Gossip

“මම අවුරුදු 10 ක පෙම්වතියක්, ආසයි එහෙම ආදරයක්‌ ලැබෙනකොට”

ඇය ලෝකයක්‌ දන්න සුරූපිණියක්‌. රූප රාජිනියක්‌. ඒ තරම් ඇය වාසනාවන්තයි.
ඒ වාසනාව හැමෝටම නැති වාසනාවක්‌.
රූප රාජිනියක්‌ වෙන්න හැමෝටම බැහැ. නමුත් ඒ රූපරාජිනියන් අතරට ආ මේ සුරූපිණිය 2014 මිස්‌ ශ්‍රී ලංකා ලෙසින් කිරුළු පැළදුවා. ඇය දැන් රංගන ශිල්පිනියක්‌. නමින් ඇය ඉමායා ලියනගේ.

ඉමායා ඉතින් කොහොමද ?

ඉතිං ගොඩාක්‌ හොඳයි.
මේ දවස්‌වල නම් ගොඩක්‌ වැඩ. ඒ නිසා කාර්යබහුලයි ටිකක්‌. ඒ වැඩ ටික කරගෙන යනවා.

මොනවද මේ කරන වැඩ ?

‘මුතුකුඩ’ ටෙලිනාට්‍ය රූපගත කරගෙන යනවා මේ දවස්‌වල. ඒ වගේම ෆොටෝ ෂූට්‌වලට, වැඩසටහන්වලට යනවා. ඒ වැඩ තමයි ඉතිං.

රූ රැජින දැන් එතකොට නිරූපණය අතෑරලද?

අතෑරලාම නෙවෙයි. නිරූපණය කරනවා.
මම මුලින් ගොඩනැගෙන්නේ නිරූපණය තුළින්. ඒ හරහා තමයි මම අද රංගන ශිල්පිනියක්‌ වෙලා තියෙන්නේ.
නමුත් දැන් රංගන කටයුතු නිසා රංගනයට තමයි මුල් තැන දිලා තියෙන්නේ.
ඒ නිසා මොඩ්ල්වලට යන්න වෙලාව මදි.
නමුත් මම නිරූපණය අතෑරලා නෙවෙයි. මේ කාර්යබහුලත්වය අඩු වුණාම ඒ වැඩ පටන් ගන්නවා. දැනට රංගනයේ තමයි ඉන්නේ.

ඉමායාගේ දක්‌ෂතා ඉදිරියේදී දකින්න පුළුවන් ?
මුතුකුඩ දැනට කරගෙන යනවා. චිත්‍රපට දෙකකට රංගනයෙන් දායකවෙලා තියෙනවා.
යෝධයන්ගේ අඩවිය කියල චිත්‍රපටයකට ආරාධනා කරලා තියෙනවා.
ඒ වැඩ මේ මාසෙ අග පටන් ගන්නවා. සුනේන්ද්‍ර කිතුල්ගොඩ මහතාගේ මේ මමයි ටෙලිනාට්‍යයේ වැඩපටන් ගත්තා.
ඉදිරියේදී ඒ දේවල් මට ආදරය කරන ප්‍රේක්‌ෂකයාට බලාගන්න පුළුවන්. තවත් ටෙලිනාට්‍යයකට ආරාධනා කරල තියෙනවා.
එහෙම තමයි ඉතිං.

කොහොමද මුතුකුඩ සකුන්තලා මැණිකෙට තියෙන ප්‍රතිචාර?

ප්‍රතිචාර නම් ගොඩාක්‌ හොඳයි.
මගතොටේදි මිනිස්‌සු හම්බවුණහම මම සකුන්තලා කියල අඳුනගෙන ඇවිත් කතාකරනවා.
සතුටුයි ප්‍රේක්‌ෂකයන් ඒ චරිතයට ආදරය කරන තරමටම මටත් ආදරය කරන එක ගැන.

අභියෝගයක්‌ වුණේ නැද්ද ඒ චරිතය?

ඇත්තටම පිටපත බලනකොටම මට තේරුණා ඒක ලොකු අභියෝගයක්‌ කියන එක.
මොකද ඒ චරිතය අපි දකින සාමාන්‍ය චරිතයට වඩා වෙනස්‌ චරිතයක්‌.
වෙනස්‌ කතාබහ, වෙනස්‌ ඇඳුම නිසා ඒක ටිකක්‌ අභියෝගයක්‌ වුණා. දැවැන්ත චරිතයක්‌ ඒක.
දැන් ඒ ප්‍රතිචාර දකිනකොට සතුටු හිතෙනවා ගොඩාක්‌.

සකුන්තලා චරිතය මිනිසුන්ට හැමදාම මතක තියේවිද ?

ගොඩක්‌ අයගෙ ප්‍රතිචාරය, ආදරය තියෙනවා. ආසයි පළවෙනි නාට්‍යයෙන්ම එහෙම ආදරයක්‌ ලැබෙනකොට.
භාරගන්නකොට ඒ තරම් ප්‍රතිචාරයක්‌ ලැබෙයි කියලා හිතුවෙ නෑ.
තමන්ට ලැබෙන චරිතය ආදරය ලැබෙන චරිතයක්‌ වෙන එක ලොකු වාසනාවක්‌.
අපි ෂූටිංවලට ගියාම ඒ තැන මිනිසුන් වටවෙනවා අපි බලන්න.
ඇවිත් අහනවා සකුන්තලා මැණිකේ බලන්න තමයි අපි ආවේ කියලා. සතුටුයි එහෙම වුණාම.

මොකද එකපාරටම මොඩ්ල් ඇකඩමියක්‌ පටන්ගන්න හිතුවේ ?

ඇකඩමිය පටන් අරගෙන දැන් අවුරුද්දක්‌ වෙනවා.
පළවෙනි කණ්‌ඩායම ඉවරයි.
දෙවනි කණ්‌ඩායම දැන් පටන්ගන්න තියෙන්නේ.
ඇකඩමියක්‌ පටන් ගන්න හිතුවේ හිතේ ලොකු ආසාවක්‌ තිබුණා.
මොකද ලංකාවෙ දැන් ඕනෑම කෙනෙක්‌ ක්‌ෂේත්‍රයට එන තැනට පත්වෙලා තියෙන්නේ.
ඉගෙනගෙන ආවොත් ඒ කෙනාට බොහෝදුර යන්න පුළුවන්. නැත්තම් ඒ මග කෙටියි.
වෙනත් මාර්ගවලිනුත් එන්න පුළුවන්. ඉගෙනගෙන එන්න කැමති අයට පහසුවක්‌ වෙන්නයි ඒ ඇකඩමිය පටන් ගත්තේ.

ඉමායට ඒ තියෙන සුදුසුකම ගැන කෙනෙක්‌ ඇහුවොත් ?

මම හොඳට නිරූපණය ගැන හදාරලා ආවේ.
රොසෑන් ඩයස්‌ මහත්මියගෙ යටතේ ඉගෙනුම හැදෑරුවා.
මම 2014 මිස්‌ ශ්‍රී ලංකා වුණා.
ඒ යටතේ ලැබුණු ජාත්‍යන්තර අත්දැකීම් මට තියෙනවා.
රෝසි සේනානායක මහත්මිය යටතේ උපදෙස්‌ ලබාගත්තා. ඒ හැදෑරීම තුළින් තවත් නව පුද්ගලයෙක්‌ ගොඩනගන්න.

කැපිලි කෙටිලි වැඩියි කියල ආරංචියි ?

අනිවාර්යෙන්. මම මිස්‌ ශ්‍රී ලංකා වුණ දවසේ ඉදන් ඒ කැපිල්ල මට තිබුණා.
ඒක ක්‌ෂේත්‍රයේ නිසා මම ශක්‌තිමත් ඒවට මුහුණ දෙන්න.

ඉමායටම කැපිලි එන්න විශේෂ හේතුව ?

ඒක නම් මම කියන්න දන්නේ නැහෑ.
කෙනෙක්‌ට ඊර්ෂ්‍යා කරන්න නම් ඒ කෙනා ළඟ ඒ කෙනාට නැති විශේෂ දෙයක්‌ තියෙන්න ඕන. මං හිතන්නෙ ඒ දේ මගේ ළඟ ඇති.

පෙම්වතා කිව්වෙ නැද්ද ගෙදරට වෙලා පාඩුවේ ඉන්න කියලා ?

මෙහෙමයි.
ඉස්‌කෝලේ යන කාලේ නම් කිව්වෙ මොඩ්ල් කරන්න එපා කියලා.
ඒත් මම මිස්‌ ශ්‍රී ලංකා වුණාම ඔහු දැනගත්තා මට දක්‌ෂතාවයක්‌ තියෙනවා කියලා.
ඒ නිසා මුකුත් කියන්නෙ නැහැ. ඔහු මට ශත්තියක්‌ වෙනවා වචනෙකින් හරි.

ඔහු ගැන විස්‌තර ටිකක්‌ කිව්වොත් ?

ඔහු ඉතාලියේ තමයි රැකියාව කරන්නේ.
අවුරුදු දෙකකට වතාවක්‌ තමයි ලංකාවට එන්නේ.
සාමාන්‍ය පෙළ කාලෙදි අපි දෙන්නා යාළු වුණේ. දැන් අපේ සම්බන්ධයට අවුරුදු දහයක්‌.

කවද වගේද අලුත් පවුලක්‌ ගොඩනගන්න හිතන් ඉන්නේ ?

කොහොමත් තව අවුරුදු දහයකින් වගේ විවාහ වෙන්නයි අපි දෙන්නගෙ බලාපොරොත්තුව. බලමු ඉතිං.

ඉමායට පුළුවන් වෙයිද හැමදාම මේ ජනප්‍රියත්වය රඳවාගන්න ?

ක්‌ෂේත්‍රයට දවසින් දවස අලුත් අය එනවා අලුත් වෙනවා.
තියෙන ජනප්‍රියත්වය රඳවාගන්න අපි දැනගන්න ඕන.
තමන්ටත් තමන් එක්‌ක තරගයක්‌ තමයි දැන් තියෙන්නේ.
ඒක අපිටත් අභියෝගයක්‌.
ඒත් ඒ දේ කරන්න ඉමායට පුළුවන් කියලා මට විශ්වාසයි. ඒ විශ්වාසය මත ඉඳන් උත්සාහ කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!