Gossip

දුව ගෙදර ඇවිත් හිටියා, දනුෂ්ක ඊට පස්සේ දුවව හොයාගෙන අපේ ගෙදර ආවා – ආදරයට පිටුපෑ ඕෂධී ඉමාෂා පෙම්වතාගේ පිහි පහරින් මරුට

ඇයගේ වයස යාන්තම් අවුරුදු දාහතකි. මෙලොව එළිය දැක ගෙවී ගිය ඒ කෙටි කාලයේදී අධ්‍යාපනය ලැබීමට අමතරව ඇය පෙම් කළාය.
එනම් පෙම්වතියක වුවාය. පසුව ඇය නීත්‍යානුකූල නොවන නමුත් පුරුෂයකුගේ බිරිය වුවාය.
එලෙස….. එම පුරුෂයාගේ අඹුව වීම හේතුකොට ගෙන ඇය ගැබ් ගත්තාය. එය… ටික දිනකින් අහිමි වූ අතර ඇය ඊට මාසයකට දෙකකට පසු ජීවිතයෙන් ද සමුගත්තේ ඔහුගේ පිහි පහරට ගොදුරු වීමෙනි.
එනම්…. ඇටෙන් පොත්තෙන් එළියට එන්නටත් පෙර තමන්ගේ වයසට අදාල නොවන සිද්ධිදාමයක පැටළුණ ඇයට අවසානයේ උරුම වුයේ හතර රියන පමණි.
ඇය…. වර්ථමාන සමාජයේ සිටින පාසල් දැරියන් අතරින් අදට ගැලපෙනම ආකාරයේ දැරියකි. එනම්…. හොඳින් අධ්‍යාපනය ලබනවා වෙනුවට අනාගතය අමතක කර වයස එන්නටත් පෙර ප්‍රේම සබඳතාවල පැටලෙන පාසල් දැරියන් වැඩි සංඛ්‍යාවක් වෙසෙන සමාජයේ ඇයත් එක් පුරුකකි .
ඒ සමාජයට කදිම උදාහරණයකි.
හතුරුසිංහගේ ඕෂදී ඉමාෂා ගුණතිලක නම් වූ ඇය පදිංචිව සිටියේ කෑගල්ල පොලිස් වසමේ පල්ලේගම, ඩීවෙළ, මානෙල් පෙදෙස අංක 205 දරණ ලිපිනයේය. අධ්‍යාපනය ලැබුවේ කෑගල්ලේ ස්වර්ණ ජයන්ති විද්‍යාලයෙනි.
ඇයගේ මව ගුරුවරියකි. එහෙත්…. ඕෂදී පාසල් ගියේ නවවන ශ්‍රේණිය දක්වා පමණි. ඒ….ඇය පෙම් පලහිලව්වක පැටළුණ නිසා විය යුතුය.
පසුගිය පහළොස් වැනිදා වේලාව රාත්‍රී දහයට ආසන්න වෙද්දී කෑගල්ල රෝහලෙන් පොලිසියට ඇමතුමක් ලැබිණි. එම ඇමතුම ලබා දුන් රෝහල් සේවකයා පවසා සිටියේ පිහි ඇනුමකට ගොදුරු වු තරුණියක රෝහලට ඇතුළත් කළ බවත්, ඒ වන විට ද ඇය මියගොස් සිටි බවත්ය.
එම තොරතුර ලැබී විනාඩි කිහිපයක් ගතවෙද්දී පොලිසියට පැමිණි මැදි වියේ කාන්තාවක පැමිණිල්ලක් ඉදිරිපත් කළාය. ඇයගේ පැමිණිල්ල වුයේ “දනුෂ්ක මගේ දුවට පිහියෙන් ඇනලා මැරුවා” කියාය.
ඇය….. ඕෂදී ඉමාෂාගේ අම්මාය.
මෙම තොරතුරු ලද වහාම ක්‍රියාත්මක වූ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කණ්ඩායමක් ද සමඟ සිද්ධිය වූ පල්ලේවෙල බලා පිටත්විය.
පොලිස් ස්ථානයේ සිට කිලෝමීටර් දහයක් පමණ දුරින් පිහිටි එම නිවෙසට ගිය පොලිස් කණ්ඩායමට දක්නට ලැබුණේ සාලයේ තැනින් තැන වූ රුධිර දහරාය.
පිහි ඇනුමට ගොදුරු වූ දැරිය සිද්ධිය වී විනාඩි පහක් ගතවෙද්දී රෝහලට රැගෙන යාමට පවුලේ අයට හැකි වූ නමුත් කිලෝමීටර් දහයකට ආසන්න දුරක් ගෙවා ඇය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් සිටියාය.
මේ අතර මාවනැල්ල පොලිසියෙන් කෑගල්ල පොලිසියට තොරතුරක් වාර්තා විය. ඒ…. මෙම තරුණියට පිහියෙන් ඇන්න පෙම්වතා වන දනුෂ්ක ප්‍රසන්න වස පානය කොට අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කළ බවය.
පෙම්වතියට පිහියෙන් ඇන මරා දමා තමා ද දිවිනසා ගැනීම උදෙසා වස පානය කළ ද පෙම්වතා මියගොස් තිබුණේ නැත.
ඔහු රෝහලට රැගෙන විත් තිබුණේ ඔහුගේ මවුපියන් විසිනි. පෙම්වතියට පිහි පහර එල්ල කිරීමෙන් අනතුරුව ඔහු වස පානය කර තිබුණේ සිය නිවෙසට ගොසිනි.
මේ සිද්ධිය පිළිබඳ පරික්ෂණ ආරම්භ කළ පොලිසිය සොයාගත් තොරතුරු වලින් හෙළි වුයේ පෙම්වතියගේ නොසලකා හැරීම හේතුවෙන් කෝපයට පත් පෙම්වතා මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
පොලිස් පරීක්ෂණ වලදී හෙළි වූ තොරතුරු වලට අනුව සැකකාර දනුෂ්කගේ වයස අවුරුදු විසි හතරකි. ඔහුට ස්ථිර රැකියාවක් නැත. ඔහුගේ පියා ව්‍යාපාරිකයෙකි. මොහු පියාගේ ව්‍යාපාර කටයුතු වලට එක්ව සිය රැකියාව කරගෙන කල් ගෙව්වේය.
දනුෂ්කත් ඕෂදීත් අතර හිතමිත්‍ර කමක් ඇතිවුයේ කෙලෙස ද කියන්නට දෙපැත්තේම වැඩිහිටියන් දන්නේ නැත.
ඒ ගැන හරියටම දන්නේ දනුෂ්කත් ඕෂදීත් පමණි. එහෙත්….. ඒ තොරතුරු හෙළි කරන්නට අද ඕෂදි මෙලොව නැත.
ඒ ගැන දන්නා අනිත් පුද්ගලයා වන දනුෂ්කගෙන් තොරතුරු ලබා ගැනීම තවමත් අපහසු කරුණක් වී ඇත.
ඒ… ඔහු වස පානය කිරීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන්් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බැවිනි. දෙපාර්ශ්වයේ මවුපියන් දන්නේ මේ දෙදෙනා අතර පේ‍්‍රම සම්බන්ධයක් තිබුණ බව පමණි.
මේ සම්බන්ධය පවුල් වල අය හිතුවාටත් වඩා දුරදිග ගිය එකක් බව කාට කාටත් වැටහුණේ පසුගිය පෙබරවාරි මාසයේ දහඅටවැනිදා මේ දෙදෙනා හොර රහසේ පලා යාමෙන් අනතුරුවය.
සිය ළාබාල පෙම්වතිය හොර රහසේ ගෙදරින් පන්නාගත් පෙම්වතා ඇය සමඟ අනුරාධපුරය බලා පිටත්ව ගියේය.
එලෙස ගිය මේ දෙදෙනා නවාතැන් ගත්තේ ඥාති නිවෙසකය. මෙලෙස….පැනගොස් එකට ජීවත් වුවද ඔහුට තිබු ලොකුම ගැටලුව වුයේ ඇය නීත්‍යනුකූලව තමාට අයිතිකර ගැනීමට නොහැකි වීමය. ඒ…. ඇය තවමත් බාලවයස්කාරියක වීම නිසාය. එනම්….දනුෂ්ක හොර රහසේ පන්නාගෙන ආ පෙම්වතියගේ වයස අවුරුදු දාසයයි මාස හතකි.
පන්නාගෙන ආ දවසේ සිටම ඔහු කල්ගත කළේ යම් අසහනකාරී භාවයකිනි. ඒ…. ඇය කෙරෙහි ඔහු සිතේ නිරන්තරයෙන් මතුව ආ සැකය හේතුවෙනි.
නීත්‍යානුකූල නොවු නමුත් යුගදිවි ගමන් ඇරැඹු මුල් දින වල ඔහුගේ මේ සැකය ගැන ඇයට කිසිවක් නොතේරෙන්නට ඇත. ඔහු…. නිතරම තමා අසලම ගැවසෙන්නේ ඔහුගේ සිතේ තමා කෙරෙහි පවතින අසීමිත ආදර බැඳීම නිසා යැයි ඇයට හැඟෙන්නට ඇත.
එහෙත්…. කල් ගත වෙද්දී ඇයට යතාර්ථය තේරුම් යන්නට ඇත. එනම්…. ඔහු සෑම මොහොතකම තමා අසලම ගැවසෙන්නේ තමා කෙරෙහි සැකයෙන් සිටින නිසා බව ඇයට වැටහෙන්නට ඇත. දෙදෙනා අතර ගැටුම් හටගන්නට ඇත්තේ ඉන් අනතුරුව විය යුතුය.
ඔහුගේ සිතේ ඇය පිළිබඳ ඇතිව තිබු අසීමාන්විත සැකය හේතුවෙන් ඇයට වෙන කිසිම පිරිමියකු සමඟ කතා බහ කිරීමට තබා සිනහසීමට වත් ඉඩක් ලැබුණේ නැත.
පාරේ යන පිරිමි අයකු දෙස ඇයගේ ඇස ඉබේ හෝ ගියොත්, ඔහු ඒ බව දුටුවොත් එතැන ගැටුමකි.
එලෙස ඇයට ඥාති හිතමිතුරු පිරිමියකු සමඟ පවා සිනහසී කතා බහ කිරීමට දනුෂ්කගෙන් ඉඩ නොලැබෙද්දී ඇයගේ සිතේ ඔහු පිළිබඳ යම් පිළිකුලක් ඇති වුවා නිසැකය.
මේ අසීමිත සැකය කල් ගතවෙද්දී ඇයට දැඩි මානසික මෙන්ම කායික ද කරදරයක් වන්නට ඇත.
මවුපියන්ට පිටු පා සියල්ල හැරදමා දනුෂ්ක හා පැනගොස් ආරම්භ කළ යුග දිවිය ඇයට තිත්ත වූ අතර ඒ වන විට ඇයගේ මවුපියන් ද ඇය නිවෙසට කැඳවා ගැනීමට උත්සාහයක යෙදී සිටියේය.
ඒ… වයස අවුරුදු දහඅට වන තුරු ඇයට අධ්‍යාපනය ලැබීමට ඉඩ සලස්වා, ඔහු ද රැකියාවක් සඳහා විදෙස් ගතකොට එම වසරකට වැඩි කාලය දෙදෙනා දෙපසක තබා ගෙවෙන්නට හැරීමටය.
ඇයට වයස අවුරුදු දහඅට සම්පුර්ණ වූ පසු ඔහු මෙරටට කැඳවා දෙදෙනා විවාහ කර දීම මවුපියන් ගේ අරමුණ වූ අතර ඒ සඳහා දෙපාර්ශ්වයේම එකඟතාව පල වී තිබිණි.
එහෙත්…. පසුගිය පළමුවැනිදා ඇය මවුපිය නිවෙසට එන්නේ තනිවමය. ඒ… තවදුරටත් ඔහු සමඟ විසීම අපහසු කරුණක් වූ නිසාය.
“දුව ගෙදර ඇවිත් හිටියා. දනුෂ්ක ඊට පස්සේ දුවව හොයාගෙන අපේ ගෙදර ආවා. ඒත්…. දුව දනුෂ්කව ගණන් ගත්තේ නෑ. දවස් කිහිපයක්ම ආවත් දුව එයාව ගණනකට ගත්තේම නෑ.”
ඇයගේ මව එලෙස තොරතුරු හෙළි කළාය. ඇය පැවසු තොරතුරු වලට අනුව සිද්ධිය වූ පහළොස් වැනි අඟහරුවාදා රාත්‍රිය උදාවෙද්දී ඔහු ඇය හමුවීම සඳහා ඇයගේ නිවෙසට පැමිණ තිබිණි.
ඔහුගේ පැමිණීම ඇය තඹයකටවත් මායිම් කළේ නැත. ඇයගේ මේ නොසලකාහැරීම් මැද ඔහු සුපුරුදු ආදර බර ස්වරයෙන් “සුදු” කියා ඇය ඇමතුවේය. එහෙත්…. ඇය ඒ ආමන්ත්‍රණය නොඇසුණා සේ ඔහුට පිටු පා ගිය අතර ඉන් දැඩි ලෙස ඔහු සිත් වේදනාවට පත් වුවද ඒ බව නොපෙන්වා ඉවසා තව දුරටත් ඇයට ආදරයෙන් කතා කොට යළි ඇයගේ සිත තමා වෙත යොමු කරවා ගැනීමට උත්සාහයක යෙදිණි.
“සුදු” යන ආදර නාමයෙන් ඔහු ඇයට තුන් වතාවක් කතා කළේය. එහෙත්…. ඇය ඒ හඬ නොඇසුණාසේ තමන්ගේ පාඩුවේ සිටීමට උත්සාහ කළාය.
ඇය ඔහුට එලෙස පිටු පෑවද නිවෙසට පැමිණි අයකු හිතවත්ව පිළිගෙන සංග්‍රහ කිරීම සාමාන්‍ය සිරිතය. ඇය ඔහුව මෙලෙස ගණනකට නොගත්තේ පෙම්වතුන් අතර ඇති වු හිත් නොහොඳකමක් නිසාය. ඒවා සාමාන්‍ය දේවල්ය.
එබැවින් ඇයගේ මව කිරි තේ කෝප්පයකින් ඔහුට සංග්‍රහ කළාය. ඉන් භාගයක් ඔහු පානය කළේය. ඒ අතර එම ස්ථානයට පැමිණි ඕෂදී ගේ දස හැවිරිදි මල්ලි දනුෂ්කට කඩේට යන්නට කතා කළේය. ඒ…. දුරකථන කාඩ් පතක් මිලදී ගැනීම සඳහාය.
දනුෂ්ක ඒ ඉල්ලීමට ද ඇහුම්කන් දුන්නේය. ඔහු…. මල්ලී සමඟ වෙළෙඳසල අසලට ගිය නමුත් බඩු ගන්නා ස්ථානයටම ගියේ නැත. මල්ලී දුරකථන කාඩ් පත රැගෙන පැමිණෙන තුරු ඔහු ඒ අසලට වී බලා සිටියේය.
ජංගම දුරකථන කාඩ්පත මිලදී ගැනීමෙන් අනතුරුව දෙදෙනා නිවෙස වෙත එමින් සිටියහ. වෙළෙඳසලේ සිට නිවෙස පිහිටා ඇත්තේ පහළිනි. මල්ලීත් දනුෂ්කත් පහළට බැසගෙන එනු දුටු ඕෂදී ඔවුන්ට පිටු පා මුලුතැන්ගෙය දෙසට යන්නට වුවාය.
නිවෙසට ගොඩ වූ දනුෂ්ක යළිත් වතාවක් “සුදු සුදු” යැයි ආමන්ත්‍රණය කරමින් මුලුතැන් ගෙය දෙසට ගමන් කළේය. ඒ වන විට ඕෂදීගේ මව මෙන්ම මල්ලී ද මුලුතැන්ගෙයි සිටි අතර දනුෂ්ක ගේ පැමිණීමත් සමඟ මව බාල දරුවාද කැඳවාගෙන එතැනින් ඉවත් වුවාය.
ඒ…. දෙදෙනාගේ පටලැවිල්ල දෙදෙනාටම බේරා ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා විය යුතුය.
එහෙත්….. කොපමණ වාරයක් “සුදු” කියා ඇයට ආදරයෙන් ඇමතුව ද ඇය ඔහු දෙස හැරී බලන්නට වත් කාරුණික වුයේ නැත.
එලෙස ඔහු ගණනකට නොගත් ඇය ඔහුට පිටු පා කාමරය වෙත ගමන් කරන්නට වුවාය.
තමාගේ ආදරයට පිටුපාමින්, තමාට පිටු පා යන ඇය කෙරෙහි එවර ඔහුගේ සිතේ ඇති වුයේ වෛරයකි. පිටු පා යන ඇය වෙත ළං වු ඔහු ඇයගේ පිටුපස සිට ගෙළවටා අතක් දමා තදින් අල්ලාගෙන කලිසම් සාක්කුවේ තිබු පිහියක් ඇද ඇයගේ උදරය වෙත තදින් පහරක් ඇන්නේය.
ඒ වන විටත් ඒ අසල ගැවසෙමින් සිටි මව වහා ඉදිරිපත්ව දියණිය ඉදිරියේ සිටගත්තේ තව දුරටත් එල්ල විය හැකි පිහි පහර වලින් දියණිය බේරා ගැනීම සඳහාය.
එහෙත්….. ඔහු ද සිය ඉලක්කය අතහැරියේ නැත.
ඉන් අනතුරුව ඔහු කළේ ඇයගේ පිට ප්‍රදේශයට පිහි පහර එල්ල කිරීමය.
මේ සිද්ධිය වෙද්දී ඇයගේ මල්ලී ද අසල සිටි අතර ඔහු සිදුවන්නේ කුමක්දැයි අදහාගත නොහැකිව බලා සිටින්නට ඇත.
දනුෂ්කගේ පිහි පහර වලින් ඕෂදී අඩපණ වෙද්දී මව ඇය අල්ලා පුටුවක හිඳවුවාය. පුටුව මත ඉන්ද වු ඇයගේ පපු ප්‍රදේශයට යළිත් දනුෂ්කගෙන් පිහි පහර එල්ල වන්නට විය.
එලෙස ඇයට පිහිපහර කිහිපයක් එල්ල කළ ඔහු පිහිය ද රැගෙන යන්නට ගියේය.
ඒ අනුව වැටහී යන්නේ දින කිහිපයක් තිස්සේ ඇය කළ නොසලකාහැරීම් හේතුවෙන් සිද්ධිය වු දින දනුෂ්ක ඇය හමුවීමට පැමිණ තිබුණේ දෙකින් එකක් බේරාගැනීමේ අරමුණ ඇතිව බවය. එනම්…. ඔහු එදින පිහියක් ද රැගෙන පැමිණ තිබුණේ ඇය එදිනත් පිටුපෑව හොත් මරා දැමීමේ චේතනාව ඇතිවය.
මෙම සිද්ධිය පිළිබඳ පොලිසියට තොරතුරු ලබාදුන් ඕෂදී ගේ මව පවසා තිබුණේ දනුෂ්ක පිහි පහර දෙකක් අනිනු තමා දුටු බවයි.
එහෙත්….. ඕෂදී ගේ දේහය පිළිබඳ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වුයේ ඇයගේ සිරුරේ පිහිපහර නවයක් තිබුණ බවයි. ඇය මිය ගොස් තිබුණේ එල්ල වූ එක් පිහිපහරකින් හෘදය වස්තුවට බරපතල හානි සිදුවීමත් පපුවට එල්ල කළ තවත් පිහිපහරකින් පපු ප්‍රදේශයට බරපතල හානි සිදුවීමත් හේතුවෙනි.
ඕෂදී යනු ළාබාල වියේ පෙම් කිරීමට ගොස්, නීත්‍යනුකූල නොවන ලෙස දීග කා අවසානයේ පෙම්වතා අතින් ඝාතනය වු පළමු දැරිය නොවන්නේය.
එහෙත්….. ඕෂදී ගේ මේ ජීවිත කතාව පාසල් අධ්‍යාපනය ලබමින් හෝ නොලබමින් සිටින ළාබාල ගැටවර වියේ පසුවන කෙල්ලන්ට ආදර්ශමත් පාඩමකි.
ළමා කාලයේදී අධ්‍යාපනය ලැබිය යුතුය. පාසල් අධ්‍යාපනය අවසන් වන්නේ තරුණ වියට එළැඹීමත් සමඟය. ඒ වයසේ දී නුහුරු නුපුරුදු ආදර සිතුවිලි, විරුද්ධ ලිංගිකයන් කෙරෙහි අසීමාන්විත ආකර්ෂණයක් ඇතිවීම සාමාන්‍ය දෙයකි.
එහෙත්….. සිතට දැනෙන, හිත ඉල්ලන සෑම දෙයම ලබා ගැනීමට උත්සාහ කිරීම හිස් ගෙඩි ය ඇතුලේ මොළ ගෙඩියක් නොව ඒ මොළ ගෙඩිය ඇතුලේ නුවණ තියෙන දරුවන්ගේ ක්‍රියාවක් වන්නේ නැත.
එබැවින්…. අධ්‍යාපනය ලබා ස්ථාරවයකට පැමිණි පසු පෙම් කළ හැකිය. එතෙක් ඉවසා සිටිමින් අනාගතය හදා ගැනීම නුවණ ඇති සියල්ලන්ගේම වගකීමය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!