Gossip

“මාව දැක්කම ගෑණු ළමයි කියන්නේ හරි ෂෝක් චබී කියලා, දැන් කාලේ ගැහැනු ළමයි කැමති පොත්ත සුදු අයට”

ලංකාවේ අංක එකේ ටෙලි සිත්තම වන දෙවැනි ඉනිමට ලොකු කුඩා කවුරුත් ආදරය කරනවා.
මෙහි සුවිශේෂී චරිතයක් තමයි චබියා කියන්නේ.
ඉතිං චබියා හෙවත් කණිෂ්ක දෙවැනි ඉනිම දක්වා ආපු ගමන ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

කණිෂ්ක කියන්නද? චබී කියන්නද?
මේ දවස්වල මාව ගොඩක් අය හඳුනන්නේ චබී විදිහටනේ. ඒ නිසා චබී කියලා කතා කරන්න.

ගායකයෙක් විදියට හඳුනාගත්ත කණිෂ්කව චබී විදියට හඳුනාගත්තේ රංගන ශිල්පියෙක් වුණ නිසානේ. ගායකයාව නළුවෙක් කරන්න ඕන වුණේ කාටද?
ඇත්තටම මාව නළුවෙක් කළේ දෙරණ සභාපති ලක්සිරි වික්‍රමගේ මහත්මයා.

ඉබ්බා දියට දැම්මම ඇන්නෑවේ කිව්වා වගේ ලැබුණ අවස්ථාවක් නේද චබීට ලැබුණේ?
ඔව්. ඩ්‍රීම් ස්ටාර් සීසන් 7 අදියර පටන් ගන්න උත්සවයට මටත් කතා කළා. එතැනදී මට ඇහුණා ලක්සිරි මහත්මයා රවින්, කේෂාන් එක්ක අලුත් නාට්‍යයක් ගැන කතා කර කර ඉන්නවා. ඉතිං මමත් ගිහින් මටත් චරිතයක් දෙන්න කියලා ඉල්ලුවා. චරිතයක් දෙන්නම්, රැවුල කපාගන්න කියලා ලක්සිරි මහත්තයා කිව්වා. පහුවදා සහාය අධ්‍යක්ෂක කතා කරලා කිව්වා නාට්‍යයේ චරිතයක් මට තියෙනවා කියලා.

ඉල්ලුවට චරිතයක් ලැබෙයිද කියලා චකිතයක් තිබ්බේ නැද්ද?
මම චරිතයක් ඉල්ලන්න දෙපාරක් හිතුවේ නෑ. ඉල්ලන්න හිතුණ ගමන් ඉල්ලුවා. ලක්සිරි මහත්මයත් දෙපාරක් හිතන්නේ නැතිව මට චරිතයක් දුන්නා.

ඒ කියන්නේ චබී රඟපාන්න කැමැත්තෙන් ඉඳලා වගේ?
ඔව්. මම පොඩි කාලේ ඉඳන් සින්දු කිව්වා. තරගවලටත් සම්බන්ධ වුණා. හැබැයි අපේ පවුලේ අයට ඕන වුණේ මාව නළුවෙක් කරන්න. ඉතින් ටෙලිනාට්‍යවලට ගන්න ස්ක්‍රීන් ටෙස්ට්වලට මාව යවන්න හැදුවට මම ඒවට යන්න කම්මැළියි. හැබැයි මම ඩ්‍රීම් ස්ටාර් සීසන් 6ට ගිහින් පස්වැනියා වුණා. මටත් රංගන ශිල්පියෙක් වෙන ආසාව තිබ්බා. ප්‍රේක්ෂකයෝ අතර රංගන ශිල්පියෙක් විදියට ජීවත් වෙන්න අවස්ථාව උදාවුණේ දෙවැනි ඉනිම නිසා.

පළමුවැනි රංගන අවස්ථාවම ජීවිතයට හොඳ ඉනිමක් වුණා නේද?
අනිවාර්යයෙන්ම. මට රංගනයට එන්න ඕන වුණාට මේ තරම් ප්‍රේක්ෂකයන් අතරට යන්න පුළුවන් චරිතයක් ලැබෙයි කියලා හිතුවේ නෑ. ප්‍රධාන නළුවගේ යාළුවෙක්ගේ චරිතය මට රඟපාන්න ලැබුණේ, හොඳ නළුවෙක් වුණ දෙනුවන් අයියා එක්ක. ඇත්තටම සාරංග අයියා වගේම සමන් අයියා මාර සහයෝගයක් දුන්නා මේ වැඩේට.

ඩ්‍රීම් ස්ටාර් තරගයෙන් එළියට බැස්සම තිබ්බ ජනප්‍රියත්වයටත් වඩා චබීගේ ජනප්‍රියත්වය දැන් වැඩියි වගෙ ඩ්‍රීම් ස්ටාර් ඉන්න කාලේ හැමෝම මට ආදරය කළා. හැබැයි ඩ්‍රීම් ස්ටාර් තරගයෙන් අයින් වෙලා ටික කාලයක් යද්දි ගොඩක් අයට අපිව අමතකයි. දැන් චබී නිසා මම ස්වීට්, කියුට් චරිතයක් වෙලා.

සැබෑ ජීවිතයේදීත් චබී, ස්වීට්, කියුට් චරිතයක්ද?
ඩ්‍රාමා එකට විතරයි මම එහෙම. සැබෑ ජීවිතයේදී මම එහෙම නැහැ. මම මුලින් බලාපොරොත්තුවෙන් හිටියේ පාතාල ලෝකයට සම්බන්ධ හතුරෙක්ගේ චරිතයක් කරන්න. මගේ රැවුලත් එක්ක මැච් වුණෙත් ඒ වගේ චරිතයක්. ඉතින් මට චබී වගේ චරිතයක් ලැබුණ එකත් එක්තරා විදියක අත්දැකීමක්. තාමත් මම හතුරෙක්ගේ චරිතයක් කරන්න ආසාවෙන් ඉන්නවා. මම ප්‍රධාන චරිතයක් කරන්නත් ලොකු ආසාවකින් ඉන්නවා.

ප්‍රධාන චරිතයක් ලැබෙන්න තව කල් යයිද?
සාරංග මෙන්ඩිස්, චමිකා මෙන්ඩිස්, මට හුඟාක් ආදරෙයි. ඔවුන්ගේ ඉදිරි වැඩවලටත් මාව සම්බන්ධ කරගනියි. අත්දැකීම් එක්ක ප්‍රධාන චරිතයක් ලැබෙන්න කාලය දුර නැති වෙයි. මේ මගේ වැඩ පෙන්වන සීසන් එක. ඊට පස්සේ වැඩ ලැබෙයි.

අනුහස් වගේ පෙම්වතෙක් වෙන්න චබී කැමැති නැද්ද?
අනුහස් තමයි පෙම්වතා. අපි මේක ඇතුළේ පෙම් කරන්න ගියොත් අවුලක් වෙනවා. අනුහස් දකිද්දී ගෑනු ළමයින්ගේ පැණි බේරෙනවා. හැබැයි මාව දැක්කම හරි ෂෝක් චබී කියලා තමයි කියන්නේ. දෙවැනි ඉනිමේදී පැණි බේරෙන නළුවෙක් නොවුණට චිත්‍රපටයක පැණි බේරෙන පෙම්වතෙක් වෙන්න මට පුළුවන්.

සැබෑ ජීවිතේදී තරුණියන්ගේ ආකර්ෂණය චබීට නැද්ද?
දැන් කාලේ ගැහැනු ළමයි කැමැති පොත්ත සුදු අයට. මම කිළිටි වෙයි කියන බයට අපේ අම්මා මාව කළුවට උපද්දලා තියෙන්නේ.

හැබැයි ඉතින් ඔහොම කිව්වට ඔය කළු චබියාට කැමැති විශේෂ කෙනෙකුත් ඉන්නවනේ?
ඔව්. එහෙම කෙනෙක් ඉන්නවා. මාත් ඉතින් පෙම්වතෙක්.

දැන් ගායන කටයුතු අතහැරලා දැම්මාද?
ගායනය කවදාවත් අතහරින්නේ නැහැ. මට නළුවෙක් වෙන්න අඩිතාලම වැටුණේ ගායනය නිසා. මම චබියාට ගීතයක් නිර්මාණය කරමින් ඉන්නවා. ඉදිරියේදී ඒක රසිකයෝ අතරට ගේනවා.

තව මොනවද ඉදිරි සැලසුම්?
දෙවැනි ඉනිමේ අධ්‍යක්ෂවරයා සහ නිෂ්පාදකවරිය ලෑස්තිපිට ඉන්නවා දෙවැනි ඉනිමට ප්‍රසංගයක් කරන්න. එක පවුලක් විදියට ඒ දේවල්වලට සම්බන්ධ වෙන්න තමයි හිතාගෙන ඉන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!