Gossip

ලොකු පුතාට මී පාසානම් කැව්වා, චුටි පුතාගේ මුණට කොට්ටයක් තියලා තද කරගෙන හිටියා

මිනිස්සු විශ්වාස කරන්න අමාරු කාලයක් මේක.
ඒ වගේම තමයි ආදරේ කියලා පුංචි වයසෙදි හැඟීමට වහල් වෙලා ගන්න තීරණ නිසා ජීවිත පවා විනාශ වෙලා යනවා.
ඒ විදිහට තමන් ආදරේ කරලා විවාහ වෙලා මවක් වූ තරුණියකට අත්වුණු ඉරණමක් ගැන කියවෙන සංවේදී කතාවකි මේ.
“මට චුටි පුතා ලැබෙන්න ඉන්දෙද්දී හීරාන්ගේ වෙනසක් දැක්කා.
ගෙදර ඒම ටික ටික අඩුවුණා. මම මානසික සහ කායිකව හරියට දුක්වින්දා.
පුතා හම්බවුණාට පස්සෙත් මට හරියට ඉන්න තැනක් වත් කන්න ටිකක්වත් තිබුණේ නෑ.
විඳවලා විඳවලා එපාම වෙච්ච තැන හිතුවා මායි දරුවෝ දෙන්නයි අපි තුන්දෙනාම මැරෙන්න ඕන කියලා.”
“එහෙම හිතලා ලොකු පුතාට මී පාසානම් කැව්වා. චුටි පුතාගේ මුණට කොට්ටයක් තියලා තද කරගෙන හිටියා.
ඊට පස්සේ මාත් මී පාසානම් කාලා දරුවෝ දෙන්නා උරහිස් දෙකේ තියාගෙන නිදාගත්තා.
ඒත් උදේ වෙද්දී මැරිලා තිබුණේ චුටි පුතා විතරයි. මායි ලොකු පුතයි ජීවතුන් අතර හිටියා” එසේ කියමින් ඇය හඬයි. ඉකිගසමින් හඬයි. දිගුසුසුම් හෙලමින් ළය සැහැල්ලු කරගත්නා ඇය යළිත් ඉකිගසයි.
ලාබාල වයසින් විවාහ දිවියට එළැඹ දරුවන් දෙදෙනකුගේ මවක්ව තවමත් 20 වැනි වියේ පසුවන ඈ සිය සැමියා නිසා වින්ද දුක් ගැහැට අපමණය.
මේ තරින්දි නම් ඇයගේ දුක් බර කතාවයි.
දියණියන් තිදෙනකුගෙන් සමන්විත පවුලක බාලයා වී උපන්, තරින්දි හැදුණේ වැඩුණේ මවු තරුලේමය.
එහෙත් අවසානාවකට තරින්දිට වයස අවුරුදු දොළහ පිරෙද්දි තරින්දිගේ මව මොලොවින් සමු ගත්තාය.
මවගේ වියෝවත් සමඟම තරින්දි ආරක්ෂා කිරීමේ වගකීම පැවරුණේ තරින්දිගේ අක්කලා දෙදෙනාටය.
තරින්දිගේ පියා ද තරින්දිට දැඩිලෙස ආදරය කළේය. තරින්දි ඉතා සුන්දර තරුණියකි.
වයස අවුරුදු 14 වෙද්දී ඇයට තිබුණේ 18 හැවිරිදි තරුණියකගේ පෙනුමකි.
පැහැපත් සුදු පැහැ සමක් ද උසට සරිලන මහතක්ද රතුවන් දෙතොලක් ද කතා කරන දෙඇසක් ද හිමි ඇය දෙස එක් වරක් බැලූ ඕනෑම අයෙක් යළිත් හැරී බලනවා නොඅනුමානය.
ඇය එතරම්ම පිරිපුන්ය. සුන්දරය.
“ඒ දවස්වල මාත් එක්ක යාලුවෙන්න පිරිමි ළමයි කිහිප දෙනෙක්ම ආවා. අක්කලා දෙන්නා නිතරම මට සැර කරලා මාව බය කරලා තියාගන්න හැදුවා. ඒත්… මම ඒ ලෙවල් ක්ලාස් එකේ හිටපු හිරාන් එක්ක යාළුවෙලයි හිටියේ. එයා මගේ අක්කාගේත් යාළුවෙක්. ”
“හිරාන් ඒලෙවල් කරලා ඉවර වුණ ගමන්ම මට බඳිමු කිව්වා. එතකොට මං දහයේ පන්තියේ.
හිටියේ ඉතින් අපි දෙන්නා පැනලා නුවර ගියා. ඊට පස්සේ අපේ අප්පච්චි අපි දෙන්නව ගෙදරට ගෙන්වලා කසාද බැන්දුවා.”
අතීතය සිහි කරන තරින්දිගේ මුහුණ විටෙක ප්‍රසන්න වේ. විටෙක දුක්බර වේ.
“හිරාන්ට රස්සාවක් තිබුණේ නෑ. අපි දෙන්නා බැන්ඳට හිරාන්ගේ පැත්තෙන් හොඳටම විරුද්ධ වුණා.
හිරාන්ගේ තාත්තා කිව්වා බැන්දාට කමක් නෑ දෙන්නා ගෙවල් දෙකේ ඉන්න කියලා. ඒ අනුව මම අපේ ගෙදර හිටියා. හිරාන් එයාලගේ ගෙදර ගියා.”
“ටික දවසක් යද්දී මට දරුවෙක් ලැබෙන්න ඇවිත් කියලා දැනගත්තා.
මම හිරාන්ට කිව්වාම එයා කිව්වා දරුවා නැති කරමු කියලා.
මම ඒකට කොහෙත්ම කැමති වුණේ නෑ. හිරාන් එයාගේ ගෙදර අයට කියලා එයාගේ අම්මයි අක්කයි ඇවිත් මට හොඳටම බැනලා ගියා.”
ඇය තමාට දරුවෙක් ලැබෙන්නට සිටින බව එතෙක් ඇගේ පියාට හෝ අක්කාට හෝ කියා තිබුණේ නැත.
තරින්දි මවක වන්නට යන බව දැනගත් පසු තරින්දිගේ පියා හිරාන්ට ද සිය නිවෙසට පැමිණ නතර වන ලෙස කියා සිටියේය.
ඒ අනුව හිරාන් තරින්දිගේ නිවෙසෙහි නතර විය. ඊට සති කිහිපයකට පසු හිරාන් රැකියාවක් ද සොයා ගත්තේය.
“මට අම්මාත් නැති නිසා හිරාන් එයාගේ අම්මාට කියලා තිබුණා මාව බලගන්න කියලා.
බබා හම්බවුණාට පස්සේ මම හිරාන්ලාගේ ගෙදර නවත්වා ගත්තා.”
හිරාන්ගේ වැඩිමල් සහෝදරිය සිය සැමියාගෙන් දික්කසාද වී වයස අවුරුදු 5ක් පමණ වන දියණියද සමඟ මවගේ නිවසෙහි පදිංචියට පැමිණ සිටියා ය.
“අක්කායි එයාගේ බබායි එක්ක ඉන්න හරි අමාරුයි. මම දරුවත් අරගෙන අපේ ගෙදර ආවා. මගේ අප්ච්චියි අක්කායි අපට හොඳට සැලකුවා. ඒ වුණාට හිරාන් කිව්වා අපි වෙන ගෙයක් අරගෙන පදිංචි වෙමු කියලා.”
ඒ අනුව තරින්දිගේ නිවෙස ආසන්න කුඩා නිවෙසක් කුලියට ගත් හිරාන් තරින්දි හා දරුවා ද රැගෙන එහි පදිංචියට ගියේය. තරින්දිගේ පියාට නිවසක් තිබුණේ නැත. ඔවුන් සිටියේද කුලී නිවෙසකය. නිවෙස් දෙකකට කුලි ගෙවීමට අවශ්‍ය නැති බව තීරණය කළ තරින්දි ගේ පියා සිය කුලි නිවෙස තරින්දිට දි අවිවාහක දියණියත් සමඟ සිය ඥාති සහෝදරයකුගේ නිවෙසෙහි පදිංචියට ගියහ.
“හිරාන්ගේ පපුවේ හිලක් තිබුණා. ඒ නිසා මම එයාව ගොඩක් ආදරයෙන් සැලකිල්ලෙන් බලා ගත්තා. එයා වැඩ ඇරිලා එද්දී පාන්දර 2 -3 විතර වෙනවා. එයා යාළුවොත් එක්ක බොන්න පුරුදු වෙලා හිටියා. එයාට බිව්වම හරියට අමාරු වෙනවා. එයා බීලා ආවමත් මම හරි ආදරෙන් සලකගෙන හිටියා.”
දින සති මාස ගෙවි ගියේය. යළිත් දරුවකු ලැබෙන්නට සිටින බවක් තරින්දිට දැණිනි.
“යුරින් ටෙස්ට් කළා. දරුවෙක් හම්බවෙන්න ඉන්න බව තහවුරු වුණා. දුක සැප දෙක අතරේ කාලය ගෙවී ගියා. එතකොට මගේ බඩට මාස 7ක් විතර ඇති. හිරාන්ගේ අක්කාගේ දුවගේ උපන් දිනේට පාටි එකක් තිබුණා. එයාලා හරි වෙස්ටන් විදිහට හිටියේ. මට ලොකු බඩකුත් එක්ක මෝස්තර කරන්න අමාරුයිනේ. මම නිකම් ගවුමක් ඇඳගෙන පුතාත් අරගෙන හිරාන් එක්ක එහේ ගියා.”
“එයාල මාව එච්චර ගණන් ගත්තේ නෑ. මං කොන් වෙලා වගේ දැනුණා. මම ඔහේ පැත්තකට වෙලා හිටියා. හිරාන්ගේ අම්මා ළඟ ගෙදරකට කෑම එකක් අරගෙන ගියා. මමත් අම්මගේ පස්සෙන් ගියා. ගිහින් ඇවිත් බලනකොට හිරාන් ගෙදර හිටියේ නෑ. එයාගේ යාළුවෙක් හිටියා. හිරාන් කෝ කියලා ඇහුවම එයා දැක්කේ නෑ කිව්වා.”
තරින්දි නිවසින් එලියට බැස වටපිට බැලීය. ලයිට් කණුවකට මුවා වී සෙලියුලර් දුරකතනය කණේ තබාගෙන සිටින හිරාන් දුටු තරින්දි ඔහු ළඟට ගියාය. තරින්දි ළඟට එනු දුටු හිරාන් දුරකථනය විසන්ධි කොට සාක්කුවේ දමා ගත්තේය.
“කාටද ඒ කෝල් කළේ…?”
“නෑ… මේ… කියමින් එයා කන කහන්න ගත්තා”
මේ කතාව සම්පූර්ණ මුසාවක් බව තරින්දිට වැටහිණි. ඇය හිරාන්ගේ දුරකථනය ගෙන අවසන් වරට ඇමතුම ගත් අංකය බැලුවේය.
නයනි නැමැති අයකුගේ අංකයකට ඇමතුම ගත් බව තරින්දි දුටුවා.
තව දුරටත් දුරකථනය පරීක්ෂා කිරීමේදී නයිනි ට යැවූ කෙටි පණිවිඩ ද තරින්දිට නිරීක්ෂණය වූවාය.
“මම හිරාන්ගෙන් නයනි ගැන ඇහුවා. එයා කිව්වා මගේ යාළුවෙක් කියලා. මට එයාව හම්බවෙන්න ඕන කිව්වම හිරාන් කිව්වා එයා නුවර ඉන්න කෙනෙක් කියලා.
හිරාන් ගේ කකුල් දෙක අල්ලලා වැඳලා කිව්වා මට මෙහෙම කරන්න එපා කියලා”
නයිනි ගේ දුරකථන අංකය ලියාගත් තරින්දි එතැනින් නැවතුණේ නැත. එම අංකයට දුරකථන ඇමතුමක් දුන්නාය.
“මම කතා කළේ රසිකගේ අක්කා විදිහට. ඊයේ පාටි එකෙන් පස්සේ රසිකට අසනීප වුණා. එයා ඔයා ගැන කිව්වා. ඒකයි මම කතා කළේ. ඔයා කොහේද ඉන්නේ” තරින්දිගේ පැනයට නයනි දුන් පිළිතුරත් සමඟ තරින්දිට බොහෝ සේ දුක සිතිණි.
“අක්කේ….. මමත් වැඩ කරන්නේ හිරාන්ගේ ඔෆිස් එකේ”
සිදු වී ඇත්තෙත් කුමක්දැයි තරින්දිට පැහැදිලිය. ඇය තමාට නයනි හමුවිය යුතු බව හිරාන්ට කීවාය. හිරාන් එය ප්‍රතික්ෂේප කළේය.
“මං පුතාටත් අන්දව ගෙන, අපේ විවාහ සහතිකෙයි පුතාගේ උප්පැන්න සහතිකෙයි අපි දෙන්නා බැඳපු දවසෙ ගත්ත ෆෝටෝසුයි අරගෙන හිරාන්ගේ ඔෆිස් එකට යන්න ලෑස්ති වුණා.
ඒ පාර හිරාන් බයික් එකේ මාවයි පුතාවයි එයාගේ ඔෆිස් එකළඟට එක්කගෙන ගියා.”
හිරාන්ගේ කාර්යාලයේ වැඩ කළ සජිත් නැමැත්තා තරින්දි ද හඳුනන්නීය. තරින්දි සජිත්ට කතා කොට නයනි ගැන විමසීය. සජිත් ගේ කීම මත නයනි තරින්දි හමුවීමට පහළට පැමිණියාය.
“නයනි ආවම මම ඇහුවා මගේ මහත්තයත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියලා”
ඉට්ස් අ ජොක් කියලා නයනි මට බනින් පටන් ගත්තා. මම කිව්වා ඔයාට මේක ජෝක් එකක් වුණාට මට දරුවෙක් එක්ක ජෝක් නෙවෙයි කියලා.
නමුත් කතාව දිගින් දිගටම ගියා. අන්තිමේදි නයනි පොරොන්දු වුණා මේ සම්බන්ධය අත් හරිනවා කියලා. ඊට පස්සේ ගෙදර ගිහින් පාඩුවේ හිටියා”
ඉන් පසුවදා හිරාන්ගේ එතරම් වෙනසක් දකින්නට තිබුනේ නැත. දවසේ පැය 24 න් වැඩි වේලාවක් තරින්දි ලොකු පුතා සමඟ තනිව නිවසේ ගත කළාය.
මේ කාලයේදී සුළු බහින් බස් වීමකදී පවා තරින්දිට පහර දීමට හිරාන් පෙළඹී සිටියේය.
“එදා මට බබා හම්බවෙන්න සති දෙකකට කලින් දවසක හිරාන් හොඳටම බීලා පාන්දර ගෙදර ආවා.
මට අමාරු නිසා ගෙයි දොර ඇරියේ අප්පච්චි.
මට බබා හම්බවෙන්න ළඟ නිසා අප්පච්චියි අක්කයි මං හිටපු ගෙදරට ඇවිත් හිටියේ. කාමරේට ගිය හිරාන් හොඳටම වමනය දැම්මා.
මම ඒවත් සුද්ද කරලා ඇඳේ හාන්සි වුණා.”
ඇත්තටම මේ දරුවා මගේම ද?
“හිරාන් මගේ බඩට අති තියලා ඇහුවා. මම කිව්වා ඔව් ඔයාගේ නැතිව වෙන කාගෙද? මං වනචර ගෑණියෙක් කියලා හිතුවද” කියලා හිරාන්ගෙන් ඇහුවා.
“තව දවස් කිහිපයකින් දරුවා ලැබෙනවා නේ ඊට පස්සේ අපි ඕන තැනකට ගිහින් චෙක් කරවලා බලමු දරුවා ඔයාගෙද නැද්ද කියලා.
මම වනචර නෑ. එහෙම චෙක් කළොත් ඔයාට ඔප්පු කරගන්න පුළුවන්නේ”
දෙවැනි දරුවා පිළිසිඳ ගැනීමට මාස කිහිපයකට පෙර දිනක හිරාන් තරින්දි ද ලොකු පුතාද කැටුව රාත්‍රී ප්‍රිය සම්භාෂණයට එක් වූහ.
එදින හිරාන් ඇති පදමට බිවේය. සාදය තිබුණේ රසිකගේ යාහලුවෙකුගේ නිවසේය. සාදය අවසන්ව සියලුම දෙනා නිවෙස් බලා ගියත් රසිකට නිවෙසට යාම සඳහා ද සිහියක් කල්පනාවක් නැත.
දරුවාටත් තරින්දිටත් නිදා ගැනීම සඳහා හිරාන්ගේ මිතුරා කාමරයක් පිළිගැන් වූ අතර හිරාන් හොඳ හැටි වෙරි වී සාලයේ සැටි පුටුවේ නිදාගෙන සිටියේය.
දරුවා නිදිගන්වා ඔහු අසලින් ඇල වූ තරින්දිට ඇස් පියවෙන්නට ආවා පමණි.
කවුරුදෝ තමා ස්පර්ශ කරනු දැණිනි. ඇය තිගැස්සී දෑස් හැර බැලීය. ඒ හිරාන්ගේ මිතුරාය.
මිතුරා හෙමීටම යන්න ගියේය. තරින්දි යළිත් නින්දට වැටිණි. කව්රුදෝ ඇය බදාගනු නින්දෙන්ම තරින්දිට දැණිනි.
තරින්දි කෑ ගසාගෙන ඇඳෙන් පැන්නාය. යහළුවා අතුරුදන් විය.
ඇය හිරාන් සිටි පුටුවේ වාඩි වී එදින රාත්‍රිය ගත කළාය. ඊට දිනකට දෙකකට පසු තරින්දි මේ සිදුවීම් හිරාන්ට පවසා තිබිණි.
එය සිතේ තියාගෙන සිටි හිරාන් තරින්දි හා ආරවුලක් ඇති කර ගැනීම පහසු කර ගැනීම සඳහා කුසේ සිටින දරුවා තමාගේ නොවන බවක් පෙන්වීමට උත්සාහ ගත්තේය.
දැන් දරුවා ලැබීමට ආසන්නය. මාස තුන හතරක සිට හිරාන් ගෙදරට මුදල් දුන්නේ නැත.
ඒ පිළිබඳ විමසූ විට හිරාන් කියා සිටියේ කාර්යාලයේ පවතින ප්‍රශ්න හේතුවෙන් වැටුප් නොලැබුණු බවකි. තරින්දිගේ පියා තරින්දිට සියලු දේ සපයා දුන්නේය.
දරුවා ඉපදී රෝහලේ සිට ගෙදර කැන්දන් ඒම සඳහා හිරාන් කාර්යාලයේ කාරයක් ගෙනවිත් තිබිණි. තරින්දි දරුවා ද සමඟ කාරයේ පිටුපස අසුනේ වාඩි වූවාය.
එම අසුනේ කොනක ජංගම දුරකථන බිලක් තිබෙනු දුටු ඇය එය නිකමට මෙන් පරීක්ෂා කළාය.ඒ බිල හිරාන්ගෙය. මාසයේ බිල රුපියල් දහතුන් දහසකි. එක දිගට දුරකථන ඇමතුම් අරගෙන තිබුණ අංකය තරින්දිට මතකය. ඒ අංකය නයනිගේය.
හිරාන් මෙන්ම නයනි ද තරින්දිට පවසා තිබුණෙ දෙදෙනා අතර සම්බන්ධයක් නැති බවයි. එහෙත් ….ඒ දෙදෙනා අතර තද සම්බන්ධයක් පවතින බව දැන් සාක්ෂි සහිතව ඔප්පු වී හමාරය.
අලුත උපන් දරුවා ද රැගෙන නිවෙසට ගොඩ වූ තරින්දිට තමා දුටු දෙය ගැන තව දුරටත් විමසා සිටිය නොහැකි වූවාය.
ඇය ඒ පිළිබඳ හිරාන්ගෙන් විමසුවාය. එවිට ඔහුගෙන් ඇයට ලැබුණ පිළිතුර වූයේ ගුටි බැටය. ඇය දරු දෙදෙනා ද මරා තමා ද දිවි නසා ගන්නට තීරණය කළේ ඉන අනතුරුවය.
“මට කවදා එලියට යන්න ලැබෙයිද කියලා දන්නේ නෑ. ඒත් එලියට ගියත් මොනවා කරන්නද කියලා මට හිතාගන්නවත් බෑ.”
ඇය කඳුළු පිරි දෑසින් සුසුම් හෙලමින් එලෙස පැවසුවේ තමා ජීවිතය පිළිබඳ තිබූ සියලුම බලාපොරොත්තු අත්හැරිව බවද අඟවමිනි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!