Gossip

ගෘහ සේවයට ගිහින් සාර්ථක වී බිල් ගේට්ස් සමඟ දේශන පවත්වන නිලූෂිකා ජයවීර

1

වසරේදී ගෘහ සේවිකාවක වශයෙන් සිංගප්පූරුවට ගිය ශ්‍රී ලංකා තරුණියක වසර 15ට පමණ පසුව සිංගප්පූරුවේදී සාර්ථක ව්‍යාපාරිකාවක බවට පත්වූ පුවතක් සිංගප්පූරු මාධ්‍ය වාර්තා කරයි.

සිය දෙමාපියන්ගේ වියෝවෙන් පසුව අනාථ නිවාසයක වාසය කළ නිලූෂිකා ජයවීර නම් මෙම දිරිය තරුණිය මුලින්ම සිංගප්පූරුවට පිවිසෙන්නේ සිය ජීවිකාව පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් සොයාගැනීම සඳහායි. නමුත් ඇය සිය දිවිය නව මානයකට යොමු කරමින් සිංගප්පූරුව තුළ ව්‍යාපාරිකාවක බවට පත්ව ඇති තිබේ.

එසේම ඇය සිංගප්පූරුවේ විවිධ අවස්ථාවලදී අභිප්‍රේරක දේශනද පවත්වා තිබේ. 36 හැවිරිදි නිලූෂිකා ශ්‍රී ලංකාවේ තේ වතුවලින් ලබාගන්නා තේ පත්‍ර පෙට්ටිවලට ඇසුරුම් කළ ජාත්‍යන්තර ගැනුම්කරුවන් වෙත අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නීය. එසේම ඇයට ඒ සඳහා 500ට අධික ජාත්‍යන්තර ගැනුම්කරුවන් සංඛ්‍යාවක් සිටිති.

සිංගප්පූරුවේ පැවැති ටී.ඊ.ඩී (TED) නම් අභිප්‍රේරක වැඩසහටනකදී ඇය සිය ජීවිත කතාව පිළිබඳව දැක්වූ අදහස් සිංගප්පූරු මාධ්‍ය ඉහළ වටිනාකමකින් යුතුව වාර්තා කර තිබුණි. මෙම වැඩසටහනේ දේශකයන් ලෙස නිලූෂිකාවට අමතරව ලෝකයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් වන බිල් ගේට්ස්, හිටපු ඇමෙරිකානු උප ජනපතිවරයෙකු වන අල් ගෝ හා පර්යේෂකයෙකු වන ජේන් ගුඩාල් යන අය සහභාගිවී සිටියහ.

දෙමාපියන්ගේ වියෝවෙන් පසුව තම කුඩා සහෝදර සහෝදරියන් සිවු දෙනෙකු ජීවත් කරවීමට ඇය තෝරා ගන්නේ සිංගප්පූරුවේ ගෘහ සේවයයි. කෙසේ වෙතත් සිංගප්පූරුවේ ගත කළ කාලයේදී ඇය අයිඩා නම් රාජ්‍ය නොවන සංවිධානයකට එක්ව තම මුදල් කළමනාකරණය කරගන්නා අයුරු හා ව්‍යාපාරයක් ආරම්භ කරන අයුරු ඉගෙන ගෙන තිබේ.

ඉන් අනතුරුව තවදුරටත් සිය දැනුම වර්ධනය කරගැනීමට ඇය මූල්‍ය සාක්ෂරතාව, ව්‍යාපාර  හා නායකත්ව ගුණාංග පිළිබඳව හැදෑරීම් කර තිබේ.

ඉන් අනතුරුව ඇය සිය සැමියා සමග එක්ව ක්‍රමයෙන් ව්‍යාපාරික කටයුතු ආරම්භ කරයි. මේ වනවිට නිලූෂිකා සාර්ථක කාන්තාවක බවට පත්ව අවසන්ය.

කෙසේ වෙතත් ඉන් නොනැවතී ඇති ඇය ශ්‍රී ලංකාවේ සිටින ගැමි කාන්තාවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහාද කටයුතු ආරම්භ කර තිබේ. ඒ සඳහා ඇය රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවා ඇති අතර ඒ හරහා ව්‍යාපාරයක් ආරම්භ කරන ආකාරය පිළිබඳව කාන්තාවන්ට ඉගැන්වීමට කටයුතු කරයි. එසේම දුප්පත් දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය ලබාගැනීමට අවශ්‍ය කටයුතුද සම්පාදනය කරයි.

උපුටා ගැනීමකි

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!