Gossip News

පොලිස්පති පූජිත් ජයසුන්දර ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් ලැබුණු ප්‍රතිචාරය මෙන්න

ජනාධිපතිවරයා විසින් තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට ගත් තීරණය ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි මස 31 දා සලකා බලන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියම ක‍ළේය.
මෙම පෙත්සම අද(24) ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙණිය සහ එස්. තුරෙයිරාජා යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවේය.
මෙහිදී තිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මිය අධිකරණයට දන්වා සිටියේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ජනාධිපති ලේකම් සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ යන පාර්ශව විසින් විරෝධය දක්වමින් අධිකරණය හමුවේ දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කර ඇති බවයි.
එම දිවුරුම් පෙත්සම් වල පිටපත් තමන් වෙත ලැබී නොමැති බව පෙත්සම්කාර පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ විරාන් කොරයා මහතා අධිකරණයට දන්වා සිටියාය.
එමෙන්ම අදාළ ලේඛන විනිසුරුවරුන්ගේ ගොනුවලට ද මෙතෙක් ඇතුළත් වී නොමැති බව මෙහිදී විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා පෙන්වා දුන්නේය.
ඒ අනුව පෙත්සම සලකා බැලීම ජුලි මස 31 දා සිදු කරන බව නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරුවරු එදිනට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දෙපාර්ශවය නීතිඥවරුන්ට දන්වා සිටියේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ද ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සිසිර මැන්ඩිස් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියාය.
නඩු විභාගය අතරතුර පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා ඇමතූ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා පොලිස්පතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවත් ඔහුගේ විනය බලධාරීයා කව්දැයි විමසා සිටියේය.
ඊට ප්‍රතිචාර පිළිතුරු දුන් පෙත්සම් කාර පාර්ශවයේ නීතිඥයන් විරාන් කොරයා මහතා දන්වා සිටියේ පොලිස්පතිවරයාගේ විනය බලධාරියා අමාත්‍ය මණ්ඩලය බවයි.
ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාගේ විනය බලධාරියා නොවන බවද නීතිඥ කොරයා මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම විනිසුරු ජයවර්ධ මහතා තවදුරටත් කරුණු දක්වමින් පෙත්සම්කරු අනිවාර්ය නිවාඩු යවන අවස්ථාවේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා කටයුතු කර ඇති බැවින් ඔහුට එවැන්නක් කිරීමට බලයක් තිබේද යන්න පිළිබඳව මෙම නඩුවේදී තර්කයට භාජනය වන ප්‍රධාන කාරණාවක් ඇයි ද පෙන්වා දුන්නේය.
පෙත්සම්කාර පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් 2016 වසරේ අප්‍රේල් මස විසි වනදා තමන්ව පොලිස්පතිවරයා වශයෙන් පත් කළ බවයි.
2018 වසරේ පටන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවැති අන්තර් සබඳතාවයේ යම් පළුදු වීමක් තමා නිරීක්ෂණය කළ බවත් තමා එම පාර්ශව දෙකටම පක්ෂග්‍රාහී නොවී ස්වාධීනව රජයේ නිලධාරියෙකු ලෙස තම රාජකාරිය ඉටුකළ බවද ජයසුන්දර මහතා විසින් කියා තිබේ.
2018 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසුව ජනාධිපතිවරයාගේ නියෝගයක් පරිදි තමන්ව ජාතික ආරක්ෂක මණ්ඩලය රැස්වීම සඳහා කැඳවීමක් නොකෙරුණු බව පෙන්වා දෙන පූජිත් ජයසුන්දර මහතා පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට පෙර තොරතුරු ලැබුණු අවස්ථාවල තමන් ඒ පිළිබඳව එවක ආරක්ෂක ලේකම්වරයාට සහ තමා යටතේ සිටින ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරු සිව් දෙනා දැනුවත් කළ බව ද කියා තිබේ.
රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා ඔහුගේ බුද්ධි වාර්තා සෘජුවම ජනාධිපතිවරයා වෙත යොමු කිරිම සිදු කළ බවත් ඔහු තමන්ට කරුණු වාර්තා කිරීමක් නොකරන බවත්ජි පූජිත් ජයසුන්දර මහතා සිය පෙත්සමෙන් ප්‍රකාශ කර තිබේ.
පාස්කූ දින ප්‍රහාරයෙන් පසුව තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට ජනාධිපති වරයා ක්‍රියා කළ බවත් එසේ තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපති වරයාට කිසිදු නීතිමය බලයක් නොමැති බවද පූජිත් ජයසුන්දර මහතා සිය පෙත්සමෙන් පෙන්වා දුන්නේය.
තම විනය බලධාරියා ජනාධිපතිවරයා නොවන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රාජ්‍ය නිලධාරීන් ඉවත් කිරීමට අදාළ පනත් විධිවිධාන ප්‍රකාරව තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට ජනාධිපතිවරයාට කිසිදු බලයක් නොමැති බව පූජිත් ජයසුන්දර මහතා චෝදනා කරයි.
මෙම ක්‍රියාව තුළින් ජනාධිපතිවරයා මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවත් ඒ තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන්ද ඉල්ලා සිටින පූජිත් ජයසුන්දර මහතා මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට ජනාධිපති වරයා ගත් තීරණය අත් හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටියාය.
එමෙන්ම තමන්ව ධුරයෙන් ඉවත් කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන්ද පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!