Gossip

“ෆේස්බුක් හරහා ගැහැණු දරුවෝ විනාශ වෙන කාලේ. අඩ නිරුවත් ෆොටෝ දානවා. දෙයියනේ අම්මලා ඉන්නේ ඇස් කන් පියන්ද කියලා හිතෙනවා.” – නිල්මිණි තෙන්නකෝන්

ඇය සුවහසක් රසික රසිකාවියන්ගේ මහ මෙරක් තරම් වූ ආදරය අසීමිත ලෙස ලබන තාමත් පුංචි තිරේ බබළවන නිල් මැණිකයි.
එදා වාගේම අදත් ඇගේ මන බඳින රංගනයෙන් තිරය ඔපවත් වෙද්දී ඒ වටා එක්රොක් වන පිරිස නම් අති විශාලයි. ජීවිතයේ අප්‍රමාණ දුක් කම්කටොළු පසු කරන් පැමිණි ඇගේ ජීවන ගමනේ සුවදැතිම කුසුම අද්දර සැනසුම් සුසුම් අද ඈ හෙළන්නේ කඳුළු පරදා ලැබූ සතුට… සොම්නස දෝතින්ම දරාගෙනයි.
නිල්මිණි තෙන්න‍කෝන්… ඔබෙත් – මගෙත් ආදරය දිනූ පුංචි තිරයේ නිළි රැජන කාලෙකට පසු සතිඅන්ත පුවත්පතක් සමග ඇයගේ අලුත්ම තොරතුරු මේ විදිහට බෙදාගෙන තිබුණා.

ඉතිං නිල්මිණි මුලින් ම කියන්නකො ඔබේ අලුත් ම කලා කටයුතු ගැන?
ගොඩක් නිර්මාණ කරලා තියනවා. ටෙලි නාට්‍යම දහඅටක් විතර. චිත්‍රපට දෙකක් තියෙනවා. මේ නිර්මාණ ප්‍රමාද වීම හිතට විශාල දුකක්.

ඔබ ටිකක් කලකිරීමෙන් වාගේ…?
අපේ කලාවට සිදුවෙන මේ අවාසනාවන්ත ඉරණම ළඟ අප්‍රමාණ කණගාටුවක් හිතේ තියෙනවා.
මම ව්‍යාපාරයක් කරන බව ඇත්ත. නමුත් කලාකරුවන් ජීවත් වෙන්නෙ කලාවෙන්.
සත පහකට වැඩක් නැති විදේශ ටෙලිනාට්‍ය නිසා අපේ කලාකරුවන් අසරණ වෙලා. රටේ වාතාවරණයත් සුභදායක නැති නිසා හැ‍මෝගේම කලා කටයුතු නතර වෙලා. මේක ප්‍රවීණ කලාකරුවන්ට වැඩ නැතුව ගෙවල්වලට වෙලා. හරිම අවාසනාවන්ත තත්ත්වයක්.

මෙවන් පසුබිමක ඔබටත් විවේකයක් ලැබිලා ඇති නේද?
ඇත්තටම විවේකයක් මට නම් නෑ. හැමදාමත් මට වැඩ. ළඟදිත් අලුත් නිර්මාණයකට නුවර ගිහින් රූපගත කිරීම් ඉවරවෙලා ගෙදර ආවේ.
දවස ආරම්භ වෙන්නෙ කලා ලොවේ වැඩත් සමඟමයි. මගේ බියුටි සැලෝන් එකෙත් වැඩ පිරිලා තියන නිසා විවේකය මට අඩුයි.
හැබැයි හෙට අනිද්දා ඉඳලා නම් මම ටිකක් විවේක ගන්න ඉන්නේ. දුව උසස් පෙල විභාගයට ලියනවා මේ අවුරුද්දෙ. ඒ වෙනුවෙන් මට අනිවාර්යයෙන් විවේකය ඕන වෙනවා.

උසස් අධ්‍යාපනය හදාරන්න තරම් ඇය දැන් ලොකු වෙලාද?
ඒකනේ. මටත් හිතාගන්න බෑ. දරුවෝ හැමදාම චූටියට අපි ළඟ දැවටි දැවටි ඉන්නවා නම් අපි ආසයි.
ඒත් මේ සොබාදහමට අපි ඉඩදෙන්න ඕන. දුව දිහා බලන් ඉන්නකොට වෙලාවකට ඇස් තෙත් වෙනවා.
මේ මැණිකව මේ තරම් දුරක් ගේන්න මම තනිවම මොන තරම් වෙහෙසක් මේ ජීවිතේ අරගෙන ඇතිද?
(ඇගේ දෑස් තෙත් වී ගෙන එනවාදෝ මට සිතුණා. එහෙම තමා නිල්මිණි හරිම සංවේදියි.)

ඔබ ලැබූ අත්දැකීම් තුළින් ඔබ දියණිය දිහා අලුත් ඇසකින් බලන හැඩයි.?
ඇත්තටම ඔව්…. කිසිම කෙනෙකුගෙන් රුපියලක්වත් අරගත්නෙ නැතුව මගේ ම දහඩිය මහන්සියෙන් දුවව මම උස් මහත්කළේ.
මම නිතර උත්සහ ගන්නෙ මට සිදු වූ ඉරණම දුවට අත් නොවෙන්න දෙන්නයි. අපි දෙන්නා හොඳ යාළුවෝ වාගේ. මගේ ජීවිතයේ බොහෝදේවල් දුව දන්නවා.
එයා හරි බුද්ධිමත් දරුවෙක්. මට හිතෙනවා මටත් වඩා එයා ජීවිතය පිළිබඳ දරන අදහස් හා ආකල්පවලින් ඉන්නේ ඉදිරියෙන් කියලා.
පාසලේ අනිත් දරුවන්ගේ ප්‍රේම සම්බන්ධතා ගැන උණත් දුව කියන්නේ අම්මේ සැහැල්ලුවෙන් ඉගෙන ගන්න තියෙන කාලේ ඔළුවට අනවශ්‍ය බරක් ඒ අය අරන් තියෙන්නේ කියලා.

එහෙම දරුවෙකුගේ හෙට දවස ගැන බයක් නෑ නේද…
ඔව්. ඇයටත් ආදරය දැනෙන දවසක් එයි. අනිවාර්යයෙන් දුව මට ඒ ගැන කියයි. දුව මුකුත් ම සඟවන කෙනෙක් නෙමේ. ඇය දන්නවා අම්මා විඳවපු දුක් ගිනි කන්දරාව.

රූගත කිරීම්වලට යද්දී දුවගේ ආරක්ෂාව හදන්නේ කොහොමද?
මම මගේ කෙල්ලව එක මොහොතක් පිට තැනක තියලා යන්නේ නෑ.
අඩුම තරමේ සර්වන්ට් කෙනෙකුට වත් භාර දෙන්නේ නෑ. මගේ අම්මා ළඟ තියලා තමා සියලු වැඩවලට මම යන්නේ.
ළමයින්ව ඇහි පිල්ලම් යට තියන් හදන්න ඕන කාලයක් මේ. දැන් බලන්න මේ ෆේස්බුක් හරහා ගැහැනු දරුවෝ විනාශවෙන කාලේ. අඩ නිරුවත් ෆොටෝ දානවා. දෙයියනේ අම්මලා ඉන්නේ ඇස් කන් පියන්ද කියලා හිතෙනවා.

දුවගේ අනාගත සහකරුවා ගැන ඔයා දකින හීනය…
ඒ සඳහා තව කල් තියනවා. සියල්ලට පෙර ඇය හොඳ අධ්‍යාපනයක් ලැබිය යුතුයි.
මහත්මා ගුණ ඇති මවට – බිරිඳට ගරු කරන පුතෙක් මතු දිනක මගේ ප්‍රාර්ථනයයි.
හොඳ පිරිමි ළමයෙක් හොයනවා කියන්නෙ කළු නික හොයනවා වාගේ වැඩක්. අද ඉන්න පිරිමි ළමයි පිරිමි ළමයිමද කියලා වෙලාවකට හිතෙනවා. කරාබු දාපු.. කොණ්ඩය වවපු කොල්ලෙකුට නම් කවදාවත් මගේ දුව දෙන්නේ නෑ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!