Gossip

බඩගින්නට වමනේ දැමූ සිසුවිය ගැබිණියක් ලෙස හංවඩු ගහපු විදුහල්පතිවරිය

පාසලකදී ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් වැරැද්දක් කළ විට ඒ වෙනුවෙන් ඒ වැරදි කරපු කෙනාට තරාතිරම නොබලා දඬුවම් කරනවා.

එහෙම කරන්නේ ඒ අයත් එක්ක තියෙන තරහකට නෙවෙයි ඒ වැරැද්ද නැවත කරන්නේ නැති වෙන්න.

හැබැයි මොකක්හරි දඬුවමක් දෙන්න කළින් වැරැද්ද මොකද්ද? ඇයි වැරදි කළේ කියලා හොයලා බලලා තමයි ගුරුවරු දඬුවම් දෙන්නේ.

හැබැයි අද අපිට ආරංචි වූ සිද්ධිය නම් එහෙම එකක් නෙවෙයි.

මේ සිද්ධිය වෙලා තියෙන්නේ කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් ඩාටුගම ප්‍රදේශයේ රජයේ පාසලකයි.

10 වැනි වසරේ ඉගෙන ගන්නා සිසුවියකට එහි විනය පාලක කමිටුව සහ විදුහල්පතිවරිය විසින් ලබා දුන් අපූරු දඬුවමක් නිසා ඇය මේ වෙද්දි දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මඩාටුගම හැවැන්තැන්නේගම ප්‍රදේශයේ පදිංචි ඉතා දිළිඳු පවුලක දියණියක වන මෙම සිසුවිය මීට දින කිහිපයකට පෙර සුපුරුදු පරිදි උදේ ආහාරය නොගෙන පාසැලට ගොස් තිබෙනවා.

පසුව ඇය පාසලේදී වමනය කර ඇති අතර තවත් සිසුවියන් තිදෙනෙකු විදුහල්පතිනියට මේ බව දැනුම් දීලා තියෙන්නේ අදාළ සිසුවිය ගැබ් ගෙන ඇති බවයි.

මේ සිද්ධිය දැනුම් දීමත් එක්කම විදුහල්පතිනිය විසින් කිසිම සොයාබැලීමක් නොකර විනය මණ්ඩලයේ ගුරුවරුන් කිහිප දෙනෙක් සමග සාකච්ඡා කර ඒ මොහොතේම සිසුවියගේ මව්පියන් පාසලට ගෙන්වා සිසුවිය ගැබ් ගෙන ඇති බව දන්වා අස්වීමේ ලිපිය ලබා දී පාසලෙන් පිටත් කර යවා තිබෙනවා.

අනතුරුව දැරියගේ දෙමව්පියන් දැරිය දඹුල්ල මුලික රෝහලට ඇතුළත් කොට විදුහල්පතිනිය කී කථාව වෛද්‍යවරුන්ට පවසා තිබෙන අතර වෛද්‍යවරුන් දැරිය දින කිහිපයක් තබා ගෙන පරික්ෂා කර මෙම දැරියට කිසිදු අතවරයක් හෝ ගැබ් ගැනීමක් සිදුව නැති බවට ප්‍රකාශ කර තිබෙනවා.

දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ගාමිණී සේනානායක මහතාගෙන් අප කළ විමසීමේ දී ඔහු කියා සිටියේ නාරි හා ප්‍රසව වෛද්‍යවරියත් අධිකරණ වෛද්‍ය නිලධාරියාත් මෙම සිසුවිය දැඩි ලෙස පරීක්ෂා කර බැලූ නමුත් විදුහල්පතිනිය කියන ආකාරයේ කිසිදු හානියක් දැරියට සිදු ව නොමැති නිසා රෝහල මගින් මේ පිළිබඳව ළමා හා කාන්තා කාර්යාංශයට පවා පැමිණිලි කරනු ලැබූ බවයි.

මෙම සිද්ධියෙන් සිසුවිය දැඩි මානසික පීඩනයකට පත්ව සිටින නිසා ඇයගේ මනස සැකසීම සඳහා ඇයව තවදුරටත් රෝහලේ තබා ගෙන සිටින බව වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මෙම අවාසනාවන්ත සිදුවීමට මූණ පෑ දැරියගේ මව්පියන් කුඩා පැලක පදිංචිව සිටින දැරියගේ මව්පියන් ජීවිතය ගැට ගසා ගන්නේ කුලීවැඩ කරමිනුයි.

දැරියගේ මව වූ ඩී. එම්. සෝමාවතී (57 )මහත්මිය කියා සිටියේ තම දියණිය පිළිබඳව පසුගිය දොළොස් වැනිදා විද්‍යාලයේ ගුරුවරයකු විසින් තමන්ට දුරකථනයෙන් කතාකොට පියා ද සමඟ පාසලට එන ලෙස දැනුම් දුන් බවයි.

එහි ගිය පසු තම දියණිය ගැබිනියක වී ඇති බව දැනුම් දී පාසලෙන් රැගෙන යන ලෙස තමන්ට දැනුම් දුන් බව ද ඇය පවසා තිබෙනවා. එහෙත් එම චෝදනාව තම දියණිය ප්‍රතික්ශේප කළ ද ගුරුවරුන් තනි මතයක සිටි බවද ඇය සඳහන් කළා.
ඉගෙනීමට වඩා දක්ෂතා ඇති තම දියණිය ට විරුද්ධව යම් කිසි සිසුවියන් පිරිසක් සිදුකළ චෝදනාවක් නිසා තමන්ට දියණිය පිළිබඳව බලවත් දුකක් ඇති වූ බවත් ගුරුවරුන් නගන චෝදනාව නිසාම තමන් රුපියල් 500ක මුදලක් ණයට ඉල්ලාගෙන තම දියණිය දඹුල්ල රෝහලට රැගෙන ගිය බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර ඇති අතර රෝහලේදී දුවගේ නිර්දෝෂිභාවය ඔප්පු වූ බවද ඇය හැඬු කඳුලින් පවසා තිබෙනවා.

මේ පිළිබඳව කරුණු විමසීම සඳහා අප මඩාටුගම රේවත ආදර්ශ විද්‍යාලයේ විදුහල්පති එස් .කේ . ගොඩකන්ද මහත්මියට දුරකතනයෙන් කතා කොට මේ පිළිබඳව විමසූ අවස්ථාවේ ඇය කියා සිටියේ මෙම සිසුවියගේ කල්කිරියාව හොඳ නැති නිසා මේ තීරණයට පැමිණි බවයි. මෙම සිසුවිය ගැබිනියක් බවට එම සිසුවිය විසින්ම තවත් සිසුවියන් දෙදෙනෙකු සමග සඳහන් කොට තිබූ නිසා ඇය විද්‍යාලයෙන් ඉවත් කිරීමට සිදු වූ බව ද ඇය ප්‍රකාශ කළා.

උද්ගත වූ තත්ත්වය මත සිසුවිය පාසලේ තබා ගැනීමට නොහැකි නිසා මව්පියන් විසින්ම සිසුවිය පාසලෙන් ඉවත් කර ගෙන ගිය බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේවෙතත් සිසුවියගේ මවුපියන් පවසා ඇත්තේ තමන්ගේ එකම බලාපොරොත්තුව දියණියව එම පාසලට ඇතුලත් කිරීම බවයි. ගම්මුන් පවා මේ සිද්ධිය නිසා ගම අතහැර යන ලෙස පවසන බවද ඇය හැඬු කඳුලින් පවසා තිබෙනවා.

ඡායාරූප – දඹුල්ල කාංචන කුමාර

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!