Gossip

“අපි විවාහ වීමට පෙර යාළුවෙලා ඉන්න කාලේ අපි අපේ තියෙන හැම අඩුපාඩුවක්ම වහගෙන හොඳම ඇඳුම් පැළඳුම්වලින් සැරසිලා තමයි, සුන්දර විදිහට ඔහු ළඟට යන්නේ.” – දිනක්ෂි ප්‍රියසාද්

කාන්තාව කියූ සැනින්ම පිළිඹිබු වෙන්නේ ලස්සන නේද? කාන්තාව ලස්සනයි කියන වචනය ඇයටම ආවේණික වී තිබෙන දෙයක්. ලස්සන කියා කියූ විට අපට බොහෝ විට පෙනෙන්නේ කෙනෙකුගේ බාහිර පෙනුම. නමුත් මා විශ්වාස කරනවා කාන්තාව ලස්සන විය යුත්තේ හදවතින්.
සිතුවිලිවලින්. අපි අවංක නම් හදවතින් ලස්සන නම් අපි දන්නේම නැතුව අපිව බාහිරෙන් ලස්සන වෙන්න පටන් ගන්නවා.
සමේ දීප්තිමත් බවක් ලැබෙනවා. දකින හැමෝටම ප්‍රියමනාප වෙනවා. හොඳ සිතුවිලි සිතුවා කියා දවසින් දෙකෙන් හම සුදුවෙලා, පැහැපත් වෙලා, ලස්සන වෙන්නෑ. නමුත් කාලයක් ගියාම අපිට අපේ වෙනසක් දැකගන්න පුළුවනි.

හම සුදු වීම ලස්සන වීම කියා ඔබ විශ්වාස කරනවාද?
අපෝ නැහැ. සම කළු ලස්සන අය ලෝකයේ ඕන තරම් ඉන්නවා. සුදු සමක් තිබුණාට එතරම්ම ලස්සන නැති ඕනෑ තරම් අයත් ඉන්නවා.
ඒක සාපේක්ෂයි. කොහොමටත් මේ ලෝකේ කිසිම කෙනෙක් කැත නැහැ. තමන්ටම ආවේණික කුමන හෝ ලස්සනක් හැම කෙනෙක් ළඟම තියෙනවා.

කෙනෙක් ලස්සන වූ පමණින්ම ජීවිතය සාර්ථක කරගත හැකිද?
ලස්සන ප්‍රයෝජනයට අරං තමන්ගේ ජීවිතය සාර්ථක කරගත්ත අය වගේම ලස්සන නිසා ජීවිත වැරදුණ අයත් සමාජයේ ඕනෑ තරම් ඉන්නවා. තාවකාලිකව ලැබුණ ලස්සන සදාකාලිකයි කියා සිතා උඩඟුවෙන් ජීවත්වෙන මිනිසුන් ඕනෑ තරම් ඉන්නවා.

කෙනෙක් සිතුවිලිවලින් ලස්සන වෙන්න මොකද කරන්න ඕනේ?
ම්…. මම හිතනවා ජීවිතය දිහා අපට ධනාත්මකව හිතන්න පුළුවන්නම් ඒක පුංචි ප්‍රවේශයක් සිතුවිලි ලස්සන වෙන්න.
අනිත් දේ තමයි තරහා නොගැනීම. යම් පුංචි සිදුවීමක් නිසා බාහිර පාර්ශ්වයත් සමඟ ඇතිවන තරහව ක්ෂණිකව ඇතිවන දෙයක්. මේ පුංචි වෙලාව බුද්ධිමත්ව අපට මගහැරිය හැකිනම් එය අපගේ ප්‍රතිරූපයට වගේම මනසටත් හරිම වාසිදායකයි.
ලේ අපිරිසිදු වීමක් වෙන්නෙත් නැහැ. දෛනිකව මම උදෑසන අවදි වූ ගමන්ම තත්ත්පර කිහිපයක් අද දවස සුබවෙන්න.
අද මාගෙන් කිසිවෙකුට අවැඩක් සිදුනොවෙන්න. දරා ගැනීමේ ශක්තිය මට ලැබෙන්න, මගේ අද දවස සුබදායක කරන්න කියා දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා. මා කිතුණු භක්තිකයෙකු විදිහට ඒ සිතුවිලිවලින් දවස පුරා මහා ශක්තියක් ලැබෙන බව දැනෙනවා.

ඔබ ලස්සනයි කියා ඔබට දැනෙන්න පටන්ගත්තේ?
මම පුංචි කාලේ ලස්සනයි කියා මට දැනිලා නැහැ. මගේ නංගිලා දෙන්නා ලස්සනයි. සුදුයි. හැමෝගේම ඇස් ගියේ ඒ අය ළඟට.
පුංචි කාලේම නංගිලාව වෙළෙඳ දැන්වීම්වලට පවා ගත්තා. ආසියානු සමාජයේ මතයක් තිබෙනවා සුදු කියන්නේ ලස්සන කියලා.
සුදු මහත බබාලට වැඩිදෙනෙක් ආදරේ කරන්නේ ඒ නිසා. ම්.. කොහොමටත් ලස්සන කියන රාමුව තුල නම් මට පුංචි කාලෙදි මොකුත් ලැබුණේ නැහැ. දවසක් හැමදාම නංගිලා දෙන්නාවම වෙළෙඳ දැන්වීම්වලට ගන්නවා පව් අනේ මෙයා කියලා අංකල් මාව වෙළෙඳ දැන්වීමකට ගත්තා.
එතකොට මට වයස අවුරුදු 17 යි. එම නිරූපනයෙන් පසුව මට ගොඩක් වෙළෙඳ දැන්වීම්වලට ආරාධනා ලැබුණා. ටෙලිනාට්‍යවලට පවා ආරාධනා ලැබුණා. අද වෙනකොට මම ක්ෂේත්‍රයට පිවිසිලා වසර 10ක්. ඒ දස වසරේදීම මම මිනිසුන්ගේ මනසේ ඇඳලා ඉන්නවා. මට ප්‍රේක්ෂකයන් ආදරෙයි. අද මට හිතෙනවා මම ජීවිතේ ජයගත්තා කියලා.

ඔබේ කටේ තිබෙන නළ දත නිසා ඔබට වෙනමම ආකර්ශනයක් ලැබෙනවාද?
සමහරු කියනවා ඔයාගේ නළ දත නිසා ඔයා ගොඩක් ලස්සනයි කියලා. තවත් අය කියනවා නළ දත නිසා ඔයා කැත වෙලා කියලා. ඒක එක එක්කෙනා දකින විදිහ. කොහොමටත් ඒ සෑම අදහසකටම මම ගරුකරනවා.

ඔබ සැබෑවට දකිනවාට වඩා රූපවාහිනි තිරයේදී වෙනස්?
ඔව්. මාව දකින බොහෝදෙනෙක් කියනවා මම ෆොටෝජෙනික් කියලා.

දිනපතා ලස්සනට ඉන්න මොනවාද කරන්නේ?
මම වතුර ගොඩක් බොන්න පුරුදු වෙලා ඉන්නවා. දවසකට වතුර ලීටර් 3 ක් විතර බොනවා. වියළි සමක් තියෙන නිසා වතුර වැඩිපුර බොන එක හමේ තෙතමනය ආරක්ෂා කරගන්න ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. තැඹිලිත් මම නිතර බොනවා. එයත් සමට හරිම හිතකරයි. ඊට අමතරව කෘත්‍රිම පොහොර නොයෙක් එළවළු පළතුරු වර්ග වැඩිපුර ආහාරයට එක්කරගන්න උත්සාහ කරනවා. විවේකයක් තියෙන වෙලාවට කෝමාරිකා මදය ඇගේ ගාලා පැයක් විතර ඉඳලා සෝදලා දානවා.
එය සමේ තෙතමනය ආරක්ෂා කරගැනීමට ඉතාම හිතකරයි.
ඊට අමතරව අපි තුන්දෙනාගේම (නංගිලා 2ත් එක්ක) ලස්සන රැකගන්න අම්මා තමයි ගොඩක් වෙහෙසෙන්නේ. නිවාඩු දවසට කඩල පිටියි, බිත්තර සුදු මදෙයි තවත් මොනවාද එකතු කරලා හදන පැක් එකක් මුහුණේ ආලේප කරන්න අම්මි හදලා දෙනවා. තව අම්මී අපි තුන්දෙනාටම සුමානයකට දවසක් ගෙදරදීම හින්දලා හදපු තැඹිලි තෙල් මුළු ඇෙඟ්ම ගාලා ස්ක්‍රබ් කරන්න දෙනවා. තැඹිලි තෙල් හරිම හොඳ ස්වභාවික ස්ක්‍රබ් එකක්.
මෙයින් හමේ තෙතමනය ආරක්ෂා වෙනවා වාගේම හමට හරි දීප්තිමත් බවක් දැනෙනවා. අපිව ලස්සන කරන්න අපි ලස්සනට තියන්න අම්මි තරම් වෙහෙස වෙන කෙනෙක් නැති තරම්. පුංචි කාලේ ඉඳලාම කැරට් ජූස් හදලා දෙනවා බොන්න. අපි බීම ඉල්ලූවාම අම්මී රවට්ටලා පුංචි කාලේදී අපිට බොන්න දෙන්නේ කැරට් ජූස්. අපිත් රැවටිලා බොනවා. දැන්නම් ඒවාගේ පාන වර්ග ආසාවෙන් බොනවා.

ඔබට අවශ්‍ය විලාසිතා තෝරා දෙන්නෙත් අම්මා නේද?
ඔව්. අම්මාට ඕනෑම ඇඳුමක් ලස්සනට මහන්න පුළුවනි. සාමාන්‍යයෙන් ඇඳුමක් වරක් හෝ දෙවරක් අඳින නිසා අපිට අවශ්‍ය ඕනෑම ඇඳුම් විලාසිතාවක් අම්මිට කියලා මහගන්නවා.
ඇත්තටම විලාසිතා ගැන මම වගේම අම්මිත් ගොඩක් සැලකිලිමත්. ඒක අපි තුන්දෙනාටම ලොකු වාසියක්.

ඔබ ලෝකයේ දැක්ක ලස්සනම කාන්තාව?
දීපිකා පදුකෝන්. මම ඇයගේ ඒෂියන් ලූක් එකට ගොඩක් ආසයි. ඇගේ විලාසිතාවලටත් මම ගොඩක් ආසයි. ඇය අඳින විදිහට අඳින්න මම තවත් ගොඩක් ආසයි.

ඔබට බොහෝ පිරිසක් ලස්සනයි කියා කියූ දවස මතකද?
ඔව්. 2016 වසරේ සම්මාන උළෙලේකදී මම චන්න සර්ගේ නැටුමකට හිටියා. එහිදී මා සරසා තිබුණ විදිහ හරිම ලස්සනයි. එදානම් ගොඩක් අය මගේ ළඟට ඇවිත් ඔයා අද හරිම ලස්සනයි, ඔයත් ලස්සනයි, ඔයාගේ නැටුමත් ලස්සනයි කියලා අගය කළා. ප්‍රශංසා කළා. ඒ සුන්දර මතකය කවදාවත් මට අමතක වෙන්නෑ.

ලස්සන වූ පමණින් කෙනෙකුට යම් වෘත්තියකින් ඉදිරියට යා හැකියි කියා ඔබ විශ්වාස කරනවාද?
නැහැ. ඕනෑම වෘත්තියකින් ඉදිරියට යාමට කෙනෙකුගේ දක්ෂතාව, උනන්දුව, උත්සාහය, කැපවීම අවශ්‍යයි. වාසනාව නිසා දෙයක් ලැබෙනවා කියා මම හිතන් නෑ. මේ හැමදේම තියෙනවා නම් වාසනාව අපිට ලංකර ගන්න පුළුවන්. අපි ඕනෑම වැඩකට කැපවෙනවා නම් එම වැඩෙන් සාර්ථකත්වයක් ලබාගන්න පුළුවන්. එසේ නොමැතිව අපි ලස්සන වූ පමණින් අපට කිසිම දෙයක් නම් ලැබෙන්නෑ නේද.

විවාහයක් සාර්ථක වෙන්න බිරිඳකගේ ලස්සන වැදගත්ද?
සාර්ථක පවුල් ජීවිතයක් පවත්වාගෙන යන්න බිරිඳක් ලස්සන වූ පමණින්ම බැහැ. නමුත් ප්‍රියමනාප බව ස්වාමියාගේ ආකර්ෂණයට නිතර නතුවෙන දෙයක්. අපි විවාහ වීමට පෙර යාළුවෙලා ඉන්න කාලේ අපි අපේ තියෙන හැම අඩුපාඩුවක්ම වහගෙන හොඳම ඇඳුම් පැළඳුම්වලින් සැරසිලා තමයි, සුන්දර විදිහට ඔහු ළඟට යන්නේ. විවාහයෙන් පසුවත් බිරිඳගේ සුන්දරත්වය, පිරිසිදු බව, ප්‍රියමනාප බව දකින්න ගොඩක් පිරිමි අය කැමතියි කියලයි මට නම් හිතෙන්නේ. ඒ නිසා විවාහයෙන් පසුව පිරිසිදුව පිළිවෙළට ඉන්න එක බිරිඳකගේ යුතුකමක්.

අසුන්තා එදිරිසූරිය

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!