙදෙනාගේත් මරණය මගේ ජීවිතය කම්පාවට පත් කළා.”

තම පළමු පත්වීම ලබා කොළඹ ජාතික රෝහලේ සේවයට පැමිණි ඇය අද දක්වා දශක තුනකට වැඩි කාලයක් කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනිය ලෙස සේවය කරන්නීය. එයට අමතරව ආපදා තත්ත්වයකදී රෝගීන් වර්ගීකරණය පිළිබඳව මේ රටට හඳුන්වා දුන් පළමු හෙදිය වන්නේද ඇයයි.
හැමදාමත් මාධ්‍ය සමග අත්වැල් බැඳගෙන තමා ලත් දැනුම රටට බෙදා දෙන්නටත්, රෝගීන්ට සෙත සලසන්නට වෙහෙසෙන ඇය කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ජාතික පුහුණුකිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසායි.
මේ ඇය සතිඅන්ත පුවත්පතකට දිගහැරිය කතාවයි.

ඔබ අද වන විට මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල සේවයක් සිදුකරන්නියක්. කුඩා කාලයේ සිටම කවදා හෝ මෙවැනි වෘත්තියක නියැළෙන්නට බලාපොරොත්තුවෙන් සිටියාද?
හෙදියක් වනවා කියා බලාපොරොත්තුවක් තිබුණේ නෑ. තිබූ එකම බලාපොරොත්තුව කරන හැමදේම හොඳින් කිරීමේ බලා පොරොත්තුවයි.
පාසල් කාලයේදී නර්තනය හැදෑරුවා, සංගීතය කළා, ක්‍රීඩා කළා, ඉගෙන ගත්තා. මේ සියලු දේ වලින් සමස්ත ලංකා ජයග්‍රහණ අත්කර ගත්තා. ගල්කිස්ස උසස් බාලිකා විදුහලේ කැපී පෙනෙන සිසුවියක වූවා. උසස් පෙළ සඳහා ඉදිරිපත් වුණේ ජීව විද්‍යා අංශයෙන්.
මගේ පියා වෙද මහතෙක්. අයියා ඉංජිනේරුවෙක්. අක්කා ගුරුවරියක්.
පොඩි අක්කා ජ්‍යෙෂ්ඨ හෙදියක්. ඒ අයගෙන් ලැබූ ගුරුහරුකම් කුඩා කාලයේ සිටම මගේ ජීවිතයට ආලෝකයක් කරගත්තා.
පොඩි අක්කා තමයි මගේ ඉල්ලුම් පත්‍රය හෙද වෘත්තියට යොමු කර තිබෙන්නේ. සම්මුඛ පරීක්ෂණයෙන් සමත්ව රැකියාව ලැබුණා. 1985දි හෙදි පුහුණුවට බැඳී පළමුවැනි වෝඩ් රවුන්ඩ් එකේදි පිලිස්සුණු රෝගියෙක් දැකලා කලන්තෙ දාලා වැටුණා. නැවත රැකියාවට යන්නෙ නෑ කියා සිතාගෙන ආවත් මගේ හිත මට යන්නට බල කළා.

බොහෝ අසීරුතා මැද දශක තුනකට වැඩි කාලයක් පුරා නිරතවෙන රැකියාව ගැන ඔබ සතුටින්ද සිටින්නේ…
හෙද සේවය කියන්නේ ලොකු පරාසයක් තුළ කළ හැකි වෘත්තියක්. හෙදියක වීමෙන් ගොඩක් දේවල් කළා. ඒ සියලු දේවල් කළේ බොහොම සතුටෙන්. රෝගීන් සහ කාර්ය මණ්ඩලයේ රසවින්දනය සඳහා ‘වින්දන කවය‘, චිත්‍ර ප්‍රදර්ශන, සංදර්ශන, ප්‍රසංග ආදිය සංවිධානය කළා.
එමගින් බලාපොරොත්තු වුණේ රෝගියාගේත්, කාර්ය මණ්ඩලයේත් කලා කුසලතා ඔප නැංවීමත් රෝගීන්ගේ සහ කාර්ය මණ්ඩලයට මානසික සහනය ලබාදීමටත්.

මෙතෙක් ආ ගමන්මග දෙස ආපසු හැරී බලද්දී වැරදුණු තැන් තිබෙනවාද?
වැරැදුණු අවස්ථාවන්ට වඩා හරි ගිය අවස්ථා වැඩියි කියලයි මට හිතෙන්නේ. වෘත්තීය ජීවිතයේ ගෙවුණු කාලය තුළ බොහෝ දේ කළා.
හදිසි අවස්ථාවකදී හදිසි ආපදා කළමනාකරණය ගැන විශේෂඥ දැනුම ලබාගෙන තිබෙනවා.
සිංගප්පූරුව, ඇමරිකාව, තායිලන්තය වැනි රටවල්වලින් ආපදාවකදී රෝගීන් වර්ගීකරණය පිළිබඳව දැනුම ලබාගෙන අද වන විට එම දැනුම අනෙකුත් අයට බෙදා දෙමින් සිටිනවා. ඒ වගේම විශේෂඥ හෙද නිලධාරිනියක ලෙසත් කටයුතු කරනවා. පසුගිය යුද වාතාවරණය අපේ රට ගිලගනිමින් තිබූ කාලයේ රෝගීන් සුවපත් කිරීම වෙනුවෙන් විශාල සේවයක් සිදු කළා.
මේ සියලු දේ සමගම පෞද්ගලික හිත මිතුරන්ගෙන් මිළියන ගණන් ආධාර ලබාගෙන රෝහල සංවර්ධනය කිරීම රෝගීන් සඳහා කිහිලිකරු, රෝද පුටු ලබාදීමට මූලිකත්වය ගෙන කටයුතු කිරීම ආදී සත්කාර්යයන් සිදු කළා. මේ සියලු දේවල් මට සිහිවනවා පැමිණි ගමන්මඟ දෙස ආපසු හැරී බලද්දී. ජීවිතය ගැන සතුටක් දැනෙනවා.

ආධුනිකයකුට උපදෙසක් දෙනවා නම් මොනවගේ උපදේශයක්ද ඔබ ලබා දෙන්නෙ..
හෙද වෘත්තියට ප්‍රවිෂ්ටවන ඔබ මොන දැනුමෙන් පෝෂණය වුණත් වැඩක් නැහැ ආදරය, කරුණාව ඔබ තුළ නැත් නම්.
අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන කතා කරනවානම් ලෝක ඉතිහාසයේ පැරැණිතම රෝහල වන මිහින්තලේ රෝහල තිබුණේ අපේ රටේ.
ඉතින් ඒ තරමටම අතීතයේ සිට හොඳ සෞඛ්‍ය සේවාවක් තිබෙන රටක සෞඛ්‍ය ක්ෂේත්‍රයට එන්න ඕනෑ ආදරය, කරුණාව හොඳින් හඳුනන මිනිසුන්.
මම පිලිස්සුම් ඒකකයේ වැඩකරද්දී වෛරය, ක්‍රෝධය, පළිගැනීම , නොතේරුම්කම, නොසැලකිල්ල වැනි හේතු නිසා ජීවිතයෙන් වන්දි ගෙවන මිනිසුන් අත්දුටුවා.
එවැනි රෝගීන් සමග ගනුදෙනු කිරීමේදී ඉහත ගුණාංග තිබිය යුතුමයි.

ඔබ කලාව සමගත් සම්බන්ධ තැනැත්තියක් ලෙස වඩාත් සිත්ගත් සිනමා නිර්මාණය, රංගන ශිල්පියා සහ ශිල්පිනිය කවුද?
මම ඕනෑම සිනමා නිර්මාණයක් රස විඳිනවා. නමුත් වඩාත් කැමැත්තෙන් නරඹන්නෙ පැරැණි කතා.
රාවණ කතාව, මහාවංශය වැනි සිංහලයාගේ පැවැත්ම, ඉතිහාසය පෙන්වන කතාවලට කැමැතියි.
රංගන ශිල්පියා සහ ශිල්පිනිය ගැන කතා කරනවා නම් තෝරා ගත් විශේෂ කෙනෙක් නැහැ. හොඳ රංගනයක නියැළෙන ඕනෑම කෙනකුට කැමැතියි.

කැමැතිම ගායකයා සහ ගායිකාව..
නන්දා මාලනියගේ ගීතවලට කැමැතියි. ඇයගේ ‘පවන‘ කැසට්පටයෙහි අඩංගු සෑම ගීතයකටම ප්‍රිය කරනවා.
ඒ වගේම ගුණදාස කපුගේ ගයන අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා ගීතයත් වික්ටර් රත්නායකගේ අම්මා ගීතයටත් කැමැතියි. සුනාමිය ගැන කියැවෙන ගීතයට විශේෂ කැමැත්තක් තිබෙනවා.

ඔබ දැනටමත් මේ රටේ වෙනසක් කළ හැකි වගකීම් රැසක් ලැබී තිබෙනවා. ඔබ මොනවද සමාජයට දෙන්න බලාපොරොත්තු වන්නේ..
බොහෝ මිනිසුන් ජීවිතය අවබෝධ කර නොගැනීම නිසා හදිසි ජීවිත හානි ඇති කරගන්නවා.
හදිසි අනතුරු ඇති කරගන්නවා. මෙවැනි දේ නිසාවෙන් පවුල, සමාජය, රටට සිදුවන්නේ විපතක්. එවැනි තත්වයෙන් රට මුදාගන්නට අනතුරු අවම කිරීම සහ බෝ නොවන රෝග තත්වයන් පෙළගැස්වීම ගැන මා විසින් දැනුම ලබාදෙනවා. ඒ වගේම මම කවදාවත් ක්ෂණික කෑම කන්නෙ නෑ. මස්, මාංස, උම්බලකඩවත් ආහාරයට ගන්නෙ නෑ. මට කියන්න තියෙන්නේ හැම වෙලේම යහපත් සෞඛ්‍ය පුරුදු ඇති කරගන්න. සෞඛ්‍ය කියන්නෙ භාවනාවක්. ආහාර ගැනීම පවා භාවනාවක් වගේ යැයි බුදු දහමෙත් සඳහන් කර තිබෙනවා. ඉතින් හැම වෙලේම අපි වගබලාගන්න ඕනෑ රෝහලට නොයන තැනට අපේ සෞඛ්‍ය රැකගන්නට.

තව කෙනකු කරනවට අකැමැති දෙය..
වංචා කිරීම. ඍජුව කතාකරන්න, අකැමැත්තෙන් හෝ ඇත්ත කියන්න. මම සාමාන්‍යයෙන් කෙනකුට ණයට මුදල් දෙන්නෙත් නෑ. තව කෙනකුගෙන් ගන්නෙත් නෑ. එමගින් සිදුවන්නෙ මිතුරන් හතුරන් බවට පත්වීම.

ජීවිතයේ අමතක නොවන සිදුවීම..
මගේ මවුපියන්ගේ මරණය. සුනාමියෙන් මියගිය මගේ අයියා සහ බිරියත්, දරු දෙදෙනාගේත් මරණය මගේ ජීවිතය කම්පාවට පත් කළා.
කුඩා කාලයේදී පාසලේ ක්‍රීඩා උත්සවය නිමවී පාර හරහා පැන්න අවස්ථාවේ හදිසි අනතුරකට ලක්වුණා. එහිදී මා සමග සිටි මගෙ මිතුරියන් හය දෙනාම මැරුණා. මගේ ජීවිතය පමණයි බේරුණේ. එම සිදුවීමත් අද වගේ මතකයි. ඒ වගේම රෝගීන්ගේ අවසන් වන ජීවිත පිළිබඳවත් අමතක නොවන සිදුවීම් තිබෙනවා.

සංචාරය කිරීමට කැමැති ස්ථානය..
ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේම සියලු ඓතිහාසික ස්ථාන නරඹන්න මම කැමැතියි. ඒ ඒ රටවල මිනිසාගේ පැවැත්ම, ඓතිහාසික වටිනාකම, පෞරාණික දේවල් දැක බලාගන්න කැමැතියි. ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම අපේ රටේ එවැනි ස්ථාන නරඹන්න යනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!