Gossip

”මම තරම් අඬපු නැති කෙනෙක් මේ ලෝකේ නැතිව ඇති”

බොහෝ දෙනෙක් ඇයව හඳුන්වන්නේ වෘත්තීය මෝස්තර නිරූපිකාවක් ලෙස. නමුත් පසුගියදා තිරගත වූ සෙලීනා චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව නිරූපණය කෙරුණ සුරූපිනිය ඇයයි. මෝස්තර නිරූපිකාව නිළියක් වීමේ කතාව දැනගන්න නිලුක්ෂි අමන්දා සිල්වාට කතා කළා.

සෙලීනා ඔබේ ප්‍රථම චිත්‍රපටයද?

මගේ පළවෙනි චිත්‍රපටය තමයි සෙලීනා. මීට කලින් ටෙලි නාට්‍ය කීපයක රඟපාලා තියෙනවා. විසුල අහස යට ටෙලිනාට්‍ය තමා මාව ජනප්‍රිය නිළියක් කළේ. කොහොම හරි අවුරුදු 5කින් පස්සේ තමා ආයෙත් රඟපාන්න කැමරාවක් ඉස්සරහට ආවේ.

ඒ කාලය තුළ මොනවද කළේ

මගේ වෘත්තිය මොස්තර නිරූපණය. ඒ වෘත්තිය තුළ මට ඕනතරම් වැඩ තියෙනවා.

කොහොමද සෙලීනා ලැබෙන්නෙ?

දිනෙත්ද සිල්වා මගේ හොඳ යාළුවෙක්. ඔහු තමා මේ චිත්‍රපටයේ පිටපත මට දුන්නේ. මගේ හිත ඒ තිර රචනාවට ගොඩක් කැමැති වුණා. හිතුණා මේ චරිතය රඟපානවා කියලා.

ඔබ සිනමා පවුලකින් පැවතගෙන එන කෙනෙක් නේද?

ඔව්, පියදාස විජේකෝන් කියන්නේ මගේ සීයා. ප්‍රියන්ත විජේකෝන් මගේ මාමා. ප්‍රියන්ත මාමා ඉස්සර මෝස්තර නිරූපණයට සම්බන්ධයි. ඒ දේවල් දැකලා තමයි මටත් මෝස්තර නිරූපණය ගැන කැමැත්තක් ඇතිවුණේ.

ඉගෙන ගන්න කාලෙමද කලාවට සම්බන්ධ වුණේ?

මම කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයෙන් ඉගෙන ගත්තේ. ඉස්කෝලේ යන කාලේ පොත ඔළුවේ තියාගෙන බැලන්ස් එකට ඇවිදිනවා. වාසනාවට මගේ උස අඩි 5 අඟල් 9යි. ඊට අමතරව ඩාන්සින්වලටත් ලොකු කැමැත්තක් තිබුණා. මේ හැම දෙයක් තුළම මෝස්තර නිරූපිකාවක් වීමේ ඉඟිබිඟි තමා තිබිලා තියෙන්නේ.

ගෙදරින් ප්‍රශ්නයක් වුණේ නැද්ද?

ගෙදර අයට මාව විශ්වාසයි. අනික මම මොඩ්ලින්වලට ආවේ ගියේ මගේ තාත්තා එක්කමයි. ෆිල්ඩ් එකේ තාත්තා එක්ක එන මොඩ්ල් හැටියට මාව ප්‍රසිද්ධ වෙලා තිබුණා.

මුලින්ම කරපු ඉවන්ට් එක මතකද?

රොසෑන් ඩයස් ළඟ මම ඉගෙන ගත්තේ. 2010 වර්ෂයේ බෙස්ට් මොඩ්ල් වෙලා ස්පාඤ්ඤයට ගියා. එම තරගයේ අවසන් පස්දෙනා අතරට ආවා. එහිදී බෙස්ට් බොඩි කියන ඉවෙන්ට් එක දිනුවා. 2014 මිස් ශ්‍රී ලංකා නොමිනේට් වුණා. විවිධ රටවල පැවැති තරගවලින් ජයග්‍රහණ ලබාගත්තා. කොරියාවලදී සම්මානයක් පවා දිනාගන්න අවස්ථාව ලැබුණා.

ඇයි රංගනය සඳහා වැඩි ඉඩකඩක් වෙන් නොකළේ?

හිත සතුටු වෙන දෙයක් කරන්න තමයි කැමති. මගේ කැමැත්ත තියෙන්නේ මෝස්තර නිරූපණයට. මෙගා නාට්‍යවලට කතා කළා. නමුත් යොදවන්න තරම් කාලයක් තිබුණේ නැහැ.

නිරූපිකාවක් හැටියට ලැබෙන ආදායම ජීවත් වෙන්න ඇද්ද?

මෙහෙමයි හොඳ වැඩ ලැබුණොත් ප්‍රශ්නයක් නැහැ. මම මගේ වෘත්තීය භාවය නියම ආකාරයට මේන්ටේන් කරනවා. ඉතින් මට ප්‍රශ්නයක් නැහැ.

ඔබ විවාහකද?

ඔව් මම විවාහකයි. හරිම සතුටින් කසාද ජීවිතය ඇතුළේ ජීවත් වෙන යුවතියක්.

ඔහු කැමැතිද ඔබේ වෘත්තියට?

ඔහු මාව හඳුනගන්නේ මම ඒ වෘත්තියේ ඉන්නකොට. ඔහු මාව ඉතාමත් හොඳට තේරුම් අරගෙන තියෙනවා. කිසිම දවසක මට මේ දේවල් නතර කරන්න කියලා නැහැ. ඔහු තමා මගේ දේවල්වලට සහයෝගය ලබාදෙන්නෙ.

අතීතය ගැන දුක් වෙනවද?

පොඩ්ඩක්වත් නැහැ. අතීතයෙන් ඉගෙන ගත්තු පාඩම් නිසා තමා වර්තමාන ජීවිතය සාර්ථක කරගන්න ලැබුණේ.

ජීවිතේ අඬපු දවස් තියෙනවද?

තියෙනවා. මම හිතන්නේ අඬපු නැති කෙනෙක් මේ ලෝකේ නැතිව ඇති.

අතීතයේ හිත් රිඳවීම් තාමත් තියෙනවා?

මෙහෙමයි, අපි හැමෝටම අතීතයක් තියෙනවා. හැබැයි දැන් ඉන්නේ වර්තමානයේ. එතකොට අතීතය ගෙවුණ දවස් ටිකක් විතරයි. ඒ ගෙවුණ දවස්වල කෙරුණු අනුවණ දේවල් හදාගෙන වර්තමානයේ සාර්ථක ලෙස කටයුතු කරනකොට දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ. අතීතයේ හිත් රිඳුම් හා කඳුළුවලින් තමා අනාගතය සාර්ථක වෙන්නේ.

අවංකවමද කතා කරන්නෙ?

ඇයි මම බොරු කියන්නේ. මම සතුටින් ඉන්නේ කියලා ඔබට දැනෙන්නේ නැද්ද? මම අදහන දෙයක් තියෙනව. වර්තමානයේ හොඳ දේවල්වල වටිනාකම දැනෙන්නේ අතීතයේ නරක දේවල් අත්හැරිය නිසයි.

මොනවද වර්තමානයේ ලැබුණ හොඳම දේවල්?

වෘත්තීය මෝස්තර නිරූපිකාවක් හැටියට මම ලබාගත්තු සාර්ථකත්වය. මට හොඳ සැමියෙක් ලැබීම. අනාගතයේ ලස්සන පැටව් ටිකක් අපේ ලෝකය තවත් ලස්සන කරයි. මීට වඩා ගැහැනියකට වටින දෙයක් තවත් තියෙනවද?

ඔබ ඔබේ වෘත්තියට හුඟක් ගරු කරනවද?

අනිවාර්යයෙන්ම. මම විතරක් නෙමේ හැම කෙනෙක්ම එය කළ යුතුයි. මම මොස්තර නිරූපණ ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු එකොළහක් වෙනවා. තාමත් මම ටොප් මොඩ්ලර් කෙනෙක් හැටියට ඉන්නේ මම වෘත්තියට ගරු කරන නිසා. අද ඉන්න බොහෝ දෙනෙක්ගේ නැති දේ ඒක තමා.

ඉදිරියටත් රඟපානවද?

හොඳ තිරපිටපතක් ලැබුණොත් සලකා බලනවා. නිර්මාණ ගොඩක ඉන්නවට වඩා හොඳ නිර්මාණයකට දායක වෙන්න ලැබෙනවනම් හොඳයි.

ඇයි මෙච්චර තෘප්තිය ගැන හිතන්නෙ?

ජීවත් වෙන්නේ මොකටද..විඳවන්න නෙමේනේ. ඉතින් මමත් ආසයි හැම තත්පරේම මගේ හිත සතුටින් තියන්න. එතකොට තමා ජීවත් වෙන්න ආසාව ඇතිවෙන්නේ.

සෙලීනා චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රශ්න මැද්දේ වුණත් චිත්‍රපටය දුවනවා. කොහොමත් මම හැමදාම අභියෝගවලට මුහුණ දුන්න කෙනෙක්. ඉදිරියටත් එහෙම්මම තමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!