Gossip

එතනදී තමයි මට මුලින්ම එයාව හමුවුණේ

“දෑස වසා සිටියා” “පුර හඳ ලෙස” වගේ ප්‍රේක්ෂක හදවත් වැලඳගත් ගීත රැසක් ගායනා කළ මායා දමයන්ති අද නිහඬවෙලා ඇයි…?

නිහඬව නම් නැහැ. මම ප්‍රසංගවලට සහභාගි වෙනවා. නමුත් මෑතකදී අලුත් ගීතයක් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ටික දවසකට කලින් කරපු ගීත කිහිපයක් තිබෙනවා. නමුත් තාම ඒවා එළිදක්වන්න බැරිවුණා විවේකයක් ලැබුණෙ නැති නිසා.

ඔබේ හඬ වඩා ගැළපෙන්නේ උත්තර භාරතීය රාගධාරි සංගීතය වෙනුවෙන් කීවොත් ඔබ එයට එකඟද..?

මම ගොඩක් හැදෑරුවෙ රාගධාරි සංගීතය තමයි. නමුත් ජනගායනා, සරල ගී, ඒ හැම දේමත් මම හදාරලා තියනවා.

පෙර අපරදිග යනාදී ඕනෑම සංගීත ශෛලියකට අවස්ථානුකූලව අනුගතවීමේ හැකියාවක් ඔබ සතුයි. ඒ සඳහා ලොකු හැදෑරීමක් අවශ්‍ය වෙන්න ඇති…?

ඇත්තටම ඔව්. මම සංගීතය මුල ඉඳලම හදාරලා තියෙනවා. මම සේවය කළෙත් කොළඹ විශ්වවිද්‍යාලයේ. නමුත් ළමයින්ගේ වැඩකටයුතුයි සංගීත සංදර්ශනයි එක්ක මට රැකියාවෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා. ඉන්පසුව රෙකෝඩින්වලට යන ඒවා කළේ රෑට. මොකද ළමයින් නිදියන වෙලාව නිසා. එවැනි කැපකිරීම් කරලා තමයි මං මගේ හැකියාවන් වර්ධනය කරගත්තේ. ගායන පැත්තෙන් මට කුමන ශෛලියක ගායනයක් දුන්නත් මං ඒවා බැහැ නොකියා භාරගෙන කරනවා.

ඔබ මේ වෙනකොට චිත්‍රපට කීයකට පසුබිම් ගායනයෙන් සම්බන්ධවෙලා තිබෙනවාද..?

චිත්‍රපට එකසිය පනහකට අධික ප්‍රමාණයකට මම මගේ දායකත්වය ලබාදීලා තියනවා. හැම රංගන ශිල්පිනියකටම වගේ මම ගීත ගායනා කරලා තියෙනවා.

ඔබ ගැයූ පැරැණි ගීත අදටත් ජනප්‍රියයි නේද..?

“දෑස වසා සිටියා” ගීතය තමයි මගේ මුල්ම ගීතය. ඒ හරහා මට හොඳ ප්‍රතිචාර ලැබුණා. ගීතය රචනා කළේ මාලා වජිරා පෙරේරා මහත්මිය. ඊට පස්සේ මගේ “පුරහඳ ලෙස” ගීතයත්, “හිමිදිරියේ” ගීතයත් රසිකයන් ආදරයෙන් වැලඳගත්තා. එම ගීතවලට අදටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ඔබේ මුල්ම ගීතයට ඔබේ සැමියාගෙත් සම්බන්ධතාවක් තියෙනවානේ..?

ඔව්. ඒක සතුටින් මතක් කළ යුතු කාරණයක්. මේ ගීතය සඳහා මගේ මහත්තයා තමයි සංගීතය සැපයුවේ. ඔහු දැනට ලංකාවේ සිටින එකම ෂෙනායි වාදකයා. ඒවගේම ඔහු බොහොමයක් චිත්‍රපට සඳහා පසුබිම් ගායනය සපයලා තියෙනවා. මගේ පළමු ගීතය සඳහා මගේ සැමියාගෙන් ලැබුණු දායකත්වය ඉතා අගයකොට සලකනවා.

ඔබේ කලා කටයුතුවලට අත හිත දෙන සැමියාගේ හමුවීම කොහොමද සිද්ධවුණේ කියලත් මතක් කරන්න අකැමැති නැතුව ඇති..?

ඒක ගොඩක් අහඹු හමුවීමක්. මගේ ගුරුතුමිය අමරා රණතුංග. දයාරත්න රණතුංගගේ “සාරංග” ප්‍රසංගයට මම අත්වැල් ගායනයට සහභාගි වුණා. එදා එහි ෂෙනායි වාදනයට ආවේ වික්ටර්. එතැනදි තමයි මට මුලින්ම මගෙ සැමියව මුණගැහුණේ.

ඔබේ ගී අස්වැන්න තුළ ගී පද රචනයට ප්‍රවීණයන්ගේ වගේම නවකයන්ගේ සහාය ලබාගෙන තිබෙනවා නේද..?

මගේ ගී පද රචනාවලට ප්‍රවීණයන් මෙන්ම නවකයන්ද දායකත්වය ලබාදුන්නා. චිත්‍රපටවලට ගොඩක් ප්‍රවීණයන්ගෙන් තමයි දායකත්වය ලබාගත්තේ. ඒ අතර කේමසිරි අල්විස්, අජන්තා රණසිංහ, ධර්මසිරි ගමගේ වගේ බොහොමයක් දෙනා ඒ සඳහා දායකත්වය ලබාදුන්නා. ඒ වගේම නවකයන්ටත් විශේෂ තැනක් මගේ නිර්මාණයන්වලදී ලබාදුන්නා.

ඔබත් ක්ෂේත්‍රයට කට්ට කාගෙන ආ නිසාද නවකයන්ට තැන දෙන්න තීරණය කළේ..?

ඇත්තටම ඔව්. මමත් නවකයෙක් වෙලා හිටිය කාලයක් තිබුණා. ඒ කාලේ අපි ගොඩක් දුක් ගැහැට වින්දා. ඒ නිසා මම හිතනවා නවක පරපුරේ ඉන්න
දක්ෂයන්ට අතහිත දුන්නොත් ගොඩක් හොඳයි කියලා. විශේෂයෙන්ම මගේ “හිරු දෙවි රද ඔබ” ගීතය ලියපු පුෂ්පා මාලනී ජිනසේන කියන දියණිය අදටවත් මම දැකලා නැහැ. එහි පදරචනය ඉතාම ලස්සනයි. ආචාර්ය රෝහණ වීරසිංහයන් තමයි එහි සංගීතය කරලා තියෙන්නේ. ඒ නිසා මම දැන හැඳුනුම්කම්වලින් තොරව දක්ෂයාට තැන දෙනවා.

අද පවතින මියුසික් වීඩියෝ රැල්ල ගැන ඔබට මොකද හිතෙන්නේ..?

නව රැල්ලේ රූප රචනා යොදා ගනිමින් නිර්මාණය කරන ගීතවලට මගේ විරුද්ධත්වයක් නැහැ. විශේෂයෙන් සින්දුවකට රූප රචනාවක් එක්කිරීම තුළින් එම සින්දුවේ අදහස වඩාත් තීව්‍ර ලෙස ඉස්මතු කිරීමේ හැකියාවක් තියෙනවා. ගීතයේ ගුණාත්මක භාවයට හානියක් නොවන අයුරින් රූප රචනාව යොදා ගත්තට මම එහි වරදක් දකින්නේ නැහැ.

නමුත් ඔබේ නිර්මාණයන් සඳහා මියුසික් වීඩියෝ යොදාගත්තේ හරි අඩුවෙන් නේද..?

ඇත්තටම ඔව්. අද කාලේ මියුසික් වීඩියෝවක් කරන්න විශාල මුදලක් යොදවන්න සිද්ධවෙනවා. අනික අපේ කාලේ ගීතවලට මියුසික් වීඩියෝ අවශ්‍ය වුණේ නැහැ. මොකද හඬට තමයි රසිකයෝ ගොඩක් ආදරය කළේ. ඒ නිසා රසික හදවත තුළ ඒවා අදටත් නොමැකී තියෙනවා. අමරදේව, සනත් නන්දසිරි, වික්ටර් රත්නායක, නන්දා මාලනී වගේ ගායක ගායිකාවන්ගේ ගීත තමයි අදටත් වැඩිහරියක් ළමයි තරගවලදී පවා ගායනා කරන්නේ. මොකද ඔවුන්ගේ ගීතවලට රසිකයෝ අදටත් ආදරය කරන්නේ රූප රචනාවක් තිබිලා නෙවෙයි.

දැන් මියුසික් වීඩියෝවක් නැතුව සිංදුවක් ජනප්‍රිය කරගන්න අමාරුයි කියලා ඔබටත් දැනෙනවද..?

මම විශ්වාස කරන විදියට බුද්ධිමත් ප්‍රේක්ෂකයෝ වැලඳ ගත යුතුදේ වැලඳ ගන්නවා. කාටවත් ඒක බලෙන් දෙන්න බැහැ. විශේෂයෙන් අපේ ගීතවලට මියුසික් වීඩියෝ යොදා නොගත්තා කියලා රසිකයෝ අපිව බැහැර කරලා නැහැ. තාමත් ඔවුන් අපේ ගීත හදවතින් වැලඳ ගන්නවා. ඒ නිසා අසන්නාගේ සියුම් තැන් ස්පර්ශ වෙන අන්දමින් හදවතට දැනෙන අයුරින් ගායනා කරන්න ගයන්නා දක්ෂ නම් එම ගීතය හිට් කරගන්න රූප රචනාව අනිවාර්ය වෙන්නෙ නැහැ.

එදා සහ අද සංගීත ක්ෂේත්‍රයේ වෙනස මොන විදිහටද ඔබ දකින්නේ..?

අපේ කාලේ ගීත ගායනා කරන කොට එක දිගට ගායනා කරන්න ඕනෑ. ඒ වගේම ඒකාලේ එතරම් තාක්ෂණික දියුණුවක් තිබුණෙත් නැහැ. ඒ කාලේ “ගේ්‍රඩ්” කරලා තමයි සිංදු කියන්න ගත්තේ. ඒ මිසක් අපිට ඕන ඕන විදිහට සින්දු කියන්න බැහැ. එදා තැන තිබුණේ සැබෑ දක්ෂයට විතරයි. නමුත් අද වනවිට එය හුඟක් වෙනස් වෙලා. සින්දු කියන්න බැරි වුණත් පුළුවන් වුණත් සල්ලි තියෙනවා නම් ඒක අද එතරම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනික නව තාක්ෂණය යොදාගෙන හඬ විවිධ විදිහට හදාගෙන ගායනා කරන්න පුළුවන්.

නමුත් යම් අවස්ථාවකදී ඔවුන්ට ස්ටේජ් එකක සින්දුවක් කියන්න කීවොත් අන්න එතැනදි අමාරුවේ වැටෙනවා. ඒක තමයි එදා සහ අද සංගීත ක්ෂේත්‍රයේ වෙනස විදිහට මම දකින්නේ.

නවක පරපුරට මොනවගේ ඔවදනක්ද ඔබට දෙන්න තියෙන්නේ..?

නවක පරපුරට මට කියන්න තියෙන්නේ සල්ලි වියදම් කරලා ගීත ගායනා කරන්න එපා. තමන්ගේ හැකියාව තියෙනවා නම් විතරක් ගීත ගායනා කරන්න කියලා. මම දෙන ඔවදන තමයි කලාව හරියට දැනගෙන ඉගෙන ගෙන කලාවට යොමුවෙන්න කියලා. කලාව විකුණගෙන කන්නේ නැතිව කලාව වෙනුවෙන් අර්ථවත් යමක් කරන්න උනන්දු වෙන්න කියන එක තමයි මම නවක පරපුරට කියන්නේ.

ඔබේ දියණියත් දක්ෂ නර්තන ශිල්පිනියක් වගේම දක්ෂ ගායිකාවක්. ඔබ ගමන් කළ ඒ අඩිපාර තුළ ඔබේ දියණියත් පැමිණීම පිළිබඳ ඔබට මොකද හිතෙන්නේ..?

මට ගොඩක් සතුටුයි. මගේ දියණියත් කලාවට යොමුවීම පිළිබඳව. ඇත්තටම එයා මට වඩා දක්ෂයි. සංගීතයට පමණක් නෙවෙයි නර්තනයටත් ලොකු හැකියාවක් එයාට තියෙනවා. එයා වුණත් දක්ෂ නැත්තම් කලාවට එනවට මම කැමැති නැහැ. මගේ දුව ගායන ශිල්පිනියක් කියලා මම අලුතෙන් එන අයට වළ කපන්නෙත් නැහැ. මම ඉතා දක්ෂ ළමයාට මුලින්ම ලකුණ දෙනවා. මොකද කලාවෙ පැවැත්මට හැඳුනුම්කම්, හිතවත්කම් අදාළ නැහැ. සුදුස්සාටයි සුදුසු තැන හිමිවිය යුත්තේ.

ජීවිතේ දෙස ආපස්සට හැරිලා බලද්දි ඔබට ඔබේ ගමන ගැන සතුටුද.,?

මම ඉතාමත් සතුටුවෙනවා. සංගීත ක්ෂේත්‍රයෙන් දුර ගමනක් එන්නට ලැබීම පිළිබඳව. ඒ වගේම මගේ දරුවෝ දෙන්නත් කලාවට ගොඩක් ළැදියි. විශේෂයෙන්ම ලොකු දුව “කුෂාණි” මගේ ගමන ඉදිරියට ගෙනියනවා. ඒ අනුව මේ වෙනකොට පවුලේ අයත් එක්ක සතුටින් සැ¼දෑ සමය ගතකරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!