Gossip

මම අද කාල බීලා ඇඳලා පැළඳලා ඉන්නේ මගේ පියා ගීත ගායනා කරලා කලාවෙන් උපයපු මුදල්වලින්

ගායකයෙක් ලෙස ක්ෂේත්‍රයට පිවිසියද ගයාන් ගුණවර්ධන, දැන් වැඩි වශයෙන් දකින්න ලැබෙන්නේ නළුවෙක් හා නිවේදකයෙක් හැටියටයි. කලා මාධ්‍ය තුනකින් දකින්න ලැබෙන ඔහු ගැනයි මේ තොරතුරු. ගායකයෙක් ලෙස ක්ෂේත්‍රයට පිවිසි ඔබ වර්තමානයේ අපි දකින්නේ රංගන ශිල්පියෙක් විදිහට

ක්ෂේත්‍ර කිහිපයක වැඩ කළත් ඔබගේ වැඩි කැමැත්ත සංගීතයට නේද?

රංගනයට, ගායනයට වගේම නිවේදනයටත් තවම මම ආධුනිකයෙක්. නමුත්, මම පොඩි කාලේ ඉඳලා කලාවට ගොඩක් ආදරේ කරන කෙනෙක්. හේතුව තමයි මම අද කාල බීලා ඇඳලා පැළඳලා ඉන්නේ මගේ පියා ගීත ගායනා කරලා කලාවෙන් උපයපු මුදල්වලින්. ඒ හින්දා මම මොනම ක්ෂේත්‍රයක වැඩ කළත් ඒ හැම ක්ෂේත්‍රයකම වැඩ කරන්නේ ගොඩක් ආසාවෙන්. මේ ක්ෂේත්‍ර අතරින් එකක් තෝරගන්න කිව්වොත් මම තෝරගන්නේ සංගීතය. මොකද, මම විශ්වාස කරන දෙයක් තමයි මගේ ඇගේ ජානවල සංගීතය කියන දේ තියෙනවා කියලා. මම ඉපදුණේ ගායන ශිල්පියෙකුගේ දරුවෙක් හැටියට. උප්පත්තියෙන්ම මම සංගීතය කියන දේ ගෙනැල්ලා තියෙනවා. ඒ වගේම මම ගායනය හා සංගීතය කියන දේ හදාරලා තියෙනවා. මම අදහස් කරන්නේ නැහැ මම නියැලෙන අනිත් ක්ෂේත්‍රවලට මම කැමති නැහැ කියලා. ඒවටත් මම කැමතියි. නමුත්, මම හදාරලා තියෙන දේ හා මගේ පියා ගායන ශිල්පියෙක් නිසා මම වැඩිපුරම කැමැති ගීත ගායනයට හා සංගීතයට කිව්වොත් හරි.

පියාගේ නම නිසා ගයාන්ට මේ ක්ෂේත්‍රය තුළ නමක් හදාගන්න පහසු වුණා කිව්වොත් හරිද?

ඇත්තටම, ඔය කියන දේ දෙවැනි පරම්පාරවේ ගායන ශිල්පින්ගේ, ශිල්පිනියන්ගේ, රංගන ශිල්පින්ගේ, ශිල්පිනියන්ගේ දරුවන්ට එල්ල වෙන ලොකු චෝදනාවක්. මව හෝ පියා නිසා මේ ක්ෂේත්‍රය තුළ නමක් හදාගන්න පහසු වුණාද කියන දේ. ඇත්තටම ඒකේ දෙපැත්තක් තියෙනවා. එක පැත්තක් ඔව්, මම නුවන් ගුණවර්ධනගේ පුතා නිසා මට ගීත ගායනා කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම මගේ පියාට කැමති රසික පිරිස මටත් කැමතියි. එක අතකින් බලද්දි ඔව් ඒක මට පහසු වුණා මේ ක්ෂේත්‍රය තුළ නමක් හදාගන්න.

දෙවැනි පැත්ත තමයි අද කාලේ තියෙන තරගකාරීත්වය. අද ගීත ගායනයට හෝ රංගනයට පිවිසෙන තරුණ පිරිස ගොඩක් වැඩියි. අලුතෙන් මේ ක්ෂේත්‍රයට එන අයට විවිධ අත්හදා බැලීම් නව නිර්මාණ කරන්න පුළුවන්. නමුත්, අපිට එහෙම කරන්න බැහැ. මොකද, පියාගේ නමට හානියක් වෙයිද කියලා. ඉතින් කරන නිර්මාණයේ පද රචනය, සංගීතය, ඒ වගේම ඒ ගීතය රැල්ලට කරන එකක්ද කියන හැමදේම බලන්න ඕනා. මොකද, පියාගේ නමට හානියක් සිදුවෙයිද කියන කාරණය බලපාන නිසා. වෙනත් අයට පුළුවන් ඕනෑම නිර්මාණයක් කරලා ඒවාට ප්‍රතිචාර ලබාගන්න.

ගායන ශිල්පියෙකුගේ දරුවෙක් වුණ පළියට ලේසි නැහැ. එතෙන තියෙනවා ලොකු කතන්දරයක්. මම තවත් දෙයක් සඳහන් කරන්න කැමතියි. මගේ පියා ලාංකීය සිනමාවේ ජනප්‍රිය පසුබිම් ගීත ගායන ශිල්පියෙක්. ඔහුගේ අතිශය ජනප්‍රිය වුණ ගීත බොහෝමයක් තියෙනවා. සමහර රසික පිරිස් මගේ පියාගේ ගීත මගේ හඬිනුත් බලාපොරොත්තු වෙනවා. ඒත්, මම මගේ පියාගේ කාබන් කොපියක් නෙමෙයි. මට තාත්තා තරම් දක්ෂයෙක් වෙන්න බැහැ. ඔහුගේ දක්ෂතාවය නෙමෙයි මට තියෙන්නේ. මට තියෙන්නේ වෙනම එකක්. මම ගීත ගායනයටත් දක්ෂයි රඟපාන්න, නිවේදනය මේ හැම එකකටම දක්ෂයි. මම වෙනම ශෛලියක් හොයාගෙන යන ගමනක ඉන්නේ. ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම මත විවිධ අවස්ථාවලදී මගේ පියාගේ ගීත ගායනා කරනවා. නමුත්, මම කියන්න අවශ්‍යයි මට නුවන් ගුණවර්ධන වෙන්න බැහැ කියන දේ.

ගයාන් ගුණවර්ධන කියන නම දැන් ජනප්‍රියද?

ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය කියන්නේ හරි පුදුමාකාර දෙයක්. ජනප්‍රියත්වය කියන්නේ ජනතාවගේ ප්‍රියසාදය, ආදරය දිනා ගැනීම. ප්‍රසිද්ධිය කියන්නේ ගොඩක් මිනිස්සු අතර, ඒ නම, රුව රැඳිලා තියෙනවා හඳුනනවා කියන එක. ජනප්‍රයිත්වයයි, ප්‍රසිද්ධියයි කියන දේ කාලයත් සමග එන දෙයක්. ඒ වගේම අනිත් පැත්තට නැති වෙන්නත් පුළුවන් දෙයක් තමයි ජනප්‍රියත්වය කියන දේ. මම විශ්වාස කරන දෙයක් තමයි ගයාන් ගුණවර්ධන කියන නම ජනප්‍රියත් නැහැ, ප්‍රසිද්ධත් නැහැ කියන එක. මම තාම කලාවට අඩිය තිබ්බා විතරයි. මම ජනප්‍රියත්වයත්, ප්‍රසිද්ධියත් පසුපස්සේ කවදාවත් හඹා යන්නේ නැහැ. මම කැමැති ජනතාවගේ ආදරය දිනාගන්න පමණයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!