Gossip

“වෙනත් පිරිමියකුගේ ආදරයක් අනුකම්පාවක් ආරක්ෂාවක් ලැබෙයි නම් ඇත්තටම ඉබේම ඇය ඒ පැත්තට නැඹුරු වෙනවා.” දෙවෙනි ඉනිමේ නිෂානි ටීචර්

ඉතා කෙටි ක‍ෙලකින් ක්ෂේත්‍රයට ඇවිත් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගන්න සමත් වූ ඇය ඔබ හොඳින් හඳුනාගන්නේ සතියේ දිනවල රාත්‍රී 8.00ට දෙරණ නාළිකාවේ විකාශය වන ‘සංගීතේ’ ටෙලි සිත්තමේ ‘නිශානි ටීචර්’ හෙවත් ‘ලොකු අක්කා’ ලෙසයි.

ඇය නව පරපුරේ නිළියන් අතර පෙරමුණේ සිටින්නියක වන හංසිනී විමල්සිරිය.

‘නිශානි’ මේ දිනවල බොහොම ජනප්‍රියයි නේද?
ඔව්. ගොඩක් දෙනෙක් මේ චරිතයට ආදරය කරනවා.

කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ඇත්තටම ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම විවිධ මතවාදත් ප්‍රකාශ කරනවා. බොහෝ දෙනකු අහන්නේ සැබෑ ජීවිතයේ එහෙම අත්දැකීම් නැතිව වගකීමක් ඇති මේ වගේ චරිතයක් කරන්නේ කොහොමද කියලයි.

‘නිශානි’ ඇත්තටම කොයි වගේ චරිතයක්ද?
සමාජයේ අප දකින, ඒත් එහි සැබෑ ස්වරූපය නොදැක සමාජයෙන් ගැරහුම් ලබන තවත් එක් චරිතයක් ගැන කරන අපූරු විවරණයක්.
වයස අවුරුදු තිස් පහක් පමණ වන ඇය වෘත්තියෙන් ගුරුවරියක්. සිය සැමියාගේ හිරිහැර නිසා පෙරපාසල් වයසේ දියණියත් සමඟ මහගෙදරට විත් සිටින අතරතුර ඔහු යළිත් ඔවුන් හඹා එමින් ඇය සේවය කරන විදුහලේදී පවා ඇයට හිරිහැර පමුණුවමින් ඇය නම්මාගන්න වෑයම් කරන අතරේ, ඇය ඔහුව ප්‍රතික්ෂේප කරනවා.
එවන් තත්ත්වයකදී එවැනි කාන්තාවකට වෙනත් පිරිමියකුගේ ආදරයක් අනුකම්පාවක් ආරක්ෂාවක් ලැබෙයි නම් ඇත්තටම ඉබේම ඇය ඒ පැත්තට නැඹුරු වෙනවා. ඒත් සමාජය මෙවැනි සිදුවීම්වලදී යථාර්ථය ගැන කතා කරන්නේ නැතිව ඇඟිල්ල දිගු කරන්නේ කාන්තාව පැත්තටයි.
සමාජය තුළ මානුෂීය වශයෙන් අසරණ වුණු මෙවැනි චරිත ඕනෑ තරම් ඉන්නවා. මම ඒකයි මුලින් කීවේ මේ චරිතය ගැන හොඳ වගේම ඇතැමුන්ගේ විවිධ මතත් තියෙනවා කියලා.

‘සංගීතේ’ සඳහා ඔබට ඇරියුම් ලැබෙන්නේ කොහොමද?
මම මීට පෙර දෙරණ නාළිකාවේ පොහොය චිත්‍රපට දෙකකට පමණ රංගනයෙන් දායක වී තිබෙනවා. ‘සංගීතේ’ සඳහා ඇරියුම් ලැබෙන්නේ ඒ අනුවයි.

කොහොමද මෙතරම් හොඳට ඔබ චරිතයට සමවැදෙන්නේ..?
මම දහම් පාසල් ගුරු‍වරියක ලෙස කටයුතු කර තිබෙනවා. පෞද්ගලික ජීවිතයෙදීත් කුඩා දරුවන් සමඟ ඇසුර වැඩියි.
මගේ සහෝදරයන් තිදෙනාගේ පැංචන් හය දෙනා එක්ක වැඩිපුර කාලය ගත කරනවා. මේ දේවලුත් චරිතයට අනුගත වෙන්න ‍ඉවහල් වුණා කියලා මට හිතෙනවා.

එතකොට සැබෑ ජීවිතයේ හංසි, නිෂානි වගේද?
කොහෙත්ම නැහැ. හංසි කියන්නේ බොහොම සරල කෙනෙක්; කියන්න තිබෙන දේ ඕනෑම කෙනකුගේ මූණට කියන, බොහොම විවෘත කෙනෙක්.
ඒ වගේම මම ගරු කරන්නේ තනතුරු නම්බු නාමවලට, වයස්වලට නොවෙයි, මනුස්සකමටයි. මනුස්සකම තිබෙනවා නම් මට වඩා වයසින් බාල කෙනකුට වුණත් මම ගරු කරනවා.

හංසිනීගේ ගම කොහේද?
තිස්සමහාරාමය.

එතකොට පාසල් ගියේ?
දෙබරවැව ජනාධිපති ප්‍රාථමික විද්‍යාලයට. උසස් අධ්‍යාපනය සඳහා දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා.

ඔබේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැනත් මතක් කරමු?
දැනට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික සංගීත හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලබනවා.

රංගනයට වගේම හංසි ගායනටත් හපනියක්?
ඔව්. 2017 වසරේ දෙරණ ‘ඩ්‍රීම් ස්ටාර්’ හත්වැනි අදියරේ නවවැනියා වුණේ මමයි.

රංගනය නිසා ඔබ ඉදිරියේදී ගායනයෙන් ඈත් වේවිද?
කිසිසේත්ම නැහැ. හොඳ ගායිකාවක වෙන්න තමයි මම කැමැති. ඩ්‍රීම් ස්ටාර්වලින් පසුව මගේම කියලා නිර්මාණ තුනක් කළා. you tube ඔස්සේ මගේ රසික-රසිකාවන්ට ඒ ගීත රසවිඳින්න පුළුවන්.

ආදරය ගැන මොකද හිතෙන්නේ?
බොහොම සුන්දර දෙයක්. අපි හැමෝටම ආදරය කියන දේ අවශ්‍යයි. ආදරයක් නැතුව කෙනකුට ජීවත් වෙන්න පුළුවන් කියනවා නම් එය මුසාවක්. එක්කො ඒ කෙනා පිස්සෙක් වෙන්න ඕනෑ; එහෙමත් නැත්නම් රහත් වුණු කෙනෙක් විය යුතුයි.

හංසනීට ආදර යෝජනා ගලා එනවා කියලා ආරංචියි…?
(සිනා සෙමින්) නැහැයි කියලා බොරු කියන්නෙ මොකටද… නිෂානි චරිතයෙන් වගේම ගායිකාවක විදිහටත් මාව දන්න අය අතරින් සමහරු ආදර යෝජනා ගේනවා. ඒත් මම සිනා මුසු මුහුණින් ඒවා ප්‍රතික්ෂේප කරනවා.

ඒ යෝජනා ප්‍රතික්ෂේප කරන්නේ මේ වන විටත් ඔබ පෙම්වතියක් නිසාද?
අ‍පෝ නෑ! හැබැයි මම ආදරය ලබපු කෙනෙක්. ඒත් දැන් සහකරුවෙකු සෙවීමේ කටයුත්ත මගේ ගෙදර අයට භාර දීලයි තියෙන්නේ.

හොඳයි, ක්ෂේත්‍රයේ කෙනකුගෙන් ආදර යෝජනාවක් ආවොත්?
මම හිතන්නේ නෑ. මොකද, මම සහකරුගෙන් බලාපොරොත්තු වන ‍දේවල් ක්ෂේත්‍රයේ කෙනකුගෙන් ලැබෙයි කියලා.

මොනවාද ඔබ සහකරුගෙන් බලාපොරොත්තු වන ඒ ගතිගුණ?
මම ගෙදර බාලයා. ගෙදර අයගෙන් යම් යම් සීමා පැනවී තිබුණත්, මම මනසින් බොහොම නිදහසේ ජීවත් වුණු කෙනෙක්. ඉතිං ඔහු ඒ නිදහස අසුරන්නේ නැතිවා වගේම මා වෙනුවෙන් කාලය සහ අවධානය යොමු කරන කෙනෙක් විය යුතුයි.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!