Gossip

කම්ඹුල් රෝස පැහැවීමේ රෝගයෙන් පෙළෙන සායි පල්ලවී

බොලිවුඩය මෙන්ම කොලිවුඩයත් ලෝකයට සුරූපී හා දක්ෂ නිළියන් රැසක් තිළිණ කළ සිනමා ක්ෂේත්‍රයන් දෙකක්. කොලිවුඩය, එනම් දකුණු ඉන්දීය සිනමාව ගැන සලකා බලන විට වර්තමානයේ එහි සිටින සුවිශේෂිත නිළියක් තමයි සායි පල්ලවී.
නිතරම රෝස පාටින් දිලෙන ඇගේ දෙකොපුල් දකින ඕනෑම කෙනෙකුට සිතෙන්නේ කොලිවුඩයේ රෝස කුසුම ලෙස ඇයව හැඳින්වීමේ වරදක් නැති බවයි.

සායි පල්ලවී සෙන්තමරායි තමිල්නාඩු ප්‍රාන්තයට අයත් කොයිම්බතූර් හි කේටාගිරි ප්‍රදේශයේ උපත ලබන්නේ 1992 වසරේ මැයි 09 වැනිදා, ඇගේ පියා සුරාබදු නිලධාරියකු වන සෙන්තමරායි කන්නන්, මව රාධා කන්නන්, සායි පල්ලවීගේ නිවුන් සොහොයුරිය වන පූජාත් නිළියක්.

අවියා කන්‍යාරාමයෙන් අධ්‍යාපනය අරඹන ඇය අධ්‍යාපනය නිමා කරන්නේ ජෝර්ජියාහි TBILISI රාජ්‍ය වෛද්‍ය විද්‍යාලයෙන් 2016 වසරේ දී MBBS වෛද්‍ය උපාධිය හිමි කර ගැනීමෙන් අනතුරුවයි.

මේ වන විට දකුණු ඉන්දියානු සිනමාවේ සාර්ථකම නිළියක් වන පල්ලවී සිනමාවට අත්පොත් තබා ඇත්තේ අවුරුදු 13 දී. ඒ 2005 වසරේ කස්තුරි මාන් චිත්‍රපටයෙන්. එහෙත් ඇය ප්‍රධාන චරිතයක් නිරූපණය කළ පළමු චිත්‍රපටය වන්නේ 2015 මැයි 19 වන දා තිරගත වූ ප්‍රේමම් නමැති මලයාලම් චිත්‍රපටයයි.

අල්ෆොන්සේ සුදාරන් අධ්‍යක්ෂණය කළ ප්‍රේමම් හි ඇය රඟපෑවේ ‘මලර්’ නමැති චරිතය. එහි ප්‍රධාන නළුවා වූයේ නිවින් පෝලි. ඉන්දීය රුපියල් කෝටි 04ක් වැය කරමින් නිපද වූ විනෝදාත්මක චිත්‍රපටයක් වූ එහි සංගීත අධ්‍යක්ෂණය කළේ රාජේෂ් මුරුගේශන්. ඉන්දීය රුපියල් කෝටි 60කට වැඩි ආදායමක් උපයමින් බොක්ස් ඔෆිස් වාර්තා තැබූ ප්‍රේමම් ඇයට වාසනාව ගෙන ආවා.

2015 ASIANET සම්මාන උළෙලේ ජූරියේ විශේෂ සම්මානය, එම වසරේ ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ දකුණු ඉන්දියානු සිනමාවේ හොඳම කාන්තා රංගනය, සිමා සම්මාන උළෙලේ දකුණු ඉන්දීය හොඳම කාන්තා රංගනය, 63 වන බ්‍රිතාන්‍ය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ දකුණු ඉන්දියානු හොඳම කාන්තා රංගනය, ආදී සම්මාන රැසක් දිනා ගැනීමට ප්‍රේමම්හි මලර් ලෙස කළ රඟපෑම ඇයට උපකාරී වුණා. මීට අමතරව 2016 වසරේ ASIA NET සම්මාන උළෙලේ දී කාලි චිත්‍රපටයේ අංජලී චරිතය හරහා ජනප්‍රියම දකුණු ඉන්දියානු නිළිය ලෙස සම්මානයට පාත්‍ර වන්නටත් ඇයට හැකියාව ලැබුණා. 2018 වසරේ ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ තෙලිඟු සිනමාවේ හොඳම නිළිය බවට ඇය පත්වන්නේ ‘ෆිඩා’ සිනමා පටයේ ‘භානුමතී’ චරිතයෙන්.

වෛද්‍ය උපාධියක් ලබා සිටියත් පල්ලවී පූර්ණ කාලීන වෛද්‍ය සේවයේ යෙදී සිටින බවත් වාර්තා වන්නේ නැහැ.

එක් චිත්‍රපටයක රඟපෑම සඳහා රුපියල් කෝටි 30-60 අතර ගණනක් අය කරන ඇය සුපිරි BMW රියක හිමිකාරියක්.

ඇය දක්ෂ නර්තන ශිල්පිනියක් බව බොහෝ දෙනකු නොදන්නා කාරණයක්. ETV රූපවාහිනියේ ධී අල්ටිමේට් ඩාන්ස් ෂෝ (SEASON 04) නම් තෙලිඟු රියැලිටි වැඩසටහන, 2008 විජේ TV රූපවාහිනියේ උංගල් යාර් උදුකා DANCE REALITY SHOW වැඩසටහන ඇය සහභාගි වූ රූපවාහිනී වැඩසටහන් දෙකක් වෙනවා.

එළවළු ආහාර පමණක් (VEGETARIAN) ගන්නා සායි පල්ලවී චොකලට් මෙන්ම පැණිරස ආහාරවලට වැඩි රුචියක් දක්වනවා. එමෙන්ම ඇය දැඩි ක්‍රිකට් ලෝලිනියක්. ප්‍රියතම නළුවන් ලෙස කමල් හසන්, සූර්යා හා මැමටි සලකන ඇගේ ප්‍රියතම නිළියන් වන්නේ ජෝතිකා සහ සිම්රන්. කවුරුන් හෝ ඇය වඩාත්ම කැමැති චරිතය ගැන ඇසුවොත් ඇය නොඅනුමනාවම පවසාවි ඒ මහා භාරතයේ අභිමන්‍යු චරිතය ප්‍රියකරන බව.

ඇගේ බොහෝ රසිකයන්ට පවතින ගැටලුවක් තමයි නිතරම ඇගේ දෙකොපුලේ පවතින අසාමාන්‍ය රෝස පැහැය. නමුත් ඊට හේතු වී ඇත්තේ රූපලාවණ්‍ය ආලේපනයක් නොවෙයි. වෛද්‍යවරු එය හඳුන්වන්නේ ROSACEA නමින්. එයට හේතුව ඇතැම් අයගේ මුහුණේ රුධිර නාළ සමට ඉතා ආසන්නයෙන් පැවතීම. එසේ වුවත් පල්ලවීට නම් එම තත්ත්වය නිසා ලැබී ඇත්තේ අනෙකුත් නිළියන්ට නොලැබෙන ස්වාභාවික ආකර්ෂණයක්. කොහොමත් ඇය දර්ශන තලයේ දී අත්‍යවශ්‍ය මොහොතක දී පමණයි රූපලාවණ්‍ය හා වේශ නිරූපණ ආලේපන යොදා ගන්නේ.

ද්‍රවිඩ චිත්‍රපටවල අඩුවෙන් රඟපෑවත් ඇය වඩාත් කැමැති තමා ද්‍රවිඩ ජාතිකයකු ලෙස හඳුන්වනවාටයි.

‘‘මගේ බොහෝ මිතුරන් ද්‍රවිඩ අය. මා පවසන තුරු බොහෝ අය PREMAM චිත්‍රපටය නරඹා තිබුණේ නැහැ. එය එතරම් සාර්ථක නොවුණා නම් මා මලයාලම් නිළියක නොවීමට ඉඩ තිබුණා…’’

ඇය මාධ්‍ය වෙත පවසා සිටියා.

පල්ලවී තවමත් අවිවාහක නිළියක්. වසර කීපයකට පෙර ඇය පවසා තිබුණේ තමන් කිසිදා විවාහ නොවී දෙමව්පියන් රැක බලාගෙන ජීවත් වන බවයි. එහෙත් පැතිර යන අලුත් ආරංචි අනුව නම් පෙනී යන්නේ ළඟදීම පල්ලවී විවාහ වීමට අදහස් කර සිටින බව. ඒ චිත්‍රපට අධ්‍යක්ෂ අල් විජෙයි සමග. 2018 වසරේ ‘කරු’ චිත්‍රපටය සඳහා ඔවුන් එකට කටයුතු කළා. මාධ්‍ය වාර්තාවලින් කියැවෙන ආකාරයට ඉදිරියේ දී ඔවුන් එක වහලක් යට කූඩුවීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!