Gossip

මම මධුවන්තිවත් දාලා කාමරයෙන් එළියට දිව්වා. තාත්තා බලාගෙන ඉඳලා පොල්ලක් අරගෙන මධුවන්තිගේ ඔලුවට ගැහුවා

අපරාධයක් කර සැඟවිලා ඉන්න බැහැ කියලා කියමනක් මේ සමාජයේ තියෙනවා.
කවදාහරි දවසක එය එළියට එනවා.
මීට වසර හතකර පෙර සිදුවූ එවැනි අතීත කතාවක් අපි ඔබට ගෙන එන්න හිතුවා.
මේ ඒ කතාවයි.

එදා මම මධුවන්තිත් එක්ක අපේ ගෙදර ආවා. ඒ එද්දී තාත්තා හොඳටම බීලයි හිටියේ. ඔය ජරා ගෑණු මෙහේ ගේන්න එපා. මොනවටද ගෙනාවේ කියලා බැන බැන මට ගහන්න ලැහැස්ති වුණා. මම මධුවන්තිවත් දාලා ගෙයින් එළියට දිව්වා. එළියට වෙලා ගේ ඇතුල බලාගෙන ඉන්දෙද්දී තාත්තා පොල්ලක් අරගෙන මධුවන්තිගේ ඔළුවට පාරක් ගැහුවා. එයා ‘බුදු අම්මෝ’ කියලා කෑ ගහගෙන බිම වැටුණා. ඊට පස්සේ තේ කපන පිහියෙන් තාත්තා එයාගේ …….. කැපුවා.”

ඉමදුව, කනංකේ, සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලය අසල පදිංචිව සිටි ප්‍රබෝධා මධුවන්ති නමැති දාහත් හැවිරිදි පාසල් සිසුවියගේ ඝාතනය පිළිබඳව සැකපිට අත්අඩංගුවට ගත් ඇයගේ පෙම්වතා පොලිස් නිලධාරින් හමුවේ එසේ ප්‍රකාශ කළේය.

මෙම ඝාතනය සිදුවූයේ 2011 වසරේදීය. එම වසරේ අගෝස්තු මස විසි වැනිදා නිවෙසින් පිටවු මධුවන්ති යළි නිවෙසට පැමිණියේ නැත. දින විසි පහක් පමණ අතුරුදන්ව සිටි ඇයගේ නරක් වු මළසිරුර හමුවන්නේ සැප්තැම්බර් මස දාහතර වැනිදාය. පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළේය. ඒ වනවිටත් ඇය පෙමින් බැඳී සිටි පෙම්වතා අතුරුදන්ව සිටියේය. පරීක්ෂණ පැවැත්වූ පොලිසිය ඔහුගේ පියා අත්අඩංගුවට ගත්තේය. පියා රිමාන්ඩ් ගත වුවද පුතා ගැන තොරතුරක් නොවීය. අපරාධයක් සිදුකොට සැඟව සිටි නොහැකි බව යළි පසක්කර දෙමින් ගමෙන් පලා ගොස් සිටි පුතා පසුගියදා අත්අඩංගුවට පත්වූයේ කොළඹ නගරයේ සැඟවී සිටියදීය. යක්කලමුල්ල පොලිසිය මගින් ඔහු කොටුකරගෙන තිබුණි.

ඒ සිද්ධිය වී මාස නවයකට පමණ පසුවය. යක්කලමුල්ල පොලිසිය මේ ඝාතනයේ පරීක්ෂණවලට එක්වූයේ සිරුර සඟවා තිබුණු ප්‍රදේශය යක්කලමුල්ල පොලිස් බල ප්‍රදේශයේ පිහිටා තිබූ නිසාය.

යක්කලමුල්ල පොලිසිය දැඩි වෙහෙසක් දරා සැකකරු අත්අඩංගුවට ගත් බව සැබෑය. සිය පෙම්වතියට පණ මෙන් ආදරය කළා යැයි කියන ඔහුට ඇයගේ මේ වියෝව ගැන කිසිම කනගාටුවක් තිබුණේ නැත. ඔහු කඳුලක් හෝ සුසුමක් හෝ නොහෙලා තවදුරටත් එදා කළ කී දෑ විස්තර කරන්නට විය.

“බලද්දී එයා මැරිලා. ටිකක් කළුවර වුණාට පස්සේ මමයි තාත්තයි එකතු වෙලා මධුවන්තිගේ මිනිය කර තියාගෙන ගිහින් වත්ත පිටිපස්සේ තියෙන තේ කැළයට දැම්මා. දාලා ගෙදර ඇවිත් ලේ හෝදලා දාලා පාඩුවේ හිටියා.”

පිය පුතු දෙදෙනා එතැනින් නැවතුණේ නැත. පසුදාටද පහන් වෙද්දී ඔවුහු කළ යුතු දේ ගැන සාකච්ඡා කරන්නට වූහ.

සන්ධ්‍යාවද උදා විය. නිවෙසින් රෙද්දක්ද ගෙන එළියට බැසගත් දෙදෙනා කෙළින්ම ගියේ මධුවන්තිගේ මළසිරුර තිබු ස්ථානයටය. නරක් වීමට ආසන්නව තිබු සිරුර රෙද්දෙන් ඔතා කර තබා ගත් පිය පුතු දෙදෙනා වෙළෙන්දාව රබර් වත්ත වෙතට ගමන් කළහ. ඒ වනවිට හිරු බැසයාමට ආසන්නය. අඳුර දසත ගලා එමින් තිබිණි.

රබර් වත්තේ එක්තැනක පිහිටියේ ගල් ගුහාවකි. ගල් දෙබොක්කාව දුටු පිය පුතු දෙදෙනා මධුවන්තිගේ සිරුර ඒ තුළට ඔබා නොපෙනෙන ලෙස ගල් අතුරා වසා දමා දෑත් පිස දමාගෙන නිවෙසට පැමිණියහ. පුතා රැකියාව සඳහා ගමෙන් පිටවිය. ඔහු පෙදරේරුවකු ලෙස තැනින් තැනවැඩ කරන අතර පියා කිසිවක් සිදුනොවු අයුරින් කල් ගෙවන්නට වූයේය.

පසුගිය වසරේ සැප්තැම්බර් මස දාහතර වැනිදා යක්කලමුල්ල පොලිසියට තොරතුරක් ලැබිණි. ඒ සිය වසමට අයත් වෙළෙන්දාව රබර් වත්තේ ගල් බෙනයක කාන්තාවකගේ මළ සිරුරක් තිබෙන බවය. පොලිස් නිලධාරිහු පරීක්ෂණවලට එක්වන්නේ ඉන් අනතුරුවය.

ගල් බෙනය තුළ සිරවී කුණු වී පනුවන් ගසා තිබූ මළසිරුර එළියට ගත් පසු එය හඳුනා ගැනීම සඳහා කිහිපදෙනෙකු ඉදිරිපත් විය. ඒ අතර මධුවන්තිගේ මවුපියන්ටද නාඳුනන මළසිරුර පිළිබඳ ආරංචිය ලැබිණි. ඒ වනවිට සිරුර කරාපිටිය රෝහල් මෘත ශරීරාගාරයට රැගෙන ගොස් තිබූ අතර මධුවන්තිගේ මව, පියා, මිත්තණිය ඇතුළු පිරිසක් එහි ගොස් සිරුර හඳුනා ගත්හ.

“මගේ මිනිබිරී ටික කාලයක් අපේ ගෙදර නතර වෙලා හිටියා. කකුල්වල නියපොතු නරක් වෙලා කියලා මරතෝඬි ගෑවා. කකුලේ නියපොතුවලින් තමයි මම එයා අපේ දරුවා කියලා හඳුනා ගත්තේ.” මධුවන්තිගේ මිත්තණිය වු ආරියවතී සිය අත්දැකීම් විස්තර කළාය.

සිරුර හඳුනා ගැනීමෙන් අනතුරුව මධුවන්තිගේ පියා කනංකේ පොලිසියට කියා තිබුණේ මෙම මරණය සම්බන්ධයෙන් දියණිය හා මිත්‍ර වී සිටි තරුණයාත් ඔහුගේ පියාත් සැක බවය. ඒ ඔස්සේ පොලිසිය තරුණයාගේ පියා අත්අඩංගුවට ගත් අතර ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සිද්ධිය දිගහරින්නට විය.

ඊට පසුව අතුරුදහන් පුතා සෙවීමේ කාර්යය භාරගත් යක්කලමුල්ල පොලිසිය ඒ සඳහා දිගින් දිගටම වෙහෙසෙන්නට විය. තොරතුරු සොයා ගිය පොලිසියට තරුණයා පිළියන්දල ප්‍රදේශයේ මේසන් වැඩවල යෙදී සිටින බවට දැනගන්නට ලැබිණි. නමුත් පොලිසිය යනවිට ඔහු එම ප්‍රදේශයෙන් යන්නට ගොසිනි. අවශ්‍යතාව පිළිබඳ ප්‍රදේශවාසීන් දැනුවත් කළ පොලිසිය සිය මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක කරන්නට විය.

සැකකාර තරුණයා වැලිකඩ ප්‍රදේශයේ මේසන් වැඩවල නියැළී සිටින බවට යක්කලමුල්ල පොලිසියට යළි තොරතුරක් ලැබිණි. ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් වැලිකඩ ප්‍රදේශය බලා පැමිණියේ ඉන් අනතුරුවය. තොරතුරු ලබා දුන් අයගේ නිවැරදි මඟපෙන්වීම යටතේ වැලිකඩ බස් නැවතුම්පොළක සිටි සැකකරු අත්අඩංගුවට ගන්නා විට වේලාව රාත්‍රී අටහමාර පමණ වී තිබිණි. ඒ මෙයට දින දහයකට පමණ පෙරදීය. කනංකේ පදිංචිව සිටි ඔහු සතුව රාජගිරියේ ලිපිනයක් යෙදු ජාතික හැඳුනුම්පතක් විය. එහි සඳහන් පරිදි ඔහුගේ වයස අවුරුදු විසි දෙකකි. සිය ජාතික හැඳුනුම්පත අස්ථාන ගත වු බව කියමින් කනංකේ පොලිසියේ පැමිණිල්ලක් දමා එහි පිටපතක් ගෙන ඒ මගින් ඔහු මේ නව හැඳුනුම්පත සාදාගෙන තිබිණි. අත්අඩංගුවට පත් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ඉන්පසුවය.

මධුවන්ති හා තරුණයකු අතර සම්බන්ධකමක් පවතින බව මධුවන්තිගේ මවුපියන්ට දැනගන්නට ලැබී තිබුණේ පසුගිය වසරේ මධුවන්ති අතුරුදන්වීමට දින කිහිපයකට පෙරදීය. ඒ වනවිට ඇය පැනෑටියන පිහිටි සිය පුංචිඅම්මාගේ නිවෙසේ සිට පාසල් ගිය අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ගිය දෙසැම්බරයේ වාඩිවීමට නියමිතව සිටියාය.

ඇයගේ මේ සම්බන්ධකම දැනගත් මවුපියන් ඇය නිවෙසට කැඳවා ගන්නේ අගෝස්තු දහනව වැනිදාය. එදින නිවෙසට පැමිණෙන ඇය පසු දින එනම් අගෝස්තුª මස විසි වැනිදා උදේ නිවෙසින් පිටවන්නේ මිතුරියකගේ දානේ ගෙදරක යන බව පවසමිනි. එහෙත් දානේ ගෙදර ගිය ඇය සවස් වනතුරුම යළි නිවෙසට පැමිණියේ නැත. ඇය සතුව ජංගම දුරකතනයක්ද නොවන බැවින් බියට පත් මවුපියන් කනංකේ පොලිසියට යන්නේ එදිනම සවස් භාගයේදීය. ඒ වනවිට තවත් පිරිසක් පොලිසියට පැමිණ සිටියේ සිය දෙවැනි පුතා නිවෙසින් අතුරුදන් බව කියමිනි. මධුවන්තිගේ පෙම්වතා මේ පවුලේ පුතකු බව මවුපියන් දැනගත්තේ ඉන් අනතුරුවය.

මේ තරුණයා හා තරුණිය නිවෙස්වලට හොර රහසේ පැන ගොස් ඇති බවට සැක කළ පොලිසිය දෙදෙනා සෙවීමද ආරම්භ කළේය. තරුණ යුවළ පිළියන්දල ප්‍රදේශයේ සිටින බවට පොලිසියට තොරතුරක් ලැබෙන අතර ඒ බව මධුවන්තිගේ මවුපියන්ටද පොලිසිය විසින් දන්වනු ලැබීය. මේ අතර සැප්තැම්බර් මස දහ වැනිදා පණිවිඩයක් ලැබෙන්නේ මධුවන්තිගේ ලොකු අම්මාටය. පෙම්වතාගේ මව හා නැගණිය ලොකුª අම්මා හමුවට පැමිණ පවසා තිබුණේ සිය පුත්‍රයා නිවෙසට පැමිණ සිටින බවත් දුව සොයා ගන්නා ලෙසත්ය.

ඒ අනුව නැවතත් කනංකේ පොලිසියට යන මධුවන්තිගේ මවුපියන් මේ පණිවුඩය පොලිසියට දන්වා සිටියේය. පොලිසිය තරුණයාගේ නිවෙසට දුරකථන ඇමතුමක් ගෙන විමසද්දී ඔහුගේ මවුපියන් පවසා තිබුණේ පුත්‍රයා පිළියන්දල වැඩපලක සිටින බවකි. එම වැඩපලට ඇමතුමක් දුන් පොලිසිය තරුණයා හා කතා බහ කිරීමට අවස්ථාව උදාකරගත් අතර ඔහු පවසා තිබුණේ අතුරුදන් තරුණිය පිළිබඳ තමා කිසිවක් නොදන්නා බවයි. පසුදා උදේ නවයට පැමිණෙන ලෙසට ඔහුට පොලිසිය විසින් දැන්වූ අතර මධුවන්තිගේ මවුපියන්ට ද පැමිණෙන ලෙස දැන්වීය.

පසුදා උදේ මධුවන්තිගේ මවුපියන් මෙන්ම තරුණයා සහ ඔහුගේ පියාද පොලිසියට පැමිණ සිටියහ. මධුවන්තිගේ පියා වෑන් රථයක් කුලියට ගෙන පොලිසියට ගොස් සිටි අතර තරුණයා ඔහුගේ පියා මාමා හා මධුවන්තිගේ පවුලේ අය වාහනයේ නැගී තරුණයාගේ මඟපෙන්වීම යටතේ තරුණිය සොයා පිටත් විය. මේ ගමනට පොලිසියේ කිසිවෙක් සහභාගී වූයේ නැත. පිරිස මුලින්ම ගියේ කළුතරටය. ඒ තරුණිය කළුතර සිටින බවට තරුණයා කී බැවිනි. ඇය ඒ නිවසේ නොවීය. යළි තරුණයා කියා සිටියේ ඇය පිළියන්දල සිටින බවකි. පිරිස රැගත් වාහනය පිළියන්දල බලා ධාවනය විය.

තරුණයාගේ මඟපෙන්වීම යටතේ පිළියන්දල ප්‍රදේශයේ නිවෙස් හතරකට ගොස් විපරම් කළ ද ඇය නොවීය. එම නිවෙස්වල ඇය තරුණයා හා සිටි බව පමණක් දැන ගන්නට ලැබිණි. හතරවන නිවෙසින් පිට වු වහාම පිරිස අතහැර තරුණයා පැන ගියේය. තරුණිය හමුවූයේ නැත. “අයියෝ එයා පැනලා ගියා නේද” අපි නම් හිතුවේ නෑ පුතා එහෙම පැනලා යයි කියලා” තරුණයාගේ පියා හා මාමා එසේ කියා නිශ්ශබ්ද වූහ. මේ බව දුරකථනය ඔස්සේ කනංකේ පොලිසියට දැන්වීමෙන් අනතුරුව ආපසු පැමිණෙන ලෙසට පොලිසිය ඔවුන්ට උපදෙස් දුනි.

ඊට පසු දිනයේදීද පොලිසියට පැමිණෙන ලෙසට දන්වා තිබුණත් පොලිසියට ගිය ඔවුන්ට සිදුවූයේ ආපසු හැරී නිවෙසට පැමිණීමටය. වෙළෙන්දාව රබර් වත්තේ ගල්දෙබොක්කාවක කාන්තා මළ සිරුරක් තිබෙන බවට ගෙදර අයට ආරංචිය ලැබෙන්නේ ඊට පසුවදාය. එනම් සැප්තැම්බර් 14 වැනිදාය.

“අපි කරාපිටිය මෝචරියේ තිබුණ මළසිරුර දුවගේ කියලා හඳුනා ගත්තා. ඒත්… එයාගේ ඇඟේ තිබුණේ යට ඇඳුම් විතරයි. උඩ ඇඳුම් මොකුත් තිබුණේ නෑ. එයා ගෙදරින් යද්දී පොත් වගයක්, දිනපොතක්, බෑග් එකක් හා කුඩයක් අරගෙන ගියා. ඒවත් මොකුත් හමුවුණේ නෑ” මධුවන්තිගේ මව තිස්පස් හැවිරිදි කිෂාන්ති ගමගේ හැඬූ කඳුළින් පවසා සිටියාය.

“දුව ඉගෙන ගන්න එතරම්ම දක්ෂ නෑ. ඒත් හරිම හොඳ ළමයෙක්. ගිය අවුරුද්දේ දෙසැම්බර්වල සාමාන්‍ය පෙළ විභාගෙට ලියන්න සුදානම් වෙවී හිටියේ. එයාගේ මෙහෙම සම්බන්ධකමක් තිබෙන බවක් අපට තේරුණේවත් නෑ. එයාගේ හැසිරීම්වල කිසිම වෙනසක් තිබුණෙත් නෑ.

එයා ලස්සන ගේක ඉන්න ලස්සනට අඳින්න පළඳින්න හරිම ආසයි. අපේ පුංචි මැටිගෙයි ඉන්නවට වඩා එයා මගේ සහෝදරියන්ගේ ගෙවල්වල ඉන්න තමයි ආස. ඒ ගෙවල්වල ලයිට් තියෙන, පහසුකම් තියෙන තැනක ඉන්න තමයි එයා වැඩිපුරම ආස කළේ. එයා කිය කියා හිටියේ විභාගේ ඉවරවෙලා ගාමන්ට් රස්සාවකට යනවා කියලා. රස්සාවට ගිහින් රත්තරං බඩු හදාගන්නවා කියලා. අනේ මගේ දුවට ඒ කිසි දෙයක් කරගන්න බැරිවුණා. එයාගේ ඒ බලාපොරොත්තු සේරම නැති කළා. එයාට හිස් අතින් මේ ලෝකෙන්ම යන්න සිද්ධ වුණා. මගේ පුංචි කෙල්ලට මෙහෙම අපරාධයක් කළේ ඇයි දෙයියනේ” ඇය එසේ පවසමින් හඬා වැළපෙන්නට වූවාය.

මේ අතර මධුවන්තිගේ ඝාතනය පිළිබඳ සැකපිට තරුණයාගේ පියා අත්අඩංගුවට ගත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් මස දාහතර වැනිදාය. පසුදා යම්කිසි පිරිසක් විසින් ඔවුන්ගේ නිවෙස ගිනි තබා විනාශ කර දැමීය. ඒ වනවිට පවුලේ සැවොම මධුවන්තිගේ අවසන් කටයුතු සඳහා සූදානම් වෙමින් සිටියහ. සීල් කළ පෙට්ටියක සැතපී නිවෙසේ සාලයේ සිටිනා ඇයගේ අවසන් කටයුතු මෘත ශරීරය භාරගත් දිනයේම සිදුකැරිණි.

යොවුන් ආදරය පසුපස හඹාගිය මධුවන්තිට ආකාලයේ සිය ජීවිතයෙන් සමුගැනීමට සිදුවූයේ ඒ අයුරිනි.

මධුවන්ති හා ඔහු අතර සම්බන්ධකමක් පටන්ගෙන ඇත්තේ පාසලේදීය. ඒ මීට වසර දෙකකට පමණ උඩදීය. ඒ කාලයේදී තරුණයා ද පාසල් අධ්‍යාපනය ලබමින් සිටි අතර ඔහු ඉගෙනීමට දක්ෂයකු වූයේ නැත. වසර අවසාන වාර විභාගවලින් පවා අසමත්ව එකම පන්තියේ වසර කිහිපයක් සිටීමටද ඔහුට සිදුවිය. ඉගෙනීමට අදක්ෂ වූවද ඔහු පාසලේ කැපී පෙනුණ චරිතයක් විය. ඒ ඔහු සතුවූ ක්‍රීඩා කුසලතාව නිසාය. එහෙත් ඔහු පාසල් අධ්‍යාපනයට ආයුබෝවන් කියා කුලී වැඩ කරන කම්කරුවකු ලෙස රැකියාව ආරම්භ කළේ කළ හැකි අන් දෙයක් නොවූ නිසාය.

ඔහු හා මධුවන්ති අතර පවතින පේ‍්‍රම සබඳතාවට ඔහුගේ පියා තදින්ම විරෝධය පළ කළේය. ඒ කිසිවකටත් ඇහුම්කන් නොදුන් ඔහු සිය පේ‍්‍රම සබඳතාව දිගටම පවත්වාගෙන ගියේය.

“අපේ සම්බන්ධයට තාත්තා හොඳටම විරුද්ධයි. ඒකයි මෙහෙම දෙයක් සිද්ධ වුණේ.”

සැකකරු පොලිසිය හමුවේ පැවසුවේය.

මධුවන්තිගේ මරණය පිළිබඳ පැවැත්වු පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවූයේ මොට ආයුධයකින් හිසට එල්ල කළ පහරකින් ඇය මිය ගිය බවය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!