Gossip

“බෙල්ලේ වැල දාගන්නවත්, දරුවෝ අසරණ කරන්නවත්, පවුල් අවුල් කරගන්නවත් මට සිදුවෙලා නැත්තේ මම නිවැරදි නිසා”

ගයාත්‍රී ඩයස් කියන්නේ අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
ඇය ගැන කාලෙන් කාලෙට විවිධ කතා කරළියට එනවා.
මේ ඇයගේ අලුත්ම විස්තර සතිඅන්ත පුවත්පතක සටහන්ව තිබූ අයුරුයි.

ගයාත්‍රී දැන් හාස්‍ය චරිතවලට කොටුවෙලාද?
නෑ. එහෙම දෙයක් නෑ. විවිධ චරිත අදටත් මං රඟපානවා. “යම රජ සිරි“ චිත්‍රපටයේ මං බන්දු අයියාගේ බිරිඳ විදිහට රඟපාන නිසාත් ඔහොම කියනවා ඇති.
ඒත් මං ඒකෙ කරන්නේ සීරියස් චරිතයක්. ඒත් මං බන්දු අයියත් එක්ක ගැටෙන නිසා ප්‍රේක්ෂකයින් හිතනවා ඇති එතන මමත් නිරූපණය කරන්නේ හාස්‍ය චරිතයක් කියලා.
චරිතය සීරියස් වුවත් විවිධ සිද්ධි සමඟ ප්‍රේක්ෂකයා තුළ හාස්‍යයක් ඇතිවීම නම් සිදුවනවා.

ගයාත්‍රි චිත්‍රපට රංගනයට වැඩි කැමැත්තක් දක්වනවාද?
අපොයි ඔව්. කොයි තරම් ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණත් මගේ හිත යන්නෙම චිත්‍රපට පැත්තට.
චිත්‍රපටයක පොඩි චරිතයක් ලැබුණත් ඒක මට ලොකුයි. කවුරුහරි චිත්‍රපටයක රඟපාන්න ආරාධනා කළොත් චරිතයේ ප්‍රමාණය ගැනවත් නොසිතා මම ක්ෂණිකව කැමැත්ත පළ කරන්නේ චිත්‍රපට රංගනයට මං දක්වන කැමැත්ත නිසාමයි.

රඟපෑ චිත්‍රපට කීයක් විතර තිරගත වෙන්න තියෙනවාද?
20 ක් විතර එන්න තියෙනවා. ඒ අතර ටෙලිනාට්‍යයත් නැතුවාම නෙමෙයි.

පසුගිය දවස්වල ඔබේ ළඟම මිතුරිය නයනා කුමාරි එක්ක මත ගැටුමක්වත් ඇති කර ගත්තාද..?
නෑ. ඇයි එහෙම අහන්නේ?

දෙන්නා එකට ඉන්නවා දැක්කේ නැහැ කොහෙදිවත්. ඒකයි..?
ඔය සේරම හදන්නේ ප්‍රේක්ෂකයොයි, කර්මාන්තය ඇතුළේ ඉන්න අයයි. අපි දෙන්නගේ යාළුකම කවදත් එකවගේ. දැන් වෙලා තියෙන්නේ අපි දෙන්නම කාර්ය බහුල වීම. දරුවෝ ලොකු වෙද්දි කරන්න තියෙන වැඩ වැඩි වෙනවා.
අපි දෙන්නට හැම උත්සව අවස්ථාවකටම සහභාගි වෙන්න බැරි වෙන්න ඒක ලොකු හේතුවක්.

ඔය යාළුකම නිසා හැදුණු කටකතාත් ඊට පරිබාහිර හේතු නිසා ඇතිවූ කටකතාත් බොහොමයි නේද?
මම වැරැද්දක් කරලා නැති නිසා මෙවැනි අවස්ථාවල මට දරාගන්න දෙයක් නෑ.
බෙල්ලේ වැල දාගන්නවත්, දරුවෝ අසරණ කරන්නවත්, පවුල් අවුල් කරගන්න වත් මට සිදුවෙලා නැත්තේ මම නිවැරදි නිසා. කොහොමත් ඉතිං පල ඇති රුකටනෙ ගල් ගහන්නේ.

සියල්ල උපේක්ෂාවෙන් දරාගන්න ගයාත්‍රි පුරුදු වෙලාද?
උපේක්ෂාවෙන් දරාගන්නේ නෑ. උපේක්ෂාවෙන් බලනවා. මට එල්ල වන ගල්මුල් ප්‍රහාර ගැන මට දුක නෑ. සැලෙන්නෙත් නෑ. ඒත් දුක හිතෙන එක දෙයක් තියෙනවා.

මොකක්ද ඒ?
පත්තරේක හෝ වෙනයම් තැනක අපි ගැන ලිපියක් ගියවිට ප්‍රේක්ෂකයින් දාන අදහස් දැක්කම හරියට දුක හිතෙනවා.
හරියට අපි ගැන හැමදේම ඒ අය දන්නවා වගේ කතා කරනවා. ආශ්‍රය කරලාවත් නැති අපි ගැන ඒ අය මොනවද දන්නේ. හඳුනන්නේවත් නැති අයට කතා හදන්නේ කොහොමද කියලා මට නම් හිතාගන්නවත් බෑ.

ප්‍රේක්ෂකයෝ ගයාත්‍රිට ආදරේ නෑ කියලද කියන්නේ..?
ප්‍රේක්ෂකයින් සියයයට අසූවක්ම මං දිහා බලන්නේ තරහින්. ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන්. ඒකට කමක් නෑ. ඒ අය දිහා මම තවත් ආදරෙන් බලනවා. ඒ අය එල්ල කරන ගල් මුල් මඩ ප්‍රහාර නිසා තමයි මම තවත් ශක්තිමත්ව මගේ ගමන යන්නේ.

මේ දවස්වල කරන නිර්මාණ කටයුතු ගැන මතක් කළොත්?
ටෙලි නාට්‍යයක රූගතකිරීම්වල ඉන්නවා. ඊට අමතරව චිත්‍රපට තුනක රූගත කිරීම් කරනවා. තව එකක් මැයිවල පටන් ගන්නවා. සති දෙකකට ඉතාලි යන්න ඉන්නේ. ගිහින් ඇවිත් තමයි පටන් ගන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!