Gossip

“මම එයාව කාලයක් ආශ්‍රය කළා, මම ඩුබායි යන වෙලාවක, යද්දි එද්දි එකම ෆ්ලයිට් එකේදි එයාව මුණ ගැහුණා”

නිවේදකයෙක් විදිහට වගේම අධ්‍යක්ෂකවරයෙක් විදිහටත් ජනප්‍රිය කෙනෙක් තමයි ලහිරු මුදලිගේ කියන්නේ.

ඔහු පසුගිය දවසක යුගදිවියට පා තැබුවා.

ඉතිං මේ අලුත් ජීවිතේ ගැනත් ආදරේ ගැනත් ලහිරු පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.

 

කොහොමද ළහිරු අලුත් ජීවිතේ..?

වරදක් නෑ. අලුත් ජීවිතේ කියලා විශේෂයක් නෑ. වගකීමක් තියෙනවා. අවුරුදු තිස්හතරක්ම ගෙදරයි, මගේ වැඩයි කරගෙන හිටියේ. දැන් ඉතිං තව කෙනෙක් එක්ක වගකීමකින් වැඩ කරන්න වෙනවා.

ගොඩක් අය විවාහයට කලින් ඒ ගැන සද්ද බද්ද දානවා. විවාහයට ලොකු පබ්ලිසිටියකුත් ගන්නවා. හැබැයි ළහිරු විවාහයට වැඩි සද්ද බද්ද දැම්මේ නැහැනේ..?
ඒක මගේ පෞද්ගලික දෙයක්නේ. ඉතින් සද්ද බද්ද දාන්න අවශ්‍ය නෑනේ. මගේ නිර්මාණයක් එළියට එනවා නම් අපේ ව්‍යාපාරයක දෙයක් සිද්ධ වෙනවා නම් සද්ද බද්ද දාන්න ඕන. මොකද ඒවට ප්‍රමෝෂන් ඕන. පෞද්ගලික ජීවිතේ දේවල් මටයි මගේ යාළුවන්ටයි, හිත මිත්‍රයන්ට වැදගත් දෙයක් ඇරෙන්න එය හැමෝටම වැදගත් දෙයක් කියලා හිතන්නේ නැහැ.

හැබැයි ළහිරුට ආදරය කරන පිරිසක් ඉන්නවනේ…?

අපිට මිනිස්සු ආදරෙයි. නමුත් මම මගේ පෞද්ගලික දේවල් මාධ්‍යට කියන්නෙවත්, ෆේස්බුක් එකේවත් පාවිච්චි කරන්නේ නෑ.

එහෙම කරන්නේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගන්නද..?

ඔව්. ඕන කෙනෙක්ට පෞද්ගලිකත්වයක් තියෙන්න ඕන. මගේ වෘත්තිය දේවල්වලට අවශ්‍ය ප්‍රමෝෂන් කරනවා. විවාහය කියන්නේ අඬබෙර ගහන්න ඕන දෙයක් කියලා මම හිතන්නේ නැහැ.

ළහිරු බොහෝ දෙනෙක්ව ඇසුරු කරනවනේ. වෙඩින් එකට ආරාධනා කරද්දි ඔය හැමෝටම ආරාධනා කරන්න පුළුවන් වුණාද..?

හැමෝටම වෙඩින් එක කියන්න අමාරුයි. නිවේදනයෙදි, රංගනයෙදි හමුවුණ යාළුවෝ වගේම ව්‍යාපාරික ක්ෂේත්‍රයේදී මුණ ගැහුණු යාළුවොත් මට ඉන්නවා. ඒ හැම කෙනෙක්ටම වෙඩින් එක කියන්න ලේසි නැහැ. මගේ වෙඩින් එක සරලව කරන්න බැලුවේ. එතැනදි මගේ ළඟින්ම හිටපු අතිශයින් සමීප මිත්‍රයන් කිහිප දෙනෙක්ට මම ආරාධනා කළා. මට පුළුවන් විදියට මම වෙඩින් එක කළේ. සමහර අය වෙඩින් එක කිව්වේ නෑ කියලා මාත් එක්ක තරහ වෙලත් ඇති. නමුත් තරහා වෙන්න එපා කියලා තමයි එයාලට කියන්නේ. වෙඩින් එකක් ගන්නවා කියන එක ලේසි නෑනේ.

අඬබෙර නොගැහුවට ළහිරුගේ හිත ගත්ත අත ගත්ත කෙනා ගැන කියමු..?

එයාගේ නම සඳුනි. වෘත්තියෙන් පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුවරියක්.

ඇයගේ පළමු මුණගැහීම මතක් කරන්න අකැමැති නැතිව ඇති..?

මීට අවුරුදු පහ හයකට කලින් මම ඩුබායි යන වෙලාවක, යද්දි එද්දි එකම ෆ්ලයිට් එකේදි එයාව මුණ ගැහුණා. එක ළඟ ෂීට්වල අපි හිටියේ. අපි එතැනදි කතාබහ කළා. හිතමිත්‍රකම් තිබ්බා. ඒ අතරේ යාළුවුණා. තරහ වුණා. එහෙම අවුරුදු පහ හයක සම්බන්ධයකින් පස්සේ තමයි විවාහ වුණේ.

ආදර සම්බන්ධය ඇති වෙද්දි ළහිරු ජනප්‍රිය චරිතයක් කියලා සඳුනි දැනගෙන හිටියද..?

ඔව්. සඳුනි මට වඩා අවුරුදු හතක් විතර බාලයි. දැන් මම මාධ්‍ය වෘත්තියේ අවුරුදු පහළොවක් විතර ඉන්නවා. මම ක්ෂේත්‍රයට ආවේ 2002. 2004 වගේ වෙද්දි හදරැඳි පැය වගේ වැඩසටහන්වලිනුත් මම ජනප්‍රිය වෙලා හිටියා. මීට අවුරුදු හයකට විතර කලින් මගේ ජීවිතයම රූපවාහිනි මාධ්‍ය වෙලානේ තිබුණේ. ඒ නිසා එයා මාව දැනගෙන හිටියා.

ඔය ආදර කතාවට දෙපාර්ශ්වයේ බාධා තිබ්බේ නැද්ද..?

කිසිම බලපෑමක් තිබ්බේ නැහැ. අපි අතර ආදර සබඳතාවක් තියෙනවා කිව්වම පවුල් දෙකේම කැමැත්ත ලැබුණා. එහෙම විරෝධතාවක් එන්න හේතුවක් තිබ්බෙත් නැහැ. අපි දෙන්නම අපි දෙන්නගේ වෘත්තීයමය ජීවිතය පැත්තෙන් සාර්ථකයි. විවාහ වෙලා වගකීමක් දරන්න පුළුවන් මට්ටමක හිටපු නිසා මවුපියන්ගෙන් අපේ සම්බන්ධතාවට ගැටලුවක් ආවේ නැහැ.

ළහිරු වැඩ කරන ක්ෂේත්‍රයත් එක්ක බොහෝ අය ළහිරුට මුණ ගැහිලා ඇති. ළහිරුගේ හිත සඳුනි ළඟම නවතින්න විශේෂත්වයක් තිබුණද..?

ඒක දෛවය වෙන්න ඇති. මම එයාව කාලයක් ආශ්‍රය කළා. එයත් එක්ක එකට ජීවත් වෙන්න පුළුවන් කියලා මට තේරුණා. අනාගතයෙදි මොනවා වෙයිද කියලා මම දන්නේ නැහැ. නමුත් ඇයව හඳුනගත්ත කාලෙදි මට තේරුණා එයා එක්ක ජීවත්වෙන්න ලේසියි කියලා. එයා හිතන පතන විදිහත් මගේ විදිහට සමානයි. හරි සරලයි. මම භාරදුර වගකීම තියාගෙන ඒවා ඔළුවේ තියාගෙන ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. ප්‍රශ්න තිබ්බට ඒවා පෙන්නගෙන ඉන්න ඕනේ නෑ. ජීවිතේ තියෙන සියලුම ප්‍රශ්න ෆේස්බුක් එකේ පෙන්නන්න ඕනෙත් නෑනේ. මම ඒ වගේ හිතන කෙනෙක්. එයත් එහෙමයි.

ප්‍රශ්න ගැටලු සමාජයට කියන්නේ නැති බිරියක් මුණගැහිල තියෙන්නේ..?

තමන් හිතන පතන විදිහ ෆේස්බුක් එකේ පෙන්නන කෙනෙක් වුණා නම් ඒ වගේ කෙනෙක් එක්ක මම විවාහ වෙන්නේ නැහැ. එතකොට අපි තරහ වුණත් ඒක ෆේස්බුක් එකේ දානවනේ.

පෙම්වතිය කාලේ ළහිරු සඳුනිගේ දැකපු ඒ හොඳ ගති ලක්ෂණ විවාහයෙන් පස්සෙත් ඒ හිතපු පතපු විදිහට තියෙයිද..?

ඒ හිතපු පතපු කෙනා විදිහටම එයාට ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ළහිරුගේ ජීවිතයට වාරණ දාන බිරියක් වුණා නම් ළහිරු සඳුනිව ජීවන සහකාරිය විදියට තෝර ගන්න එකක් නැද්ද..?

නෑ. කොහෙත්ම නැහැ.

මොනම හේතුවක් නිසාවත් තමන්ගේ වෘත්තීයමය ජීවිතයේ දේවල් කැප කරගන්න කැමැති නැද්ද..?

මම කවදාවත් කිසිම දෙයක් නිසා වෘත්තීයමය ජීවිතය කැප කරන්නේ නෑ. මගේ නිවේදන වෘත්තිය, මම හදාගත්ත ව්‍යාපාර මගේ ජීවිතේ අංක එක. ඒක බිරියත් දන්නවා. ගෙදර අයත් දන්නවා. කැප කිරීම් එක්ක මම ඒ තැන ගොඩනඟා ගත්තේ.

තාමත් අංක එක වෘත්තීයමය ජීවිතයද..?

ඔව්. ඒ දේවල් නිසානේ ජීවිතයේ බොහෝ දේවල් හම්බවුණේ. මම ජීවිතයේ ස්ථාවරව ඉන්න එක, මිනිසුන්ගේ ආදරය ලැබීම මේ හැම දෙයක්ම මට ලැබිලා තියෙනවා. හොඳට ජීවත්වෙන්න පුළුවන් මට්ටමක් මම හදාගත්තේ වෘත්තීයමය ජීවිතයෙන්. පවුලටත් තැනක් දෙන්න ඕන. මට හැමදේම බැලන්ස් කරගෙන ගේම ගහන්න පුළුවන්.

විවාහය නිසා කලා කටයුතු නතර කළාද..?

විවාහයට දවස් දෙකකට කලිනුත් භාරගත්ත වැඩ කළා. සතියක් විතර තමයි විවාහයට නිවාඩුවක් ගත්තේ.

නිවේදන කටයුතුවලින් නම් කාලයක ඉඳන් ළහිරු නිහැඩියාවක..?

ව්‍යාපාරවලින් මුදල් හම්බ කළත් මම ආස දේ කලාව. පසුගිය මාස හයක් විතර නිවේදන කටයුතු කළේ නැහැ. ව්‍යාපාර කටයුතු නිසා නිවේදන කටයුතුවලට නිවාඩුවක් ගන්න වුණා. ඉදිරියේදි අලුත් වැඩසටහනක් කරන්න ආසාවෙන් ඉන්නේ. මම නිවේදන කටයුතු ආයෙත් කරන්න කැමැත්තෙන් ඉන්නවා.

ආයෙත් රඟපාන්න අදහසක් නැද්ද..?

පසුගිය කාලේ සැරෙන් සැරේ රංගනයට අවස්ථා ලැබුණා. ව්‍යාපාර කටයුතුත් එක්ක ඒවා භාරගන්න බැරි වුණා. රවින්ද්‍ර විජේරත්න අයියත් මට කතා කළා වැඩකට. ලබන ජනවාරියේ විතර වැඩක් කරන්න බලමු කියලා මම කිව්වා. දවස් හදාගැනීමේ ගැටලුවක් තමයි තියෙන්නේ.

ළහිරුගේ ව්‍යාපාර කටයුත්තක් වෙන හරි ක්‍රියේෂන් එකට වැඩ ජයයි වගේම මියුසික් වීඩියෝ නිර්මාණය කරද්දි එයට තරග කරන්නත් පිරිසක් ඉන්නවනේ. ඒ අය හරි ක්‍රියේෂන් එකට අභියෝගයක් නෙවෙයිද..?

හරි ක්‍රියේෂන් මියුසික් වීඩියෝ හදනවා වගේම එයට තවත් ව්‍යාපාර අටක් දහයක් තියෙනවා. මියුසික් වීඩියෝ හදන එක එහි කෑල්ලක් විතරයි. මියුසික් වීඩියෝ පැත්තෙන් ගත්තොත් තාමත් අපි අංක 01 තැන ඉන්නවා. ලංකාවේ වැඩිම මියුසික් වීඩියෝ සංඛ්‍යාවක් අපි කරලා තියෙනවා. මියුසික් වීඩියෝ පන්සියයකට වඩා අපි කරලා තියෙනවා.

අපි සම්මානයන්ටත් පාත්‍ර වුණා. ලංකාවේ ජනප්‍රියම අයගේ මියුසික් වීඩියෝ අපි කරනවා. අපේ මියුසික් වීඩියෝ ට්‍රෙන්ඩින්වල උඩ තියෙනවා. තරගයක් තියෙනවට අපිත් ආසයි. එතකොට තමයි අලුත් දේවල් හැදෙන්නේ. තරගයක් කොච්චර තිබ්බත් අපිට වැඩ තියෙනවා. අපි මාසයකට වීඩියෝ හය හතක් කරනවා. මාකට් එකේ ඉන්න අනෙක් අය අපිට ගැටලුවක් වෙලා නැහැ.

පවුල් ජීවිතේ අනාගත සැලසුම් ඇති..?

එහෙම ලොකු සැලසුම් නැහැ. කරදරයක් නැතිව හොඳට ජීවත්වෙන්න තමයි බලන්නේ. හෙට මොනවා වෙයිද කියලා අපි දන්නේ නෑ. මම මේ ගෙවන දවස හොඳින් ගෙවන්න උත්සාහ කරනවා. කාටවත් කරදරයක් නොවී මගේ බිරිය, පවුලේ අය එක්ක සතුටින් පාඩුවේ වැඩ කරගෙන ඉන්න තමයි බලාපොරොත්තුව.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!